දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

රැහැන් රහිත තාක්ෂණයේ දියුණුවත් සමග බොහෝ දෙනෙක් wireless සන්නිවේදන ක්‍රම වෙත යොමු වී තිබෙනවා. බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ එවැනි ඉයර්ෆූන් භාවිත කිරීම තුළින්, බ්ලූටූත් හෙඩ්ෆෝන් පිළිකා ඇති කරන විද්‍යුත් චුම්භක සංඛ්‍යාත (EMF) විමෝචනය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සංසරණය වූ සටහනක දැක්වූයේ, බ්ලූටූත් හෙඩ්ෆෝනයේ ඉයර්බඩ් විද්‍යුත් චුම්භක සංඛ්‍යාත හරහා එකිනෙක සම්බන්ධ කරන බවත්, එම විද්‍යුත් චුම්භක සංඛ්‍යාත(EMF) මගින් මොළයට හානි කළ හැකි බවත්, මිනිස් සිරුර තුළ පිළිකා ඇති කළ හැකි බවත් ය.

Facebook | Archived Link

එවැනි තේමාවෙන් පළ වූ තව ත් සටහනක් මෙතනින්. Archived Link

රැහැන් රහිත බ්ලූටූත් මගින් සැලකිය යුතු බරපතල හානියක් වන බවට සඳහන් කරන ඉහත සඳහන් සටහන් අන්තර්ජාලයේ විශාල වශයෙන් සංසරණය වීමත් සමග ඉහත ඡායාරූපයේ, මිනිස් මොළයේ රූපය අසල රැහැන් රහිත හෙඩ්ෆෝන් රූපයක් අඩංගු වන බැවින්, බ්ලූටූත් හෙඩ්ෆෝන් අපගේ මොළයට බලපාන බව පාඨකයන්ට හැඟී යනු ලබයි. මේ හේතුවෙන් මේ පිළිබඳව අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

EMF තරංග යනු?

EMF තරංග හෝ විද්‍යුත් චුම්භක සංඛ්‍යාත යනු බ්ලූටූත් උපාංගවලින් පමණක් නොව මයික්‍රෝවේව් උදුන්, ජංගම දුරකථන සහ පරිගණකවලින් පවා සාමාන්‍යයෙන් විදුලියෙන් විමෝචනය වන තරංග වේ. සරලව පැවසුවහොත්, බ්ලූටූත් හෙඩ්ෆෝන් සොයා ගැනීමට බොහෝ කලකට පෙර සිට EMF තරංග අප භාවිත කර තිබෙනවා.

EMF තරංග මිනිසුන්ට සම්පූර්ණයෙන්ම ආරක්ෂිතද?

බොහෝ විද්‍යාත්මක සාක්ෂි පෙන්නුම් කරන්නේ බ්ලූටූත් උපාංග භාවිතය ආරක්ෂිත බවත් නිශ්චිත අවශෝෂණ අනුපාතය (SAR) මට්ටම මධ්‍යස්ථව අඩු බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

SAR (Specific Absorption Rate) යනු රේඩියෝ සංඛ්‍යාත (RF) විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයකට නිරාවරණය වූ විට මිනිස් සිරුර ඒකක ස්කන්ධයකට (kg) ශක්තිය අවශෝෂණය කරන වොට් ප්‍රමාණයයි. විකිරණ විමෝචනය කරන උපකරණ නිපදවන ලොව පුරා සිටින නිෂ්පාදකයින් මිනිස් ආරක්ෂාව සහතික කිරීම සඳහා ඇතැම් SAR මට්ටම්වලට අනුකූල වීම අවශ්‍ය වේ.

බ්ලූටූත් හෙඩ්ෆෝන් හි SAR අගයන්

එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාවට (FCC) අනුව, දුරකථනවල SAR මට්ටම කිලෝග්‍රෑමයකට වොට් 1.6 (W/kg) හෝ ඊට අඩු විය යුතු බවත්, යුරෝපීය සංගමයේ දී දුරකථන සහ අනෙකුත් අතේ රැගෙන යා හැකි විද්‍යුත් උපාංග සඳහා SAR සීමාව 2 W/kg බවට ද සහතික කර තිබේ. මෙම ප්‍රමාණයන් මිනිසුන්ට ආරක්ෂිත යැයි සැලකේ. කෙසේ වෙතත්, බ්ලූටූත් උපාංග සමඟ SAR මට්ටම් මෙම මට්ටම් වලටත් වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක පවතිනවා.

උදාහරණයක් ලෙස, Apple Air pods හි SAR අගය හිස ප්‍රදේශය සඳහා 0.072 W/kg පමණ වන අතර සිරුරේ අනෙක් කොටස සඳහා 0.603 W/kg පමණ වේ. මෙම SAR අගයන් මිනිස් සෞඛ්‍යයට හානි කළ හැකි අවම මට්ටමට වඩා බෙහෙවින් අඩු අගයන් වෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්

එසේම බ්ලූටූත් උපාංග ජංගම දුරකථන වලට වඩා SAR අඩු බව ද සැලකිය යුතු කරුණකි. 

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ, පවුල් සහ ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ජංගම දුරකථන නිරාවරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජෝයල් මොස්කොවිට්ස් පවසන්නේ, බ්ලූටූත් උපාංග මගින් මොළයට සිදුවිය හැකි හානිය පිළිබඳව තවමත් අවශ්‍ය තරම් පර්යේෂණයන් නොමැති බවයි. නමුත් ඔහු සඳහන් කළේ, මෙවැනි උපාංග අර්ධ වශයෙන් පමණක් ආරක්ෂිත බවයි. රැහැන් රහිත තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණ සහ නියාමනය අඛණ්ඩව සිදු නොවන අතර එය මිනිස් සෞඛ්‍යයට දැඩි ලෙස බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බ්ලූටූත් උපාංග අතර සම්බන්ධය සහ පිළිකා අවදානම ඉහළ යන විට, බොහෝ අධ්‍යයනයන් මෙම ප්‍රකාශයට අනුබල දෙන ප්‍රතිඵල සෙවීමට උත්සාහ කළද, මෙම උපකරණ පිළිකාවලට සම්බන්ධ බලපෑම් ඇති බවට ප්‍රතිඵල නොමැත. Shiwangi Gupta, Radhey Shyam Sharma සහ Rajeev Singh ගේ අධ්‍යයනයට අනුව 2022 දී විය හැකි පිළිකා කාරකයක් ලෙස අයනීකරණ නොවන විකිරණ පිළිබඳව ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵලය පෙන්වා දී ඇත්තේ ජංගම දුරකථන වලින් නිකුත් වන එවැනි විකිරණ භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතත් ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳ නිසි දැනුමක් නොමැති වීමේ අඩුවක් පවතින බවයි. 

කෙසේවෙතත් ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ SAR අගයන් නැවත පරික්ෂා කළ යුතු බවත් එම අයගන් මතම පමණක් සලකමින් අවදානම බැහැර කිරීම යෝග්‍ය නොවන බවයි. Healthline වෙත අදහස් දක්වමින් කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා ජෝන් වේන් පිළිකා ආයතනයේ ස්නායු ඔන්කොලොජිස්ට් සහ පරිවර්තන ස්නායු විද්‍යා සහ ස්නායු චිකිත්සක දෙපාර්තමේන්තුවේ සභාපති වෛද්‍ය Santosh Kesari, පවසා තිබුනේ “දිගු කාලයක් පුරා විහිදෙන දුරකථන ඇමතුම් සැලසුම් කරන්නේ නම්, ආරක්ෂිතම විකල්පය වන්නේ ඔබේ දුරකථනයේ ස්පීකර්ෆෝන් විශේෂාංගය හෝ රැහැන්ගත හෙඩ්ෆෝන් (wired headphones) භාවිතා කිරීම බවයි.

මීට අමතරව, Apple සමාගම විසින් ඔවුන්ගේ Airpods උපාංග, රේඩියෝ සංඛ්‍යාත සීමාවන් සහ මාර්ගෝපදේශවල අදාළ වන සියලුම අවශ්‍යතාවලට අනුකූල වන බව රොයිටර් වෙත තහවුරු කර ඇත. තවද මෙම නිෂ්පාදන පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බහුවිධ භාවිත පරීක්ෂණ හරහා සිදු කර ඇති බවට පෙන්වා දේ. ඒ පිළිබඳ පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාව මෙතනින්.

අයනීකෘත නොවන විකිරණ ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර කොමිසම (ICNIRP) රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, "මින් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් පැන නොනගින බවයි. මන්ද, "විද්‍යාත්මක සාහිත්‍යයේ නවතම ඇගයීම මගින් පෙන්වා දෙන්නේ, EMF පිළිකා ඇති කරන බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික පිළිකා මර්දන වැඩසටහන

මෑතකදී ජාතික පිළිකා මර්දන වැඩසටහනින් පරීක්ෂණයන් සිදු කොට ලංකාවේ ඇති පිළිකා කාරක වර්ග 32 හඳුනා ගත් අතර මේතාක් දුරට සිදු කර ඇති පරීක්ෂණ දත්ත අනුව ලෝකයේ WHO විසින් පරීක්ෂණ සිදු කොට හඳුනා ගෙන ඇත්තේ බලවත් පිළිකා කාර වර්ග 121ක් බවත්, ඒවා අතරින් EMF පිළිකා ඇති කරන බවට මෙතෙක් පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන නොමැති බවයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ වෛද්‍ය නදීෂා රත්නසේකර මහත්මිය අප වෙත පැවසූවේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

බ්ලූටූත් උපාංගවල EMF තරංගය පිළිකා අවදානම වැඩි කරන බවට ප්‍රකාශ කිරීම නොමඟ යවන සුළුයි. බ්ලූටූත් හෙඩ්ෆෝන් භාවිතය සහ පිළිකා අවදානම අතර සම්බන්ධය පිළිබඳ ස්ථාපිත සාක්ෂි නොමැති බැවින් හා බොහෝ සහතික කළ වාර්තා සහ විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් බ්ලූටූත් හෙඩ්ෆෝන් පිළිකා අවදානමට කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, අනෙකුත් විදුලිය හා සමාන ආරක්ෂාවක් තිබියදීත්, බ්ලූටූත් හෙඩ්ෆෝන් වල ආරක්ෂාව පිළිබඳව තවමත් විවාද පවතී. කෙසේ වෙතත්, බ්ලූටූත් හෙඩ්ෆෝන් වල අන්තරාය තහවුරු කිරීම සඳහා තවත් පර්යේෂණ සිදු කළ යුතු බවට ඇතැම් විශේෂඥයින් පෙන්වා දේ.

Avatar

Title:බ්ලූටූත් හෙඩ්ෆෝන් පිළිකා අවදානම වැඩි කරන EMF තරංග නිකුත් කරනවාද ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading