දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

වසර තුන් දහසකට වරක් පිපෙන උදුම්බරා මල්වලින් මල් 24ක් ශ්‍රී ලංකාවේ ගමක පිපී තිබු බව කියැවෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර සංසරණය වුණා. බොහෝ දෙනා මෙයට විරුද්ධව අදහස් ඉදිරිපත් කර තිබු අතර, ඇතැමුන් එයට සහයෝගය පළකරමින් ද විවිධ මත පළකර තිබුණා.

FactCrescendo කණ්ඩායමද මෙහි සත්‍ය අසත්‍යතාව පිලිබඳව තොරතුරු ගවේශණය කරමින් එහි විද්‍යාත්මක පදනම සහ සාහිත්‍යමය පදනම පිළිබඳව කරුණු සොයා යාමක් සිදු කරන ලදී.

සමාජ ජාලා සටහන් 

වසර 3000 කට වරක් පිපෙන උදුම්බරා මලක් පිපුණු බවක් , මෙය යහපත් රජෙක් පහළවීමේ පෙරනිමිති බවත් පවසමින්, පාරක් අයිනේ පිහිටි කුඩා පෙට්ටි කඩයක තිබෙන යකඩ කම්බියක් මත මෙම අරුම පුදුම මල් පිපී ඇති බවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

මෙය මුලින්ම දැක ඇත්තේ එම කඩය අසලින් ඇති බස් නැවතුම් ස්ථානයේ නැවතී සිටි දරුවෙක් බවත් එහි සදහන්. එසේම මුලින් මල් 34 ක් පිපුනත් , කුඩා දරුවෙකු විසින් මල් 18 ක් කඩා දැමීම නිසා වීඩියෝව රූගත කරන අවස්ථාවේ ඉතිරිව ඇත්තේ මල් 16 ක් පමණක් බවයි පැවසෙන්නේ.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ කුඩා ඉදිකටු ආකාරයේ ව්‍යුහයක් තිබෙන මල් මෙසේ හටගෙන තිබෙන බවක්. එම වීඩියෝව පහතින්.

Facebook

ඒ සම්බන්ධයෙන් පලව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ සම්බන්ධයෙන් වන සටහන් රැසක් ෆේස්බුක් තුළ බහුලව පැතිර තිබුනේ පහත ආකාරයෙන්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

උදුම්බරා මල් පිළිබඳව බෞද්ධ සාහිත්‍යමය විශ්වාස සහ මතවාද

උදුම්බරා මල් පිළිබඳ බෞද්ධ සාහිත්‍ය පුරාවට විවිධ තැන්වලදී සඳහන් කෙරේ. උදුම්බරා යනු ඉතා කලාතුරකින්, එනම් වසර 3000කට වරක් ලෝකයේ පිපෙන මල් විශේෂයක් බවත්, මෙම මල්වල හදිසි ඇතිවීම බුදුවරයෙකුගේ පහළවීමක් හෝ යහපත් රජෙකුගේ පහළවීමක පූර්ව නිමිති අඟවන බව ඇතැමුන් විශ්වාස කරයි.

තවත් පිරිසක් සඳහන් කරන්නේ උදුම්බරා මල් කලාතුරකින් වුවද පිපෙන්නේ දිව්‍යලෝකයේ පමණක් බවයි. මේ ආකාරයට විවිධ ආකාරයට උදුමබරා මල් පිලිබදව සදහන් වේ. ඒ පිලිබඳ සටහනක් මෙතනින්. එම කතාවල සත්‍ය අසත්‍යතාවය පිලිබදව අපට පැවසිය නොහැක.

එහෙයින් අප මෙහිදී විමසා බලන්නේ ඉහත සමාජ ජාලා වීඩියෝවේ උදුම්බරා මල් ලෙස පෙන්නුම් කරමින් එහි දැක්වෙන්නේ වසර 3000 කට පමණ වරක් පිපෙන දුලබ මල් වර්ගයක් ලෙස සඳහන් වන කරුණු සම්බන්ධයෙනි.

උදුම්බරා මල් පිලිබඳව මීට පෙර වාර්තා වූ දෙස් විදෙස් පුවත්!

