එංගලන්ත - දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය ගැනීමත් සම‍ඟ ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් හි (WTC Points Table) දෙවනි ස්ථානයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

එංගලන්ත - දකුණු අප්‍රිකා 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය ගැනීමත් සම‍ඟ "ශ්‍රී ලංකාව" WTC Points Table එකෙහි දෙවනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ එම සටහන් ෆේස්බුක් පරිශීලකයින් විසින් හුවමාරු කර ගෙන තිබුණේ මේ අයුරින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 02 වන ස්ථානයට පැමිණි බවට බොහෝ දෙනා නොමග ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන දැක්වෙන ICC නිල වෙබ් අඩවිය හරහා මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට කටයුතු කළා. එහිදී දැක ගන්නට ලැබුණේ, ශ්‍රී ලංකාව එම සටහනේ මේ වන විට පසුවන්නේ තෙවන (03) ස්ථානයේ බවයි. ශ්‍රී ලංකාවට ඉහළින් පළමු සහ දෙවන ස්ථානවල පිළිවෙලින් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව පසුවෙනවා.

www.icc-cricket.com‍|Archived Link

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබුණේ, පසුගිය ජූලි මස පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්වීමත් සමගයි.

මෙම තරගයට පෙර හය වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉන්පසුව 64 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ජයග්‍රාහී ප්‍රතිශතය ලෙසින් 53.33% ක් ලෙසින් සටහන් වේ.

ප්‍රසාද ලකුණු 84ක් ලබා ඔස්ට්‍රේලියාව ජයග්‍රාහී ප්‍රතිශතය 70% ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ රැඳී සිටිනවා. එසේම එංගලන්ත සමඟ පසුගිය දා අවසන් වූ ටෙස්ට් තරඟාවලිය 2-1 ලෙස පරාජයට පත් වීමත් සමඟ දකුණු අප්‍රිකාව අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවලියේ දෙවැනි ස්ථානයට පසුබා තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 72ක් ලබා ජයග්‍රාහී ප්‍රතිශතය 60% ක් ලෙස වාර්තා කරමින්.

ඉන්දියාව ප්‍රසාද ලකුණු 75 ක් ලබා සිටියද ශ්‍රී ලංකාවට වඩා ජයග්‍රාහී ප්‍රතිශතය අඩු මට්ටමක (52.08%) පැවැතීම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ස්ථානයක් පහලින් හෙවත් සිව්වැනි සථානයේ රැඳී සිටියි.

එසේම පසුගිය වර ඉන්දියාව පරාජය කරමින්  ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රණය කිරීමට සමත් වූ නවසීලන්තය මේ වන විට අටවන ස්ථානය දක්වා පහතට වැටි තිබෙනවා.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලි ඔස්සේ පළමු සහ දෙවන ස්ථාන හිමි කරගැනීමට එක් එක් කණ්ඩායමට ලැබෙන අවකාශ පිළිබඳව වාර්තාවක් මෙතනින්.

ශ්‍රී ලංකාවට මුල් ස්ථාන දෙක අතරට පැමිණීමට නම් , ඉදිරියේ දී නවසීලන්තය සමඟ පැවැත්වෙන තරඟාවලිය ජයග්‍රණය කළ යුතු වන අතර අනෙකුත් කණ්ඩායම් මගින් ලබාගන්නා ජයග්‍රණය / පරාජයන් ද බලපානු ඇති.

ටෙස්ට් කණ්ඩායම 9 ක් වසර දෙකක කාලයක් පුරා සහභාගී වන තරඟවල ප්‍රතිඵල අනුව එම කාල පරිච්ඡේදය අවසානයේ පළමු සහ දෙවන ස්ථානවල සිටින කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරඟයක් පැවැත්වෙන අතර එමඟින් ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රණය හිමිවේ. මේ පිළිබඳ විස්තර මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, එංගලන්ත - දකුණු අප්‍රිකා 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය ගැනීමත් සම‍ඟ , ශ්‍රී ලංකාව , WTC Points Table එකෙහි දෙවනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව මේ වන විට රැඳී සිටින්නේ තෙවැනි ස්ථානයේ වන අතර ලංකාවට ඉහළින් පළමු සහ දෙවන ස්ථාන පිළිවෙලින් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව හිමිකරගෙන තිබෙනවා.

Avatar

Title:නවතම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීමේ දී ලංකාව දෙවන ස්ථානයට?

Fact Check By: Pavithra Sandamali

Result: False