හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පැනවූ රසායනික පොහොර තහනම නිසා ලංකාවේ කෘෂිකර්මාන්තය ට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවුණා. එම හේතුව නිසාම, වී ගොවිතැන පිරිහී වී අස්වැන්නද අඩු වුණා. සහල්වල මිලද විශාල ලෙස ඉහල ගියේ නිෂ්පාදනය අඩුවීමත් සමගයි. සහල් හිගයක්ද රට තුළ ඇතිවුණා. සහල්වල මිල පාලනය කිරීම සදහා විශාල ප්‍රමාණවලින් සහල් ආනයනය කිරීමට ද රජයට සිදුවුණා.

මෙවන් පසුබිමක, ආනයනික සහල්වල අධික ප්‍රතිශතවලින් , ශරීරයට අහිතකර බැරලෝහ වර්ග පවතින බව පළිබෝධනාශක කාර්යාලය මගින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළිදරව් වී ඇති බවට සමාජ ජාලා සටහන් පැතිරුණා. පුවත්පත් හරහා පැතිරීම ආරම්භවූ මෙම පුවත , ඉන් අනතුරුව වෙබ් අඩවි සහ සමාජ ජාලා හරහාද වේගයෙන් පැතිරුණා.මේ, ඒ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

සහල්වල විශාල ප්‍රතිශත වලින් සිරුරට අහිතකර බැරලෝහ පවතින බවට වන සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මේ අයුරින්.

“ආනයනික සහල්වල උග්‍ර විෂකාරක..

ඊයම් 43% කැඩ්මියම් 26% රසදිය 20% සෙලනියම් 47% ක් ...

පිටරටින් ගෙන්වන සහල්වල පිළිකාකාරක මෙන්ම අඩු බර දරු උපත් ඇතිකරන විෂ රසායනික බහුලව අඩංගු බව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කල පරික්ෂනයකින් අනාවරණය වී තිබේ.”

Facebook | Archived

මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙම සටහන් ෆේස්බුක් හරහා ව්‍යාප්තව තිබුණේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

මෙම සමාජ ජාලා සටහන්වල බැලු බැල්මට දක්නට ලැබෙන්නේ ප්‍රධාන ධාරාවේ උපුටා ගනිමින් බව දක්නට ලැබෙන බැවින් අප මෙහි මුල් වාර්තාව පරීක්ෂා කර බැලුවා.

සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබු පුවත්පත් වාර්තා

සැප්තැම්බර් 18 ඉරිදා “අරුණ” පුවත්පතේ පළකරන ලද ලිපියක මෙම කරුණු දක්වා තිබුණා. “රට හාල්වල උග්‍ර විෂකාරක : පිළිකා සහ අඩු බර දරු උපත් ඇති කරන සහල්” තේමාවෙන් පළවූ එම සම්පුර්ණ සටහන පහතින්.

පිටරටින් ගෙන්වන සහල්වල පිළිකා කාරක සේම අඩු දරු උපත් ඇති කරන විෂ රසායනික බහුලව අඩංගු බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කළ පර්‌යේෂණයකදී අනාවරණය වී තිබේ.

එම කාර්යාලය සඳහන් කරන පරිදි මෙරට භාවිත කරන සහල්වල අඩංගු විය යුතු ආසනික් ප්‍රමාණය සියයට 0.2 ක්ද, ඊයම් 0.2 ක්ද, මර්කරි (රසදිය) 0.1 ක්ද, සෙලනියම් 0.3 ක්ද වේ. මෙම සියල්ල බැර ලෝහ සේම පිළිකාකාරක වේ.

නමුත්,දේශීය වෙළඳ පොළේ තිබෙන ආනයනික සහල්වල සාම්පල ලබාගෙන කරන ලද පර්‌යේෂණයේදී අනාවරණයවී ඇත්තේ එහි ඊයම් සියයට 43 ක්ද, කැඩ්මියම් සියයට 26 ක්ද, මර්කරි සියයට 20 ක්ද, සෙලනියම් සියයට 47 ක්ද අඩංගු බවය.

