දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කරන අන්දමින් ජනතාව නොමග යන අයුරු අපට බහුලව දක්නට ලැබෙනවා. රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ පීඩා විඳිමින් සිටින ජනතාවට තවත් අනිසි බියක් ඇති කරමින් ජනතාව නොමග යන අයුරින් වාර්තා කළ පුවතක නිරවද්‍යතාව සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන ධාරා මාධ්‍ය ආයතනයක පුවතක් පළ කර තිබුණේ මෙලෙසින්.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්වන පුද්ගලයන්ට ඩොලර් 60 ක නව අපගමන බද්දකට (Embarkation Levy) යටත් වන බවට මෙමගින් හැඟවී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් බහුල වශයෙන් ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වූයේ මෙලෙසින්.

මේ ඔස්සේ ඩොලර් 60 ක නව අපගමන බද්දක් පනවා ඇති බවට බොහෝ පරිශීලකයින් නොමග ගොස් ඇති බවට මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙස අපට ද විමසීම් කිහිපයක්ම ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :‍

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීම සඳහා අප ප්‍රථමයෙන් පරීක්ෂා කර බැලුවේ නව අපගමන බද්දක් (Embarkation Levy) මුදල් අමාත්‍යවරයා විසින් පනවා ඇත්ද යන්නයි.

මේ සම්බන්ධනේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් පසුගිය 11 වන දා නිකුත් කර ඇති බවට දැක ගන්නට ලැබුණා.

ඒ අනුව, එහි සඳහන් වී තිබුණේ, 2023 වසරේ ජනවාරි 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්වන සෑම පුද්ගලයෙක්ම අමෙරිකානු ඩොලර් 30 ක අපගමන බද්දක් ගෙවිය යුතු අතර 2023.01.12 සිට 2023.07.11 දක්වා කාලපරිච්ඡේදය තුළ දී යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සෑම පුද්ගලයෙක් ම අමෙරිකානු ඩොලර් 30 ක අපගමන බද්දකට යටත් වන බවයි.

තවද, මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ සමඟ මෙහෙයුම් කරනු ලබන දින සිට වසර දෙක කාලයක් අපගමන බද්දෙන් නිදහස් වේ.

එසේම එම නිවේදනයේ තවදුරටත් දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ වෙනත් ගුවන් තොටුපළකින් (කටුනායක) හෝ නැව් තොටකින් විදෙස් ගත වන ඕනෑම අයෙකු විසින් ඩොලර් 60 ක අපගමන බද්දක් අය කෙරෙන බවයි.

එසේම මීට පෙර නිකුත් කර තිබු ඇති විශේෂ ගැසට් නිවේදන වන, 2003 අංක 25 දරන මූල්‍ය පනත යටතේ කරන ලද 2019 ජූලි 29 දින අංක 191/8 අංක 191/8 දරන අතිවිශේෂ ගැසට් නිවේදනවල 2019 ජූලි 29 දින අංක 2134/5, සැප්තැම්බර් 2020, 21, 2194/6 දරන අංක 2194/6 දරන නියෝග /53 දිනැති මාර්තු 2, 2022 සහ අංක 2309/3 දිනැති දෙසැම්බර් 09,2022 අහෝසි වන බව ද, මෙම නිවේදනයේ සඳහන්.

මේ වන තෙක් අපගමන බදු අය කර තිබුණා ද ? ඒ කෙසේ ද?

මුලින්ම අප විමර්ශනය කළේ, 2019 වසරේ අපගමන බද්ද පනවා ඇත්තේ කෙලෙසද යන්නයි. පසුගිය යහපාලන රජය සමයේ ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබු නිවේදනයක් පහතින්.

2019 වසරේ මාර්තු මස, එවකට මුදල් අමාත්‍යවරයා ලෙස සිටි දිවන්ගත මංගල සමරවීර මහතාගේ අත්සනින් නිකුත් කර තිබු එම නිවේදනයේ දක්වා තිබුනේ, ඕනෑම ගුවන්තොටුපළකින් හෝ නැව් තොටකින් පිටත් වන පුද්ගලයන් සඳහා අපගමන බද්ධ අමෙරිකානු ඩොලර් 60 ක මුදලක් පනවා ඇති බවයි.

