ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හා සමගම එම අර්බුදය හා බැදුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශිලකයන්ද මෙම තොරතුරු හා සම්බන්ධයෙන් දක්වන්නේ ඉහල උනන්දුවක්. එවන් වටපිටාවක් තුළ වාලච්චේන ප්‍රදේශයේදී ගුවන් හමුදා සෙබලෙක්ව පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කර ඔහුව ගසක බැද දමා ගොස් ඇති බවට වන පුවතක් සමාජ ජාලවල සංසරණය වනවා. මේ ,ඒ පිලිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

“ගුවන් හමුදා සෙබලෙක්ව නාදුනන කණ්ඩායමක් පැහැර ගෙන ගොස් පහරදෙයි.” යන ශීර්ෂය යටතේ සමාජ ජාලා සටහනක් පළව තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

එම සිරස්තලය හරහා තිබුණු කතාව මෙපරිදියි.

Web | Archived

මෙම පුවත පිලිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

වාලච්චේන පොලිසියේ ස්ථානාධිපති 

අප මේ පිළිබදව වාලච්චේන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසා සිටියා.එහිදී ඔහු පැහැදිලිවම සදහන් කලේ මෙම ගුවන් හමුදා නිලධාරියා සිදු කර ඇත්තේ රගපෑමක් බවයි.

“මොහු මුදල් ගෙවා සහභාගිවන පරිගණක ක්‍රීඩා /Online Games වලට තදින්ම ඇබ්බැහිව සිටි පුද්ගලයෙක් . එය යම් ආකාරයක සූදුවක් ලෙස සැලකිය හැකියි. ඔහු මෙම ක්‍රීඩාවලින් පරාජයට පත්ව තද සිත් තැව්ලට පත්වයි සිට ඇත්තේ . ඔහු කදවුරේ අනෙත් නිලධාරීන් සමහර දෙනෙක්ගෙන්ද මුදල් ණයට ගෙන මෙම ක්‍රීඩාවල යෙදී තිබෙනවා. ක්‍රීඩා සදහා ඔහු ආයෝජනය කල මුදල් සියල්ලම නිරපරාදේ නාස්ති වීම නිසා ඔහු මානසික වශයෙන් ව්‍යාකුල සහ අනෙත් කදවුරු සාමාජිකයන්ගෙන් ලබාගත් ණය හෝ ගෙවිය නොහැකි තත්වයකයි සිට ඇත්තේ . ඉන්පසු ඔහු සිය දිවි නසා ගැනීමට තීරණය කර තිබෙනවා. පසුව එම තීරණය වෙනස් කර ඔහු මෙම රගපෑමක් කිරීමට අදහස් කර ඇත්තේ තිබුණු ආර්ථික ගැටලුව නිසායි.”, ස්ථානාධිපතිවරයා පැහැදිලි කළා.

මඩකලපුව ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන මෙම ගුවන් හමුදා නිලධාරියා විසින් වාලච්චේන ප්‍රදේශයට ජූලි 27 රාත්‍රියේ ගොස් ඔහු විසින්ම මේ ආකාරයෙන් තමන්වම ගසක බැදගෙන තිබෙන බවත් ඒ අසලින් දෙමළ බසින් කල පුවරුව තබාගෙන ඇති බවත් ස්ථානාධිපතිවරයා පැවසුවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ක්‍රියාදාමය සදහා අන් කිසිවෙක් සම්බන්ධ නොමැති බව සහ මෙතෙක් සිදු කල පර්යේෂණ වලින් තහවුරුව ඇත්තේ මෙය ඔහු විසින්ම අවධානය වෙනතකට යොමු කිරීම හරහා තමන් ගිලී ඇති ණය උගුලෙන් බේරීමට සිදුකරන ලද ක්‍රියාවක් බවයි.

“වාලච්චේන ප්‍රදේශවාසින් විසින් ඔහුව 28 වනදා උදේ වන විට බැමි වලින් මුදා ඒ බව පොලිසියට දැනුම් දුන්නා.පොලිසිය ඉක්මනින් මොහුව රෝහල් ගත කරා.මුල් අවස්ථාවේ ඔහුව වාහනයකින් පැහැර ගෙන ගොස් ගසක බැද දැමු බවට වන ගොතන ලද කතාවක් පැවසුවා. ඉන් අනතුරුව ඔහුගෙන් ලබාගත් කට උත්තර අනුව සහ සිදු කල විමර්ශනයන්ගෙන් මෙය ඔහුගේ ණය වලින් බේරීමේ කුමන්ත්‍රණයක් බව තහවුරු වුණා.”වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා තවදුරටත් පැවසුවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම ගුවන් හමුදා නිලධාරියාව පොලිස් අත්අඩංගුවට ගත් අතර අද (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින්.

Archived

ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකළපු කඳවුරට අනුයුක්තව සේවය කරනු ලැබු කෝප‍්‍රල් රත්නසූරිය යන මෙම සිදුවීමට සම්බන්ධ තැනැත්තා වාලචිචේන, රිදීතැන්න ප‍්‍රදේශයේ ගසක බැඳ සිටියදී 28 වැනිදා උදෑසන ප‍්‍රදේශවාසීන් විසින් වාලචිවේන පොලිසියට දැනුමි දීමෙන් පසු රෝහල් ගතකරන ලද බවත්, ඔහු විසින් ලබාදුන් ප‍්‍රකාශය සහ කරුණු සොයා බැලීමේදී හෙලි වූ තොරතුරු වල තිබූ පරස්පර විරෝධීභාවය හේතුවෙන් සහ ඔහු අසල තිබු දමිළ භාෂාවෙන් ලියූ පුවරුව පිළිබඳ සැකයක් මතු වීම හේතුවෙන්ද ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබූ පොලිස් නිලධාරීන් හට එය ලියා ඇත්තේ දෙමළ භාෂාව සමිබන්ධ පරිචයක් නොමැති පුද්ගලයෙකු බව වැටහී ගොස් බවත් එම ප්‍රකාශයේ සඳහන්. ඒ ඔස්සේ විමර්ශනය ඉදිරියට කරගෙන යාමේදී මෙම ක‍්‍රියාව කෝප‍්‍රල් රත්නසූරිය විසින්ම සිදු කර ඇති බවට ඔහු විසින්ම පිළිගෙන තිබු බවත් සඳහන්.

මෙම ක‍්‍රියාව සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෝ වෙනත් කිසියමි පාර්ශ්වයක කිසිඳු සමිබන්ධයක් නොමැති අතර මෙම සම්පුර්ණ ක‍්‍රියාවලිය මෙම කෝප‍්‍රල්වරයා විසින් ඔහුගේ අභිමතය පරිදි සිදු කර ඇතැයි අනාවරණය කරගෙන ඇති බවත් මෙහිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ප‍්‍රතිරූපයට සිදුවු හානිය වෙනුවෙන් මෙම කෝප‍්‍රල්වරයා හට ගුවන් හමුදා නීතියට අනුව පොලිස් විමර්ශන අවසානයේදී නීත්‍යානුකූලව කටයුතු කිරිමට නියමිතව බවත් ගුවන් හමුදා නිවේදනයේ සඳහන්.

එම සිදුවීමට සම්බන්ධ සේයාරූ කිහිපයක් පහතින්.

මෙහි දක්වා තිබු දමිළ බසින් දක්වා ඇති පුවරුව අප Factcrescendo දමිළ කණ්ඩායම මඟින් ද පරීක්ෂා කිරීමේ දී එහි අක්ෂර වින්‍යාසය යනාදී කරුණු දමිළ භාෂාව පිලිබඳ දැනීමක් ඇති පුද්ගලයෙකු විසින් සැකසු පුවරුවක විලාශයක් ගන්නේ නැති බවත් දැක ගන්නට ලැබුණා

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

Avatar

Title:ගුවන් හමුදා සෙබලෙක්ව පැහැර ගෙන ගොස් පහරදී දි ගසක බැද දැමුවා ද?

By: Kalana Krishantha

Result: Explainer