ඉහත අප සඳහන් කළ සමාජ ජාලා වීඩියෝවේ දැක්වෙන ව්‍යුහයන් චීනයේ දී උදුම්බරා ලෙස ප්‍රකට යි.ඒ හා සබැදි චීන විශ්වාසයන් හා සම්බන්ධ වෙබ් සටහනකට පිවිසිය හැකියි මෙතනින්. Archived

චීනය, කොරියාව ඇතුළු කලාපයේ මෙම ව්‍යුහයන් උදුම්බරා ලෙස හැදින්වීම නිසා අප රටේද මේවා ඒ නමින්ම හැදින්වීම සිදුවන බවක් අපට උපකල්පනය කල හැකියි.

ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද මෙම ව්‍යුහයන් උදුම්බරා නැතහොත් යුටාන් පොලුවෝ (youtan poluo) ලෙස සදහන් ඉතා දුලබව දක්නට ලැබෙන මල් වර්ගයක් බවත් වාර්තා වූ බව මීට වසර කිහිපයකට පෙරත් වාර්තා කර තිබුනේ මෙලෙසින්.Archived

ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ද , අවස්ථා කිහිපයක දී ම මේ ආකාරයටම උදුම්බරා මල් පිලිබඳව වාර්තා වෙනවා. නවගත්තේගම තරුණයකු විසින් පවත්වාගන යන කුඩා හෝටලයක් පිරිසිදු කරමින් සිටියදී එහි තිබු පොල් අතු වහලයක් තුල තිබි මේ ආකාරයෙන් ‘උදුම්බරා’ මල් හමුවු බව වාර්තා කර තිබු අවස්ථාවක් මෙලෙසින්. තවත් අවස්ථාවක් මෙතනින්

කෙසේ නමුත් මේ සම්බන්ධව පිළිගත හැකි විද්‍යාත්මක පැහැදිලි කිරීම සමාජ ජාලාවල සහ සමහර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල දක්නට ලැබෙන මතයන්ට සම්පුර්ණ වෙනස්.

සැබැවින්ම මෙම වීඩියෝවේ දැක්වෙන ඉදිකටු වැනි ව්‍යුහයන් මොනවාද ?

මේ හා සබැදි විද්‍යාත්මක තොරතුරු විමසීම සඳහා Fact Crescendo කණ්ඩායම විසින් ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ, පැළෑටි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂක මහාචාර්‍ය සුභානි රණසිංහව සම්බන්ධ කරගත්තා.

ඇය ප්‍රකාශ කළේ, මෙවැනි ‘උදුම්බරා’ මල් / ශාක සොයා ගැනීම පිළිබඳව, වරින් වර වසර කිහිපයකට වරක්, ශ්‍රී ලංකාව පුරා තැනින් තැන තොරතුරු වාර්තා වන බවයි. මේ හේතුවෙන්ම මීට වසර කිහිපයකට පෙර එසේ නුවර ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමක් සම්බන්ධයෙන්, ජාතික උද්භිත උද්‍යාන දෙපාතමේන්තුව විසින් විමර්ෂණයක් සිදු කළ බවත් ඇය සඳහන් කළා.

මෙම සාම්පල අණ්වීක්ෂීය පර්‍යේෂනවලට ලක් කළ බවත්, සත්‍ය වශයෙන්ම එහි දැකගන්නට ලැබූ ව්‍යුහයන් කිසියම් හෝ ශාකයක් නොව, Chrysopidae විශේෂයට අයත් ලේස්වින්ග්ස් (lacewing) කෘමියාගේ බිත්තර ලෙස තහවුරු වූ බවත් ඇය පැවසුවා.

ග්‍රීන් ලේස්වින්ග්ස් හෝ පොදුවේ ලේස්වින්ග් ලෙස හඳුන්වනු ලබන මෙම කුඩා කෘමියාගේ විශේෂ 1300 - 2000 අතර ප්‍රමාණයක් ලොව පුරා නිවර්තන කලාපයේ රටවල බහුලව දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව 2020 වසරේ පළවූ පුවත් වාර්තාවක් මෙතනින්

තවද මෙම උදුම්බරා මල් යැයි සැලකෙන ද්‍රව්‍යයෙන් හඳුන් සුවඳක් හමන බවට පවතින අදහස ගැන අප වැඩිදුරටත් විමසූ විට මහාචාර්‍ය සුභානි පැවසුවේ ඇතැම්විට එම කෘමි බිත්තරවලට ආවේණික යම් සැර ගන්ධයක් පැවතිය හැකි වුවත්, එය සඳුන් සුවඳ විය නොහැකි බවයි. මිනිසුන්ගේ විශ්වාස සමඟ මෙම අදහස ඔවුන් තුළ ඇති වී තිබීමට ඉඩ ඇති බවද ඇය පැවසුවා.

lacewing කෘමියා බිත්තර දමන ආකාරය සහ එම ක්‍රියාවලියේදී මලකට සමාන මෙම ව්‍යුහය හටගන්නා ආකාරය පිලිබදව BBC ආයතනය මගින් සැකසු පැහැදිලි වීඩියෝවක් පහතින්.

https://youtu.be/0zECnVZyYDI

lacewing ජීවීන් සහ බිත්තර දමන ආකාරය පිලිබදව වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived තවත් වාර්තාවක් මෙතනින්

මෙම කෘමීන් ලෝකයේ බහුල ව්‍යාප්තියක් සහිත ජීවීන් විශේෂයක් .ඒ සම්බන්ධ විස්තර මෙතනින්.Archived ලංකාවේද මෙම ජීවීන් සුලබ කෘමීන් විශේෂයක් බව වාර්තාවල දැක්වෙනවා.ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින් සහ මෙතනින්

මෙම කෘමීන් නිවර්තන කලාපිය රටවල දැකගන්නට ලැබෙන බැවින් සහ බිත්තර දැමීම ඔවුන්ගේ ජිවන චක්‍රයේ අවශ්‍යම අංගයක් නිසා මෙවැනි ව්‍යුහ දැකගැනීම දුලබ දසුනක් වන්නේ නැහැ.ඔබත් ඔබගේ පරිසරය පිලිබදව විමසිල්ලෙන් සිටියහොත් මෙවන් දේ දැකගැනීමට හැකිවනු ඇත.

එසේම වසර තුන්දහසකට වරක් පිපෙන මලක් පිළිබඳව වාර්තා වන්නේ නැති අතර ගිනස් ලෝක වාර්තා පොතේ වැඩිම කාලයකින් (සෙමින්ම) මල් හටගන්නා ශාකයක් පිලිබඳ සටහන් වන්නේ බොලිවියාවෙන්. ඒ වසර 80-150ත් අතර කාලයක්. එම සටහන මෙතනින්.

Also Read: Fact Check: වසර 400 කට වරක් මල් පිපෙන හිමාලයේ ඇති දුර්ලභ පැලෑටියක් ?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදුකරන ලද කරුණු විමසීම අනුව තහවුරු වන්නේ වසර 3000 කට වරක් පිපෙන උදුම්බරා මල් ලෙස සදහන් වෙමින් සමාජ ජාලා වල පළවන වීඩියෝවේ කරුණු අසත්‍ය සහ නොමගයවන සුලු බවයි. විද්‍යාත්මක සාක්ෂි අනුව බොහෝ දුරට සිදුකල හැකි නිගමනය වන්නේ මෙහි දැක්වෙන්නේ lacewing නම් කෘමි සත්වයා මගින් බිත්තර දැමීමේදී සැකසී ඇති ව්‍යුහයන් බවයි.

සටහන: මෙහිදී අප “උදුම්බරා මල” , යන්න මත පදනම්ව ඇති ආගමික විශ්වාස සත්‍ය හෝ අසත්‍ය බවට විමසා නොබලන අතර වේගයෙන් පැතිර යන සමාජ ජාලා වීඩියෝවේ උදුම්බරා මල ලෙස හැදින්වෙන්නේ එවන් යම් විශේෂ මලක් නොව බොහෝදුරට lacewing කෘමියාගේ බිත්තර යන්න පමණක් සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබේ.

Avatar

Title:වසර 3000 වරක් පිපෙන උදුම්බරා මලේ ඇත්ත කතාව!

Fact Check By: Fact Crescendo Team

Result: False