ගෝල්ෆේස් ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලයට සක්‍රීයව දායක වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර යන අයට විදේශ රටකින් තැන්පත් කළ රුපියල් කෝටි එකහමාර (මිලියන 15) බැගින් වූ මුදලක් ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග මෙය ඉතා උණුසුම් මාතෘකාවක් වුණා. මේ පිළිබඳව Fact Crescendo අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර විසින් මෑතකදී ලංකා බැංකුවේ යූනියන් ප්ලේස් ශාඛාවේ නව ගිණුම් තුනක් අරඹා තිබේ.

මෙම ගිණුම් තුනට අද (15) රුපියල් ලක්ෂ 150 බැගින්, ලක්ෂ 450ක මුදලක් (හාරකෝටි පනස් ලක්ෂයක්) විදේශයක සිට තැන්පත් කෙරී තිබේ.” යනුවෙන් සඳහන් කරමින් පසුගිය 15 වන දා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link

පසුගිය 18 වන දා දිනමිණ පුවත්පතේ 11 වන පිටුවේ මේ පිළිබඳව පුවත් ලිපියක් පළ වී තිබුණේ මේ අයුරින්.

ගාලුමුවදොර අරගලකරුවන් තිදෙනෙකු වන රැට්ටා, ඩිලාන් සහ කෝනාර යන තිදෙනාට කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවක අලුතින් ආරම්භ කළ ගිණුමකට රුපියල් කෝටි එකහමාර බැගින් වූ මුදලක් ලැබී ඇති බවත්, එම මුදල් ගැනීමට ඔවුන් ඉකුත් දා(15) බැංකුවට ගොස් ඇති බවත්, එහිදී එම මුදල් ඔවුන්ට ලැබුණු ආකාරය ගැන බැංකුවේ නිලධාරීන් විසින් කළ ප්‍රශ්න කිරීමක දී ඔවුන් බැංකුවේ නිලධාරීන්ට තර්ජනය කරමින් මුදල් නිදහස් කරගෙන ගිය බවයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එහි සඳහන් කර තිබුණේ මේ අයුරින්.

Archived Link

එම පුවත, හිරු ‘පත්තරේ විස්තරේ’ වැඩ සටහනේදී ද, සඳහන් කර තිබුණේ මේ අයුරින්. Archived Link අරුණ වෙබ් අඩවියේද, එම පුවත පළ වූයේ මෙලෙසින්. Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එසේම ඉහත පුවතම ඔවුන්ට ලබා දුන් මුදල කෝටි 450 ක් ලෙස සඳහන් කළ සිරස්තලයක් සහිතව ද පසුව එම ලිපියේ අන්තතර්ගතය තුළ ලබා ගත් මුදල ලක්ෂ 450 ලෙස ද පළකර තිබූ අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබූ අවස්ථාවක් මෙතනින් | Archived

මේ අතර තවත් සටහනක සඳහන් කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන ඉහත සිදුවීමට අදාළ විමර්ශන නවත්වන්නැයි කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැදිහත්ව මෙම පුවත වෙනස් කරන ලෙසත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද, බලපෑම් කර ඇති බවයි. එවැනි සටහනක් පහතින්

Facebook | Archived Link

කෙසේ වෙතත් මෙවන් පසුබිමක ඊයේ(19) දින ‘දිනමිණ’ පුවත් පත විසින් පළ කර තිබුණේ, ගාලුමුවදොර ක්‍රියාකාරී අරගලකරුවන් තිදෙනකුට විදේශයකින් රුපියල් කෝටි හතරහාමාරක මුදලක් ඉකුත් සතියේ ලැබී ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තොරතුර ව්‍යාජ තොරතුරක් බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දැනුම් දුන් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවට ගොස් කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ, එම නම කියැවුණු අරගලකරුවන් එම බැංකුවේ ගිණුම් විවෘත කර නොමැති බවයි. ඒ අනුව පැහැදි වී ඇත්තේ එම බැංකුවේ එවැනි සිදුවීමක් වී නොමැති බවකි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් කර ඇතත් එහිදී ද පෙනී ගොස් ඇත්තේ වෙනත් බැංකුවක ඔවුන්ට අයත් ගිණුමකටවත් මේසා විශාල මුදලක් පිටරටකින් හෝ මෙරටින් හෝ තැන්පත් වී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත මෙතනින්. Archived Link

මේ පුවත සම්බන්ධයෙන් ද බොහෝ දෙනා සිය අදහස් පළකර තිබූ අතර මුල් පුවත වාර්තා වී මේ තරම කෙටි කාලයක දී විමර්ශනයක් මෙසේ අවසාන කළ හැකි ද යන්න ද ප්‍රශ්න කර තිබූ බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකගෙන් විමසීම් කිරීමට අප පියවර ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, එවැනි පරීක්ෂණයක් මේ වන විට අපරාධ පරීක්ෂණ කණ්ඩායම් විසින් සිදු කරන බවත්, මෙතෙක් එම විමර්ශනය නිමා වී නොමැති බැවින් එම පරීක්ෂණය පිළිබඳ අවසන් තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි.

කොළඹ යූනියන් පෙදෙසේ ලංකා බැංකුවේ කළමණාකරු

යුනියන් පෙදෙසේ පිහිටි ‘ලංකා’ බැංකුවේ කළමණාකාරිණියගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර, ඇය සඳහන් කළේ, පෞද්ගලික ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය නොහැකි බැවින්, ඉහත සඳහන් පුද්ගලයන් වන, රතිඳු සේනාධීර (රැට්ටා), විරාජ් කෝනාර, ඩිලාන් යන අයට අයත් බැංකු ගිණුම් තිබේද නැද්ද යන්න පැවසීමට නොහැකි බවයි.

කෙසේනමුත් එම පුද්ගලයන් යුනියන් පෙදෙසේ ලංකා බැංකුව වෙත ඉහත මුල් පුවතේ වාර්තා වී තිබු ආකාරයට නොපැමිණි බවත්, දිනමිණ පුවත් පතේ සඳහන් කර ඇති පරිදි, මෙම ශාඛාවේ කාර්ය මණ්ඩල පිරිසක් තර්ජනය කර ගැටුමක් ඇති කර ගත් බවට පළ වූ තොරතුර ද අසත්‍ය බව තහවුරු කළ හැකි බව පවසා සිටියා.

රතිඳු සේනාධීර (රැට්ටා)

මෙම සිදුවීම පිළිබඳ රතිඳු සේනාධීර පවසා සිටියේ, මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය තොරතුරුක් බවයි. තමන්ට එවැනි මුදලක් කිසිදු විදෙස් රටකින් පැමිණ නැති බවත්, දිනමිණ පුවත් පතේ සඳහන් වූ පරිදි යූනියන් පෙදෙසේ පිහිටි ලංකා බැංකුවේ තමන්ගේ ගිණුමක් නොමැති බවත්, කුමන පාර්ශවයකට හෝ තමන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කොට එවැනි මුදලක් තමන්ට ලැබුණා ද, නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කළ හැකි බවත්, තමන් වෙත එල්ල වූ මෙම අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද, ඔහු සඳහන් කළා. මේ පිළිබඳ ඔහු සටහන් රැසක් පළකර තිබු අතර ඒ පිළිබඳ ඔහු ගේ ප්‍රකාශයක් මෙතනින්.

අවිශ්ක විරාජ් කෝණාර (Konara Vlog)

තමන්ට මෙන්ම රැට්ටාට සහ ඩිලාන් යන අයට කෝටි එකහාමාරක් බැගින් මුදල් ලැබුණු බවටත්, යූනියන් පෙදෙසේ පිහිටි ලංකා බැංකු ගිණුමට තමන් ඇතුළු අනෙක් දෙදෙනා එම ස්ථානයට පැමිණ තර්ජනය කළ බවටත් අසත්‍ය තොරුතුරු ප්‍රථමයෙන්ම සමාජ මාධ්‍ය හරහා පළ වූ අතර පසුව පුවත් පත් වාර්තා කළ බව ද, මේ පිළිබඳව CCTV දර්ශන නරඹා පරීක්ෂණයන් සිදු කරන ලෙසත්, ඕනෑම අවස්ථාවක තමන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට හැකි බවත්, තමන්ට එම ශාඛාවේ ගිණුම් නොමැති බවත් ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ අදහස් පහතින්.