එමෙන්ම රත්මලාන ගුවන් තොටුපලින් ගමනේ යෙදෙන අන්තර්ජාතික ගුවන් ගමන් මගින් සඳහා ද මෙම බදු මුදල අය කර තිබුනේ 2022 මාර්තු මාසයේදී යි. එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්, 2022.03.27 සිට 2023.03.26 දක්වා වසරකට බලපැවැත්වෙන පරිදි, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්වන සෑම පුද්ගලයෙක්ම, අමෙරිකානු ඩොලර් 30 ක අපගමන බද්දකට යටත් වන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්.

තවද වර්තමාන මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, පසුගිය 2022 දෙසැම්බර් 09 වන දා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක දක්වා තිබුණේ, මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට වසර දෙක කාලයක් තුළ එමගින් ගුවන් යානයකින් ගමන් ගන්නා පුද්ගලයින් අපගමන බද්දෙන් නිදහස් වන බවයි.

ඊට දින කිහිපකට පසු, වසර දෙකකට පසුව මත්තලින් ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹා තිබු බව, පසුගිය දෙසැම්බර් මස වාර්තා වුණේ මෙලෙසින්

අප යාපනය ගුවන්තොටුපොළින් ද, මේ පිළිබඳ විමසා සිටි අතර ඔවුන් පවසා සිටියේද, මෑතකදී එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ඩොලර් 30ක අපගමන බද්දක් ඉන් ගුවනින් පිටත් වන පුද්ගලයින් සඳහා අයකර ඇති බවයි.

මේ අනුව පෙනී යන්නේ ජනවාරි 11 දින නිකුත් කළ නිවේදනයට පෙර සිටම එහි සඳහන් අපගමන බදු ක්‍රියාත්මක වී තිබු බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ද, වන බැවින් ජනාධිපති මාධ්‍ය අංශයෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, ශ්‍රී ලංකාවෙන් ගුවනින් පිටත්වන පුද්ගලයන් සඳහා පනවා ඇති අපගමන බද්දේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බවත්, පෙර පැවති අගයන් යටතේ පවතින බවත්ය.

වත්මන් රජය නව බද්දක් ලෙස ඇමරිකානු ඩොලර් 60 ක අපගමන බද්ද පනවා නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළ බව ද, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණා.

https://twitter.com/PMDNewsGov/status/1615958280257564673

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම

අප ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ශෙහාන් සුමනසේකර මහතාගෙන් ද, මේ පිළිබඳව විමසීමක් කළා.

ඒ මහතා සඳහන් කළේ, 2019 සිට මේ වන තෙක් කටුනායක ගුවන් තොටුපොළින් පිටත් වන දේශීය/ විදේශීය සියලුම පුද්ගලයන් සඳහා පනවා ඇති අපගමනේ බද්ද අමෙරිකානු ඩොලර් 60 ක් වූ බවයි. එමෙන්ම එම බද්ද ගුවන් ටිකට් පතේ අඩංගු කොට ඇති බවත්, ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඒ අනුව පෙනී යන්න මෙම අපගමන බද්ද මීට පෙර සිටම එම බදු ප්‍රමාණයෙන්ම (ඩොලර් අගය යටතේ) පැවති බවයි. මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළිවල් වලින් පිටත්වන පුද්ගලයන්ට නව අපගමන බද්ධක් පනවා ඇති ලෙස ප්‍රධාන මාධ්‍ය හා ඇතැම් සමාජ මාධ්‍ය සටහන් දක්වා තිබීම හේතුවෙන් ජනතාව නොමග ගොස් තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:කටුනායක ගුවන් තොටුපළින් ගුවන් යානයෙන් පිටත්වන පුද්ගලයන්ට ඩොලර් 60 ක නව බද්දක් පනවා නැහැ!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading