ගාලු මුවදොර අරගලකරුවන් සියල්ලම නියෝජනය කරමින්, එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තනි පක්ෂයකින් තරඟ කරන බවට හඟවෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් හේතුවෙන් මේ පිළිබඳව විමර්ශනය කරමින් අප සිදු කරන කරුණු පැහැදලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ගාලු මුවදොර අරගලකරුවන් මැතිවරණයට යන මැයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වී තිබුණා. ගාලු මුවදොර අරගලකරුවන් සියලු දෙනාම මැතිවරණයට තරඟ කරන බවට මෙයින් හැඟවේ.

Facebook | Archived Link

එමෙන්ම ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා දක්වා තිබූ සබැඳියේ ඇති පුවතේ ද, අරගලකරුවන් මැතිවරණයට ඉදිරිපත් වන බව ත්, බැලුනය ළකුණින් ඔවුන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව ත්, “කොළඹ අල්ලමු වෙනස් කරමු” යන තේමාව යටතේ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය සමග එක් වී ඔවුන් මැතිවරණයට තරග කරන බවයි එම වෙබ් ලිපියේ සඳහන් කර තිබුණේ. එම සම්පූර්ණ ලිපිය මෙතනින්. Archived Link

මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මේ හේතුවන් අරගලකරුවන් සියලු දෙනාම මෙම පක්ෂය නියෝජනයක් සිදු වනවා ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද මුල් ගර ගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය ජුලි 09 වනදා දිවයිනේ විවිධ පෙදෙස් වලින් විවිධ දේශපාලන මත දරන පිරිස්  කොළඹට රැස් වූයේ එවකට ජනාධිපති ධුරය හෙබවූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් විය යුතු බවට බල කරමින්. ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා තම ධූරයෙන් ඉවත්ව ගියා. ජනතාවට දැරිය නොහැකි අයුරින් විදුලිය කප්පාදු කරන පැය ගණන් වැඩි වෙමින්  විදුලිය ලබා දෙන වේලාවන් අඩු වෙමින්, අත්‍යවශ්‍ය භාණ්ඩ ද්‍රව්‍ය මිල ඉහළ යමින්, භාණ්ඩ හා සේවා හිඟ වීම, ඉන්ධන ගැටලු වැනි පීඩා ගෙන ආර්ථික මට්ටමක් උරුම කර දීමට එරෙහි වෙමින් ජනතාව තුළින් ආ විරෝධයන් දිවයිනේ එක් එක් ප්‍රදේශයන් වලින් වාර්තා වෙද්දී, විශාල පිරිසක් ගාලුමුවදොර පිටියට රැස් ව  එක් ස්ථානයක අඛණ්ඩ විරෝධතාවයක් දැක්වීම ආරම්භ වූයේ අප්‍රේල් මාසයේ සිටයි.

ගාලුමුවදොර විරෝධතා බිම ගෝඨාගෝගම ලෙසින් හැදින්වුණු අතර විවිධ දේශපාලන මත දරන පීරිස් එහි දක්නට ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉවත්ව යාමක් සමග ඇතැම් කණ්ඩායම් එයින් ඉවත්ව ගිය අතර අගෝස්තු මාසයේ මැද වන විට එහි රැදී සිටි අනෙත් කණ්ඩායම්ද එතනින් ඉවත් වුණා.

කෙසේ වෙතත් ඉහත සටහනේ දැක්වෙන පරිදි මේ සියල්ලන් ම නියෝජනය කරමින් තනි පක්ෂයක් ලෙසින් ගාලුමුවදොර අරගලකරුවන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වනවා ද, යන්න පිළිබඳ අප විමර්ශනයක් සිදු කළා.

අරගල සමයේ එහි රැදී සිටි කණ්ඩායම් කිහිපයකින් අප මේ පිළිබඳව විමසීමක් කළා. කෙසේ වෙතත් අප මෙම අදහස් විමසීම ලබාගත් පිරිස්ද අරගල සමයේ කැපී පෙනුණු චරිත වුවත් සමස්ත අරගලකරුවන් නිරුපණය නොවන බව සැලකිය යුතුයි.

සුසන්ත කොඩිතුවක්කු

'වෙනස නව සංවිධානය' නමින් එළැඹෙන මැතිවරණයට තරඟ කරන බවට පසුගිය 14 දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුසන්ත කොඩිතුවක්කු ඇතුළු පිරිස දැනුම් දුන්නා.

