දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලංකාව පුරා මාර්ග ආසන්නයේ සැතපුම් කණු දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. එය මාර්ග ඉදිකරන අවස්ථාවලදී සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එහෙත් ඔබ කොතනක හෝ “0” සැතපුම් කණුව ලෙස හැදින්වෙන සැතපුම් කණුවක් දැක ඇත්ද ? ඇත්ත වශයෙන්ම “0” සැතපුම් කණුව ලෙස හදුන්වන සැතපුම් කණුවක් නොර්ටන් බ්‍රිජ් - මස්කෙළිය පාරේ ලක්ෂපාන ප්‍රදේශයට යන මාර්ගයේ දක්නට ලැබෙනවා.මේ මගින් අදහස් කරන්නේ කුමක්ද ? සමාජ ජාලා වල ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිරෙනවා. මේ , ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

සමහර සමාජ ජාලා සටහන් මගින් 0 mile post යනු ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යය බවට කරුණු දක්වා තිබුණේ පහත අයුරින්.

Facebook | Archived

මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එම සටහන් ෆේස්බුක් වල පැතිර තිබුණේ මෙලෙසින්.

ඇතැම් YouTube වීඩියෝවලද මේ සම්බන්ධ විස්තර තිබුණු අතර පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ මෙය පේදුරුතුඩුව සිට දෙවුම්දරතුඩුව යාකරන සිරස් රේඛාවත්, කොළඹ සහ සන්ගමන්කන්දතුඩුව යාකරන තිරස් රේඛාවත් චේදනය කරන ලක්ෂය මත පිහිටා ඇති බවයි. එමෙන්ම එය සිතියම් නිර්මාණකරණයට යොදාගෙන ඇති බවත් එහි දැක්වෙනවා. එම වීඩියෝව මෙතනින්

එම කරුණු දක්වා තිබු සටහනක් පහතින්

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

කරුණු පැහැදිලි කිරීම ( Explanation)

බින්දුවේ (0) සැතපුම් කණුව නැතහොත් ඩබල් කටින් මංසන්ධිය (Double Cutting Junction) සම්බන්ධයෙන් වෙබ් අඩවි ගණනාවක් කරුණු දක්වා ඇති ආකාරය අපට දක්නට ලැබුණා.

මෙය පිහිටා ඇත්තේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිරිවන්එළිය ගමට ආසන්නයේ නෝටන් ප්‍රදේශයේයි. ඒ එහි මස්කෙළිය - නෝටන් බ්‍රිජ් මාර්ගයේ ලක්ෂපාන ප්‍රදේශයට හැරෙන ස්ථානයට ආසන්නයේයි. එම වෙබ් අඩවි සටහන් වලට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්. Archived & Archived

Google Maps වල එම ස්ථානය දක්නට ලැබෙන්නේ පහත අයුරින්.

එම ස්ථානයේ වීඩියෝවක් පහතින්

මෙම ස්ථානය පිලිබඳ වැඩිදුර තොරතුරු අප පාර්ශව කිහිපයකින් විමසා සිටියා.

නුවරඑළිය මිනින්දෝරු දෙපාර්තුමේන්තුව

මෙය ලංකාවේ සිතියම් නිර්මාණය කිරීමේදී මූලික කරගත් ඉතිහාසගත වශයෙන් ඉතාම වැදගත් ස්ථානයක්ද ? අප මේ පිලිබදව විමසුවේ නුවරඑළිය මිනින්දෝරු දෙපාර්තුමේන්තුවට අයත් දිස්ත්‍රික් කාර්යාලයෙන්. ඔවුන් පැවසුවේ සිතියම් නිර්මාණකරණය සදහා මිනින්දෝරු දෙපාර්තුමේන්තුව මගින් මෙම ස්ථානය යොදාගත් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. එසේම මෙය ලංකාවේ මධ්‍ය ලක්ෂය බවට වන සටහන් සත්‍යයෙන් තොර බවයි ඔවුන් පැවසුවා.

ඉන් අනතුරුව අප නුවරඑළිය දිස්ත්‍රික්කයේ කටයුතු කරන, මාර්ග සහ එහි තොරතුරු දන්නා මිනින්දෝරු වරයෙක් වන කසුන් සමරවීරගෙන් මේ පිලිබදව විමසා බැලුවා. ඔහු පැවසුවේ මෙම ස්ථානය ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යය බවට වන සටහන් සාවද්‍ය බවයි. කෙසේ වුවත් මෙම ස්ථානයේ සිට ශ්‍රී පාද ,මස්කෙළිය,නල්ලතන්නි ,ලක්ෂපාන ආදී බොහෝ ප්‍රදේශවලට ගමන්කළ හැකි බවත් ඔහු පැවසුවා.

මාර්ග සංවර්ධන අධිකාරිය

වර්තමානය වන විට මෙම සැතපුම් කණු පිහිටවීම ආදිය පිලිබදව කටයුතු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය වන නිසා අප මාර්ග සංවර්ධන අධිකාරියේ මෙම ප්‍රදේශය භාරව කටයුතු කරන නෝර්වුඩ් කාර්යාලයට කතා කළා. එහි නිලධාරියෙක් වන ඩබ්.ඒ. මුණසිංහ ද අප සමග පැවසුවේ මෙය ලංකාවේ මැද බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි.

කෙසේ නමුත් මාර්ග සැකසීමේදී සැතපුම් කණු, දුර ලකුණු කිරීමේදී පහසුවක් වශයෙන් බින්දුවේ සිට 0,1,2,3 වශයෙන් දුර ලකුණු කරන අතර සාමාන්‍යයෙන් 0 ලෙස සැතපුම් කණුවක් නම් කිරීම සිදු නොකරන බවත් ඔහු පැවසුවා.

නමුත් මෙහිදී ඇති විශේෂත්වය නම් 0 සැතපුම් කණුව ලෙස සැතපුම් කණුවක් නම් කර තිබීම සහ ලංකාවේ අන් කිසිම ස්ථානයක බින්දුව ලෙස නම්කළ සැතපුම් කණුවක් දක්නට නොලැබීම බවයි ඔහු පැවසුවේ.

“Double Cutting” ලෙස හැදින්වෙන මෙම ස්ථානයේ ඇති විශාල කදු වැටියක් කපා ඉවත්කර යටත් විජිත සමයේදී කදු වැටියෙන් දෙපසට මාර්ග 2 ක් ඉදිකර ඇති බවත්, එම මාර්ගවල දුර ලකුණු කිරීමේ පහසුව තකා 0 ලෙස සැතපුම් කණුවක් ලකුණු කරන්නට ඇති බව උපකල්පනය කල හැකි බවයි ඩබ්.ඒ. මුණසිංහ වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්ෂය පිලිබඳ කරුණු දැක්වීම්

ඉන් අනතුරුව අප අවධානය යොමු කලේ මෙය දෙවුන්දරතුඩුව මකර කට සහ පේදුරුතුඩුව (සෙක්කොට්ටායි පොයින්ට්) හරහා යන සිරස් රේඛාවත් , කොළඹ සහ සංගමන්කන්ද තුඩුව හරහා ගමන් කරන තිරස් රේඛාවත් එකිනෙකට චේදනය වන ලක්ෂයත් වන ස්ථානයේ මෙම ඩබල් කටින් හන්දිය පිහිටියේ ද යන කරුණයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ එය නිශ්චිතවම චේදනය නොකරන නමුත් ආසන්නයේ පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකර තිබු සිතියම් විශ්ලේෂණයක් ඇතුළු කරුණු දැක්වීමක් මෙතනින්.

එසේම ලංකාවේ යටත් විජිත සමයේ සැතපුම්වලින් මිණුම් ක්‍රම තිබුණ ද දැන් භාවිතා වන්නේ කිලෝමීටර් මිනුම් ක්‍රමයයි. මේ යටතේ ලංකාව පුරා ඇති ප්‍රදේශවලට මිණුම් ආරම්භ වන්නේ කොළඹ චැතම් විදියේ ඇති ඔරලෝසු කණුවේ සිට බව බොහෝ දෙනා සලකනවා. මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පලකල Institute of Surveying and Mapping හි ජේෂ්ඨ කථිකාචාර්යවරයකු වන B.G.R.K. බටගල්ල පවසා සිටියේ  ලංකාවේ මිනුම් කටයුතු ආරම්භ කල ස්ථානය ලෙස කොළඹ චැතම් විදියේ මෙම ඔරලෝසු කණුව සැලකීමේ වරදක් නොමැති බවයි. මෙම ඔරලෝසු කණුව ත්‍රිකෝණමිතික මැනුම් ක්‍රමයේදී ,ආරම්භයේදී Baseline එක සැකසීම සදහා යොදාගත් බවක් ඔහු පවසා සිටියා.

මේ අතර මාතලේ ප්‍රදේශයේ පිහිටි නාලන්දා ගෙඩිගේ තුළ ලංකාවේ මාධ්‍ය ලක්ෂය පිහිටා ඇති බවට ද එම ස්ථානයේ සඳහන් කර තිබෙනවා. එම ස්ථානය සිතියමේ දැක්වීම මෙතනින්. ඡායාරුපයක් මෙතනින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ලංකාවේ එකම බින්දුවේ සැතපුම් කණුව (0 Mile Post) පිලිබඳ පැහැදිලි කිරීමක්!

By: Kalana Krishantha

Result: Explainer