මෙම පර්‌යේෂණයේදී පළමුව සහල් සාම්පල ගෙන සෝදා ඉවත් කළ ජලය යොදා වේලා ගැනීමෙන් පසු කුඩුකර අනතුරුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යොදා ජීර්ණය කර තිබේ. මෙම සාම්පල පී.එම්.එස්. නමැති උපකරණයක් යොදාගෙන විශ්ලේෂණය කර ඇත. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ පර්‌යේෂණ නිලධාරිනියන් විසින් මෙම පර්යේෂණය සිදුකර ආනයනික සහල්වල අඩංගු බැර ලෝහ අධික ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

නමුත්, දේශීය සහල්වල අඩංගුව ඇත්තේ සෙලනියම් සියයට 0.5 ක්ද, රසදිය 0.5 ක්ද වන බව අනාවරණය කරගෙන ඇත. ආනයනික සහල් පාරිභෝජනය නිසා පිළිකා, අඩුබර දරු උපත් ඇතිවීම සේම දරුවන්ගේ මොළය වර්ධනය වීම අඩාළ වන බවද හෙළි වී තිබේ.

මෙරට භාවිතය තහනම් කර තිබෙන පළිබෝධනාශක වර්ග රැසක් මෙම ආනයනික සහල් නිෂ්පාදනයේදී යොදා ගන්නා අතර, ඉන් ග්ලයිෆොසෙට්, කාබොෆියුරාන්, මොනක්‍රොටපස් ආදී අධි සැර වල් නාශක ප්‍රධාන වේ.

ආනයනික සහල් වසර දෙකක කාලයක් නරක් නොවී තබාගත හැකි අතර, එහිදී කල් තබා ගැනීමටද විවිධ රසායනික වර්ග යොදන බව අනාවරණය වේ.

මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට අගෝස්තු අවසානය දක්වා කාලය තුළදී සහල් මෙට්‍රික් ටොන් 596,440 ක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 64,591 කි.

සහල් ආනයනය සඳහා අති විශාල මුදලක් රජය සහ පෞද්ගලික අංශය වැය කළත්, යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට රුපියල් බිලියන දෙකක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදීමට රජය අපොහොසත්වී ඇත.

Aruna | Archived

ඉරිදා මව්බිම පුවත්පතේ ද මෙම පුවත ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුනේ ,මෙලෙසින්

පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රත්නවීර

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රත්නවීර මහතා පවසන්නේ මෙය 2017 වසරේදී සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵල විකෘති ලෙස වාර්තා කිරීමක් බවයි.

එමෙන්ම පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය ආනයනික සහල් සම්බන්ධයෙන් මෙවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවත් ඔහු අවධාරණය කර තිබුණා. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයට පිවිසීම මෙතනින් සහ මෙතනින්

මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැනගැනීමට අප වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලසන්ත රත්නවීර මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා. එහිදී ඔහු දැක්වූ අදහස් පහතින්.

“2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගී කරගනිමින් අදාළ පුවත්පත් වාර්තා සකස්කර ඇත, එසේ වුවද එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිතයි. මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බැවින්, එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශවයන්ගෙන් නිසි විමසීමක් කරන්නේනම් වඩාත් උචිතයි.”

රත්නවීර පෙන්වා දෙන්නේ මෙය, 2017 වසරේ නුවර ප්‍රදේශයේ සාම්පල් 68ක් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රථිපල බවත්, එය නිසි පරිදි අධ්‍යයනයකින් තොරව වැරදි තොරතුරු සමාජගත කර ඇති බවත්ය.

ඔහු තවදුරටත් පවසන්නේ, බැරලෝහ සාමාන්‍යයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණ වලින් නිසා ඒවා මනින්නේ මිලියනයකට පංගුවක් (ppm) බැගිනි. එහෙත් මෙම පුවත්පත් වාර්තා කර ඇත්තේ එම ප්‍රමාණයන් තියෙන්නෙ සීයට ගණන් (ප්‍රතිශත) වලින් බවයි. එසේ සීයට ගණන් වලින් බැරලෝහ මනින ක්‍රමයක් ලෝකෙ කොහෙවත් හොයාගත නොහැකි බවත් එය ප්‍රායෝගික නොවන බවද වැඩබලන පළිබොධනාශක රෙජිස්ට්‍රාර් ජෙනරාල් පවසයි.

2017 වාර්තාවේ සඳහන් පරිදි සහල්වල අඩංගු විය හැකි ප්‍රමාණ ලෙස ආසනික් ප්‍රමාණය වන්නේ ප්‍රතිශතයක් ලෙස නොව කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 0.2 ලෙසයි. ඒ ආකාරයෙන්ම ඊයම් 0.2 mg/kg ක්ද, මර්කරි (රසදිය) 0.1 mg/kg ක්ද, සෙලනියම් 0.3 mg/kg ක්ද වේ. නමුත් මෙම කරුණු පුවත්පත් වාර්තාවේ දක්වා තිබුනේ ප්‍රතිශත (සියයට ගණන් ලෙසින්). සත්‍ය දත්තයන් පහතින්.

එමෙන්ම රත්නවීර මහතා වැඩිදුරටත් අප සමග පවසා සිටියේ මෙම පර්යේෂණය සිදුකල සහල් නියැදි වලින් මහජන සෞඛ්‍යට අහිතකර ප්‍රමාණවලින් (සෞඛ්‍ය අවදානමකින් තොරව පැවතිය හැකි උපරිම ප්‍රමාණය ඉක්මවා) බැරලෝහ පවතින්නේ 2 % පමණවන සාම්පල ප්‍රමාණයක බවයි. එනම් 98% ක්ම අදාළ සීමා ඉක්මවා ගොස් නොමැති බවත් ඔහු පැවසුවා. එමෙන්ම මෙහි අවසාන නිගමනය වන නුවර දිස්ත්‍රික්කය තුළ පැවති සහල් පරිභෝජනයට සුදුසුය යන්න සදහන් කිරීම ද , මෙම පුවත්පත් ලිපිය තුළ මගහැර ඇති බවත්ද ඔහු පවසා සිටියා.

එම කරුණු 2017 පර්යේෂණ වාර්තාවේ නිගමනයන් හි දක්වා තිබුනේ මෙලෙසින්

ඔබටද , මෙම පර්යේෂණ පත්‍රිකාව කියවිය හැකියි මෙතනින්.

මෙම පර්යේෂණ පත්‍රිකාවේ ඉතිරි කොටස් අප ද පරික්ෂා කළ අතර පළිබොධනාශක රෙජිස්ටාර් පවසන ලද කරුණුවල සත්‍යතාවක් ඇති බව අපට ද තහවුරු කර ගැනීමට හැකිවුණා. මෙහි ක්‍රමවේදය පිළිබද පුවත්පත් ලිපිය මගින් සරලව කරුණු දක්වා තිබු අතර ප්‍රතිඵල පැහැදිලි කිරීමේදී එය සිදු කර ඇත්තේ වැරදි ආකාරයටයි.

2017 වාර්තාවේ දැක්වෙන ආකාරයට බාස්මති සහ පොන්නි සම්බා ආනයනික සහල්වල ආසනික් (As), ඊයම් (Pb - ලෙඩ්), කැඩ්මියම් (Cd), මර්කරි (Hg) සහ සෙලිනියම් (Se) පිළිවෙලින් කිලෝග්‍රෑමයක අඩංගු මිලිග්‍රෑම් (mg/kg) දක්වා තිබු අයුරු පහතින්.