ඩිලාන් සේනානායක

ඔහු සඳහන් කළේ, WhatsApp ඔස්සේ පළ වූ මඩ තොරතුරක්, පුවතක් බවට පත් කරමින්, ජාතික පුවත් පතක පළ වීමත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු නොකොට සොයා බැලීමකින් තොරව පුවත් පතක පළ කර තිබුණු බවත්, තමන්ට යූනියන් පෙදෙසේ පිහිටි ලංකා බැංකු ගිණුමක් නොමැති බවත්, එවන් මුදලක් තමන් වෙත ලැබුණාද යන්න පරීක්ෂා කළ හැකි බවත්, CCTV දර්ශන වුව ද, ජනතාව වෙතට යොමු කිරීමේ හැකියාවක් පවතින බැවින් තමන් ඇතුළු අනෙක් දෙදෙනා එම බැංකුවට පැමිණි අවස්ථාවක් ඇත්නම් ඒම දර්ශන හෝ අදාළ බැංකුවේ නිලධාරීන් සමග ගැටුමක් ඇති කර ගත්තා නම් එම දර්ශන ද, ජනතාව වෙත පෙන්වීමට අදාළ බලධාරීන් කටයුතු කිරීම සිදු කිරීමට පුළුවන් කම තිබියදීත්, පිළිගත නොහැකි අසත්‍ය තොරතුරු සමාජ ගත කළ බවයි ඔහු පවසා සිටියේ. කෙසේ වෙතත් මේ පිළිබඳ නීතිමය පියවර ගැනීමටත් කටයුතු සිදු කරමින් සිටින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. එමෙන්ම ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව අදහස් දක්වා ඇති අයුරු පහතින්.

එමෙන්ම අදාළ විමර්ශනයන් නැවැත්වීම සඳහා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීම් කරමින් මැදිහත් වන බවට පළ වූ සටහන් සම්බන්ධයෙන් අප එම පාර්ශවයන්ගෙන්ද, කරුණු විමසා සිටියා.

කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක

කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පවසා සිටියේ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පියතුමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉහත සඳහන් කළ පරීක්ෂණ නැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ ඉල්ලීමක් සිදු නොකළ බවයි. එලෙස සිදු කළා නම් ඒ පිළිබඳවද, පරීක්ෂණ පැවැත්වීමට අගරදගුරු හිමිපාණෝ කැඳවිය යුතු බවද, සඳහන් කළා. ඒ පිළිබඳව පළවූ සටහනක් මෙතනින්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පැවසුවේ, යම් පරීක්ෂණයක් කුමන පාර්ශවයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ නැවැත්වීමට තමන්ට හෝ නීතිඥ සංගමයේ කිසිදු පාර්ශවයකට මැදිහත් වීමට නොහැකි බවත්, එවැනි ඉල්ලීමක් සිදු කරානම් ඒ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට අදාළ පාර්ශවයන්ට හැකි බවත්, කිසිදු පුවත්පතකට කතා කොට ඉහත සඳහන් අරගලකරුවන් තිදෙනා සම්බන්ධ පුවත වෙනස් කොට යළි පළ කරන ලෙස ඉල්ලීම් සිදු නොකළ බවත්, එවැනි ක්‍රියා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිදු නොකරන බවත්ය.

අපරාධ පරීක්ෂණ දෙපර්තෙමේන්තුව සහ පොලිස්පති සී.ඩී. වික්‍රමනායක මහතාගෙන් ද මෙම විමර්ෂණ කටයුතු පිළිබඳව විමසීමට ඔවුන්ව සම්බන්ධ කරගැනීමට අප උත්සහ කල ද මෙතෙක් හැකියාවක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් දිනමිණ පුවත් කතෘගෙන්ද, මේ පිළිබඳ අප විමසා සිටීමට පියවර ගත් අතර ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:රැට්ටා, ඩිලාන් සහ කෝනාරට කෝටි එකහමාරක් ලැබුණා ද?

By: Pavithra Sandamali

Result: Explainer