ලහිරු වීරසේකර

අරගලයට පෙර සිටම තමන් පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙක් බවත්, නමුත් අරගලය වෙනුවෙන් ඒකරාශී වූයේ මුළු මහත් සමාජය ම වෙනුවෙන් බවත්, අරගලය නම භාවිත කරමින් මැතිවරණය කටයුතු වල තමන් නියැලෙන්නේ නැති බවත් ඔහු සඳහන් කළා.

තම පක්ෂයෙන් වුවද, තමන් මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් කිසිසේත්ම අරගලය නම භාවිත නොකරන අතර අරගලයේ සිටි ඕනෑම පුද්ගලයෙක් මැතිවරණය සඳහා ඉදිරිපත් වුව ද, ජනතා අරගලයේ අරමුණු ඉදිරිපත් කිරීමට වගවීමක් ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

එරංග ගුණසේකර

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද, ජාතික ජන බලවේගය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා ක්‍රියාකරනු ලබනවා.

නුවන් බෝපෙගේ

අප කළ විමසීමේදී නීතිඥ නුවන් බෝපෙගම සඳහන් කළේ, තමන් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ නොකරන බවයි. අරගලය පොදු ජනතාව සියල්ල නියෝජනය කළ බවත්, විවිධ මත අදහස් ඇති සියල්න්ගේම එකතුවක් පොදු අරමුණකින් එක් රොක් වූ බවත්, නමුත් වෙන් වෙන් වශයෙන් තමන්ගේ අභිප්‍රාය පරිදි මැතිවරණ වලට ඉදිරිපත් වීමේ කිසිදු වරදක් නොමැති බව ත් ඔහු සඳහන් කළා.

ජීවන්ත පීරිස් පියතුමා

තමන් තව දුරටත් ජනතාව වෙනුවෙන් සේවය කරන බවත්, නමුත් කිසිදු පක්ෂයක් වෙනුවෙන් මැතිරණයක් සඳහා තමන් ඉදිරිපත් නොවන බවත්, පියතුමන් අප කළ විමසීමේදී අවධාරණය කළා.

අනුරුද්ධ බණ්ඩාර

#GoHomeGota2022 ෆේස්බුක් පිටුවේ නිර්මාතෘ අනුරුද්ධ බණ්ඩාරගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

2022 මහජන ප්‍රබෝධය මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වයෙන් ඇති වූවකි. දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා ඒ වෙනුවෙන් විවිධ වූ දායකත්වයන් ලබා දී ඇත. ඒ අනුව මාධ්‍ය තුලින් සහ සිදුවීම් තුලින් ඉදිරියට පැමිණි පුද්ගලයන් සිටියද මෙය අරගලකරුවන් මිලියන ගණනකගේ දායකත්වයකින් සිදුකරන ලද විමධ්‍යගත ව්‍යාපාරයකි.

ගාලුමුවදොර අරගලකරුවෝ යන නාමය ගාලුමුවදොර ආශ්‍රිතව ක්‍රියාකාරකම් වලට අදාලව පොදු තීරණ ක්‍රියාත්මක කිරීමේදී භාවිත වූ නාමයයි. එය පුද්ගලයන් හා සංවිධාන රැසක එකතුවකි. ජූලි 09 ට අදාල තීරණවලින් පසු එය යලි රැස්වූයේ 2022 අගොස්තු 06 නුගේගොඩ රැළියට අදාලවයි.

එබැවින් ගාලුමුවදොර අරගලකරුවන් මැතිවරණය පිළිබදව තීරණය කිරීම සදහා රැස්වීමක් හෝ සිදු කර නැත. එබැවින් මැතිවරණයට අදාලව එම නම භාවිතා වීම නොමග යවන සුළු අතර ඉදිරිපත් නොවන අයට සිදු කරන අසාධාරණයකි.

මැතිවරණට ඉදිරිපත් වීම ඕනෑම පුද්ගලයෙක් ගේ ව්‍යවස්ථාපිත අයිතියකි. ඒ අනුව අරගලයට දායක වූ පිරිසක් / සමහර සංවිධාන මැතිවරණයට ඉදිරිපත් වන අතර පිරිසක් ඉදිරිපත් නොවී බලපෑම් කණ්ඩායමක් ලෙස හෝ වෙනත් ක්‍රියාමාර්ග තුලින් ඉදිරියට යනු ඇත . එය ඔවුන්ගේ පුද්ගලික තීරණයක් වන අතර පොදු තීරණයකට එළඹීමක් සිදුව නැත.