මෙම අගයන් කිසිසේත්ම සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබු විශාල ප්‍රතිශත සමඟ ගැලපෙන්නේ නැති අතර 2017 පර්යේෂණ වාර්තාවේ ම ඉහතින් දක්වා තිබු උපරිම අවසර ලත් මට්ටම් (maximum permissible levels) අතර හෝ ඉතා සුළු වශයෙන් පමණක් ඉක්මවා ඇති බව ද දැක ගන්නට ලැබෙනවා.

එසේම සමාජ මාධ්‍ය සටහන් හි සහල්වල උග්‍ර විෂ ප්‍රතිශත ලෙස දක්වා තිබු ප්‍රතිෂතයන්හි එකතුව 100% ඉක්මවා වාර්තා කිරීම ද උපහාසාත්මකව සටහන් රැසක පෙන්වා දී තිබුනේ මේ අයුරින්.

තවද පළිබොධනාශක රෙජිස්ටාර් පෙන්වා දෙන්නේ 2022 ජනවාරි සිට පරීක්ෂා කළ සහල්වලට මෙය අදාළ නොවන නිසා මෙසේ වාර්තා කිරීමේ කිසිදු පදනමක් නොමැති බවත් වැරදි තොරතුරු සමජගත කිරීම නිසා මහජන කැළඹීමක් දක්වා පරිවර්තනය විය හැකි බවත්ය.

කර්මාන්ත තාක්ෂණ ආයතනය (ITI)

මේ පිලිබදව අප කර්මාන්ත තාක්ෂණ ආයතනයෙන්ද(ITI) විමසු අතර , එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔවුන් ද වෙළඳ අමාත්‍යංශය මගින් ලැබෙන ඉල්ලීම් අනුව පසුගිය මාසවල ස.තො.ස වැනි ආයතන මගින් සිදු කරන ලද සහල් ආනයන වලදී ඒවායෙහි ප්‍රමිතිය පිරික්සූ නමුත් පරිභෝජනයට නොසුදුසු තරම් බැරලෝහ පවතින ආකාරයක් නිරීක්ෂණය නොවූ බවයි.

වෙළඳ ආමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර අප වෙත පවසා සිටියේ මෙය සමාජ ජාලා සටහන් වල පළවන කරුණු සම්පුර්ණ අසත්‍ය බව සහ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

Also Read: ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අයුරු දැක්වෙන වීඩියෝවේ සත්‍ය කතාව!

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ මෙම සමාජ ජාලා සටහන්වල ආනයනික සහල් සම්බන්ධයෙන් පළව ඇති කරුණු නොමගයවන සුලු ඒවා වන බවයි. මෙහිදී සැබැවින්ම සිදුව ඇත්තේ 2017 වසරේදී සිදු කරන ලද පර්යේෂණයක අඩංගු දත්ත වැරදි ලෙස පුවත්පත් වාර්තාවක පළ කිරීමයි. එය පාදක කර ගනිමින් සමාජ ජාලා සටහන් සැකසී ඇත.

පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය තහවුරු කරන්නේ ඔවුන් විසින් ආනයනික සහල් යොදා ගනිමින් පුවත්පත් වාර්තාවේ පළව ඇති ආකාර පර්යේෂණයක් මෑත කාලයේදී සිදු කලේ නොමැති බවයි.

සහල්වල ප්‍රමිතිය පරික්ෂා කරන ආයතනයක් වන කාර්මික තාක්ෂණ ආයතනයද තහවුරු කරන්නේ ඔවුන් මෑතදී පරික්ෂා කල ආනයනික සහල් නියදිවල මානව පරිභෝජනයට නුසුදුසු තරම් ප්‍රමාණවලින් බැරලෝහ අඩංගු වන බවට කිසිඳු නිරීක්ෂණයක් නොවූ බවයි.

Avatar

Title:ආනයනික සහල්වල අධික ප්‍රතිශතවලින් බැර ලෝහ පවතින බවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වාර්තාවක්?

Fact Check By: Kalana Krishantha

Result: Misleading