මෙලනි ගුණතිලක

අරගල සමයේදී පොලිස් අත්අඩංගුවට පවා ගැනුණු මෙලනි ගුණතිලකගෙන් ද, අප විමසා සිටියේ ඇය එළැඹෙන මැතිවරණය සඳහා පෙනී සිටිනවාද යන්නයි. ඇය සඳහන් කළේ, තමන් මැතිවරණය වෙනුවෙන් පෙනී නොසිටින බවත්, ගාලුමුවදොර අරගලය වෙනුවෙන් ස්වාධීන මත දාරිනියක් ලෙසින් පමණක් තමන් පෙනී සිටින බවයි.

නමුත් මැතිවරණයකට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති ඕනෑම පුද්ගලයෙක් ට මැතිවරණයට පෙනී සිටීම සම්බන්ධයෙන් කිසිදු වරදක් නැති බවත්, අරගලයේදී ඇතැම් තීරණ සාමුහිකව ගැනීම සඳහා පමණක් අරගලය තුළ දී සංවිධානය වූවත්, එහි නිමාවත් සමග කිසිදු කණ්ඩායමක් වෙනුවෙන් පෙනී නොසිටන බවයි ඇය සඳහන් කළේ.

අරගලයේ නම භාවිත නොකොට ජනතා අරගලය වෙනුවෙන් පෙනී සිටි පුද්ගයන් මැතිවරණයට එළැඹුන ද, එහි වරදක් තමන් නොදකින බව ඇය වැඩි දුරටත් සඳහන් කළා.

අරගලයේ නම භාවිත නොකොට ජනතා අරගලය වෙනුවෙන් පෙනී සිටි පුද්ගයන් මැතිවරණයට එළැඹුන ද, එහි වරදක් තමන් නොදකින බව ඇය වැඩි දුරටත් සඳහන් කළා.

රතිඳු සේනාරත්න

අරගලය වෙනුවෙන් පෙනී සිටියේ තමන් ඇතුළු සමස්ත ප්‍රජාවන් මුහුණ දෙන ගැටුලු වෙනුවෙන් බවත්, නමුත් මැතිවරණය සඳහා පුදගලිකව තමන් පෙනී නොසිටියත් සුදුසුකම් ලත් අරගලයේ නියෝජනයන්ට ඒ සඳහා පෙනී සිටීමේ ගැටලුවක් තමන් නොදකින බවත්, ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවටත් ඔහු සඳහන් කළා.

දනිෂ් අලි

ඉදිරි මැතිවරණය සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් තරග වදින බව ගාලුමුවදොර අරගලයෙහි ඉදිරිපෙල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ දනිෂ් අලි සඳහන් කර තිබුණා. කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පවසා තිබුණේ, කොළඹ නගර සභාවේ බලය අල්ලි සියලු දෙනාට නිවාස රැකියා ලබා දෙන බවයි.

මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ‘කොළඹ අල්ලමු වෙනස් කරමු’ යන මැයෙනි.

https://www.youtube.com/watch?v=9SXV_dBwZYc

ඒ අනුව ඉහත සටහනේ පෙන්වා දී තිබුණේ, දනිෂ් අලි මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව සම්බන්ධ පුවතයි. නමුත් එම පුවත මගින් සමස්ථ අරගලකරුවන් නියෝජනය කළ බව ක් දක්වා තිබුණු හෙයින් මෙම නොමග යෑම සිදුවී තිබුණා.

අප ඉහතින් සඳහන් කළ කණ්ඩායම් බොහෝ දුරට වාමාංශික අදහස් දරන පිරිස් වන අතර ලිබරල් දක්ෂිණාංශික අදහස් දරන සහ මධ්‍යස්ත මතදාරී පිරිස් ඇතුළත්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය,ලිබරල් සහෝදරත්වය ,Black Caps Movement යනාදී සංවිධාන සැලකිය යුතු පිරිසක් අරගලයේ සිටි අතර මැතිවරණවලට ඉදිරිපත්වීම හා සම්බන්ධ කරුණු එම බොහෝ කණ්ඩායම් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

Update :

අවිෂ්ක විරාජ් කෝනාර

අරගලයේ කැපී පෙනෙන තව ත් චරිතයක් වූ අවිෂ්ක විරාජ් කෝනාර එක්සත් මහජන පක්ෂයෙන් මහරගම නගර සභාවෙන් මැතිවරණය අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට අද (16) දිනයේදී ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්නFacebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ගාලු මුවදොර අරගලකරුවන් සියල්ල ම තනි පක්ෂයකින් මැතිවරණයට ?

By: Pavithra Sandamali

Result: Explainer