දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

හිටපු ජනාධිපතිවරයෙකු වු ආර්.ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට, දේශපාලන වේදිකාවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් හා ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් මූලික කර ගනිමින් Fact Crescendo අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකරන ලද කතාවක් අතරතුර දී ඔහු දක්වා තිබු කරුණු අතර, සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලි ජයකොඩි මහත්මිය, ව්‍යාජ නෝට්ටු තොගයක් සමගින් අසුවූ බවට චෝදනයවක් ද වුණා.

Facebook

මේ කරුණ සම්බන්ධයෙන් නැවත වරක් විශාල කතාබහක් ඇති වූ අතර අනුර කුමාර දිසානායක විසින් එල්ල කරන මෙම චෝදනාව නිවැරදි ද, යන්න පිළිබඳ බොහෝ පාඨකයින් පිරිසක් විමසීමක් කර තිබූ බැවින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

ජාතික ජන බලවේගය විසින් පසුගිය 19 වන දා පැවති ‘ඇයි මේ කලබලේ?’ නමැති සම්මන්ත්‍රණය වෙත අප ප්‍රථමයෙන් ම අපගේ අවධානය යොමු කළේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරනු ලබන්නේ, එම අවස්ථාවේ බැවිනි.

අනුර කුමාර දිසානායක විසින් සිදු කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ, දේශපාලන ප්‍රභූ යැයි කියා ගන්න පිරිස රටේ නීතිය ගැන නොසිතා ප්‍රභූ පැලැන්තිය ආරක්ෂා කරන බවක්. ඊට උදාහරණයක් දෙමින් ඔහු සඳහන් කරන්නේ, සිරිලිය ගිණුම් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමට ලිපියක් යැවීම වෙනුවට, ඇය හිටපු ජනාධිපති ආර්යාවක් බැවින් ඇයගේ නිවස වෙත ගොස් පරීක්ෂණ අරඹන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ බවත්, ඉන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගන්න ලෙස තීන්දු කළත්, එවකට රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කැබිනට් කණ්ඩායම විසින් ඇය අත්අඩංගුවට නොගන්නා ලෙස තීන්දු කළ බවයි. ඊට හේතුව ප්‍රභූ පැලැන්තිය ආරක්ෂා කිරීම බවයි අනුර කුමාර පවසන්නේ.

තවදුරටත් එම තේමාවෙන්ම ජාතික ජන බලවේගයේ නායකයා පවසා සිටින්නේ “සජිත්ගේ නංගී ලක්ෂ 20ක් 5000හේ හොර නෝට්ටු සමඟ අහුවුණා. ගමේ කෙනෙක් හොර නෝට්ටු 2ක් අහුවුණත් අඩු තරමේ සති දෙකක්වත් රිමාන්ඩ් කරනවා, ප්‍රශ්න කරන්න ඕනෑ කියලා. ධනසිරි අමරසිංහ රූපවාහිනි සාකච්ඡාවකදී කිව්වා මහින්ද රාජපක්ෂ මැදිහත්වෙලා ඇයව බේරා ගත්තා කියලා” යනුවෙනි. එම සම්පූර්ණ වීඩියෝවෙ මෙතනින්.(එම කොටස 40.24)

දුලාංජලි ජයකොඩි මහත්මිය හා සම්බන්ධ ව්‍යාජ නෝට්ටු සිදුවීම

දිවංගත හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය 2014 වසරේ මාර්තු 25 වන දින කොළඹ බැංකුවක, ලක්ෂ 20ක මුදල් තැන්පත් කිරීමට ගිය අවස්ථාවකදී, ඒවා ව්‍යාජ මුදල් බවට බැංකු කළමණාකරු දන්වා තිබේ.

තම සැමියාගේ මව්පියන්ගේ ඉඩමක් විකුණා ලබා ගත් මුදල්, ආයෝජනය කිරීමට ඇතුල්කෝට්ටේ පදිංචි ක්‍රිෂාන්ත රොලිප් මොඩස්ටස් පෙරේරා නමැති ව්‍යාපාරිකයාට ලබා දුන් බවත්, එකී ආයෝජන වල ලාභය ඔහු විසින් ඇයට ලබා දී ඇති අතර ඇය එය පරීක්ෂා නොකොට එම මුදල් තැන්පත් කිරීමට අදාළ බැංකුව වෙත පැමිණි බවත් දුලාංජලී ජයකොඩි මහත්මිය අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

දුලාංජලී ජයකොඩි මහත්මිය විසින් රහස් පොලීසියේ ව්‍යාජ මුදල් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින්ද ප්‍රියදර්ශන මහතාට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනවලදී ඉහත සිදුවීම සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දුලාංජලි ජයකොඩි මහත්මියට රුපියල් ලක්‍ෂ 20 ක ව්‍යාජ මුදල් ලබා දුන් පුද්ගලයා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට පසු දින (26දා) අළුත් කඬේ අංක 01 මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු අප්‍රේල් 03 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර විත්තිකරුට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන් අවස්ථාවේදී තමන් මෙම චෝදනාවට නිවැරදිකරු බව පැවසීම නිසා මෙම නඩුව අප්‍රේල් 23 දා සිට විභාග කිරීමට නියමිතව තිබූ අතර, නඩුව විභාග කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තමන් මෙම චෝදනාවට වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට දැනුම් දී තිබිණි.

හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණියට ව්‍යාජ 5000 නෝට්ටු ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු, ඇඟලුම් කර්මාන්තශාලා හිමිකරුවෙක් වන අතර, මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ තිබී තවත් රුපියල් මිලියන 2කට අධික ව්‍යාජ පන්දහසේ නෝට්ටු (424) සොයාගැනීමට ද එම අවධියේ දී පොලීසිය සමත්ව තිබෙනවා. ඔහු ව්‍යාජ නෝට්ටු සකස් කිරීමට යොදාගත් බව කියන උපකරණ තොගයක්ද පොලීසිය විසින් අත්අංඩංගුවට ගත් බවත් වාර්තා වෙනවා.

දුලාංජලී ජයකොඩි මහත්මිය වෙත රුපියල් මිලියන දෙකක වන්දි මුදලක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබිණා. ඊට අමතරව ව්‍යාජ මුදල් නෝට්ටු යොදාගනිමින් දුලාංජලී ජයකොඩි මහත්මිය වෙත වංක ලෙස පන්දහසේ නෝට්ටු ලබාදීම සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර ළඟ තබා යන අධිචෝදනා දෙකට විත්තිකරු වරද පිළිගැනීමෙන් පසු, එක් වරදකට ලක්ෂ 2.5 බැගින් ලක්ෂ 5ක වන්දි මුදල් ගෙවීමට ද නියම කෙරුණි. තවද, විත්තිකරු හට රුපියල් මෙම චෝදනා දෙකට, එක් චෝදනාවකට වසරක් බැගින්, වසර බැගින් දෙවසරක අත්හිටවූ සිර දඬුවමක් ද නියම කෙරුණි. ඒ සම්බන්ධයෙන් පුවත් වාර්තාවක් මෙතනින්.(0.32)

සැකකරු වෙනුවෙන් නීතිඥ ලිලාන් අමරකොන්, නිශ්ශංක නානායක්කාර හා සංජිව සෙනෙවිරත්න පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ ව්‍යාජ මුදල් ඒකකයේ ස්ථානාධිපති ප්‍රියදර්ශන , නඩු මෙහෙයුම් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවින්ද්‍ර විමලසිරි , පොලිස් පරික්ෂක සේනාධිර සමඟ උප පොලිස් පරික්ෂක ආර්.එම්.එස්.රත්නායක මහතා ද අධිකරණයට කැඳවා කරුණු දක්වා තිබුණා.

මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් කියවීමට මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link| Archived Link| Archived Link| Archived Link| Archived Link

දෙහිවල නගරාධිපතිව සිටි ධනසිරි අමරතුංග මහතා විසින් දේශපාලනික වැඩසටහකට සහභාගී වෙමින් පවසා තිබුණේ, ඉහත සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙක් වූ මහින් ද රාජපක්ෂ විසින් දුලංජලී ජයකොඩි මහත්මිය බේරා ගත් බවයි. එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සහ ධනසිරි අමරතුංග මහතා විසින් ලබා දුන් පිළිතුර පහතින්.

දුලංජලි ජයකොඩි විසින් මෙම ක්‍රියාව දනුවත්ම සිදු කළා යැයි අනුමාන කිරීම ප්‍රයෝගිය නැත

එනම් කිසිවකු විසින් හෝ තමන් සන්තකයේ ව්‍යාජ මුදල් ඇති බවක් ඇත්තටම දන්නේ නම්, ව්‍යාජ මුදල් හඳුනා ගැනීමේ උපකරණ පවතින, බැංකුවක් වැනි මුල්‍ය ආයතනයකින්, විශේෂයෙන් ම මෙතරම් විශාල මුදලක්, තමන් විසින් ම, තැන්පත් කිරීමට යනු ඇතැයි ද සිතීම ප්‍රයෝගිය නැත. එනම් මෙලෙස ව්‍යාජ මුදල් වැඩි ප්‍රමාණයක් තමන් සන්තකයේ තබාගෙන, ස්වකැමැත්තෙන් වරදකරුවෙකු වීම සිදුවිය නොහැක.

මේ පිළිබඳව සමගි තරුණ බලවේගයේ ප්‍රධාන ලේකම් කනිෂ්ක ලැනරෝල් විසින් දක්වා තිබුණු අදහස් මෙතනින්.

Archived Link

එසේම මේ පිළිබඳව දුලාංජලී හා ක්‍රිෂාන්ත ඇතුළු පර්ශවන්ගෙන් මුලික ප්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් පසුව 2014 වසරේ දී, එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

“රුපියල් ලක්ෂ 20 ක මුදලට 5000 නෝට්ටු 400 ක් ඇතුළත් විය යුතුව තිබුණත් ඒ මුදල් පරීක්ෂා කිරීමේදී එතැන නෝට්ටු 403 ක් තිබුණා. ඒ කියන්නේ රු.15,000 ක් වැඩිපුර තිබුණා. එයින් පැහැදිලි වෙන්නේ මේ මුදල් සැකකරු විසින් දුලාංජලීට දුන්නාට පසුව ඇය විසින් ගණන් කිරීමක් හෝ නොකොට බැංකුවට ගෙනවිත් ඇති බවයි. ඒ හින්දා ඇයට මෙම ජාවාරමට චේතාන්විතව සම්බන්ධවූ බවක් හිතන්නට අමාරුයි. අනික ඒ මුදල් සාමාන්‍යයෙන් පරීක්ෂා කර බැලුවානම් ඒ ෆෝ කොළවල මුද්‍රණය කළ ෆොටෝ කොපි කරන ලද ඒවා බව ඕනම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා ඇය එකී මුදල් ව්‍යාජ බව දැන දැන තැන්පත් කිරීමට පැමිණියා යයි හිතන්නට බෑ”

පුවත් වාර්තාව මෙතනින්. Archived

ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් නීතිය

ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීම 1949 අංක 58 වන මුදල් නීති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 478 A-D යටතේ සිරගත කිරීමට, දඩයකට ලක්වීමට හෝ එම දඬුවම් දෙකටම ලක්වීමට හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවසනු ලබයි. ඒ පිළිබඳ මෙතනින්.

නීතිඥ දිලිනි විතානගේ

ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීම සම්බන්ධයෙන් 1949 අංක 58 වන මුදල් නීති පනත යටතේ (බී) වගන්තියේ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම වරදක් ලෙස දක්වා තිබේ. නමුත් ඒ සඳහා ලබා දිය යුතු දඬුවම් එහි දක්වා නොමැත. ඕනෑම පනතක දඬුවම් අදාළ පනතේ දක්වා නොමැතිනම්, එය අපරාධමය වරදක් ලෙස ගැනෙන වැරදි නම් ඒ සඳහා දඬුවම් ලබා දිය යුතු ආකාරය දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේය.

ඒ අනුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇත්තේ, දණ්ඩ නීති සංග්‍රහයේ 478 වන වගන්තියේ (අ)-(ඈ) යන කොටස් වලින්ය.

ව්‍යාජ ලෙස නෝට්ටු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එහි (ආ)සහ (ඇ) කොටසේ සඳහන් වන්නේ මෙලෙසිනි.

කූට ලෙස තනනු ලැබූ හෝ සාදන ලැබූ මුදල් නෝට්ටුවක් හෝ බැංකු නෝට්ටුවක් කූට ලෙස තනනු ලැබූ හෝ සාදනු ලැබූ බව දනිමින් හෝ විශ්වාස කිරීමට කරුණු තිබියදී යමකු එකී කූට ලෙස තනනු ලැබූ හෝ සාදනු ලැබූ මුදල් නෝට්ටුවක් හෝ බැංකු නෝට්ටුවක් වෙනත් තැනැත්තෙකුට විකුණුවහොත්, වෙනත් තැනැත්තෙකුගෙන් මිලයට ගතහොත් හෝ ලබා ගතහොත් හෝ වෙනත් ලෙස අලෙවි කරතහොත් හෝ සත්‍ය වූවක් ලෙස පාවිච්චි කරතහොත් ඔහුට අවුරුදු විස්ස දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට යටත් විය යුතුය.”

කූට ලෙස තනනු ලැබූ හෝ සාදනු ලැබූ මුදල් දනිමින් හෝ විශ්වාස කිරීමට කරුණු තිබිය දී, සත්‍ය වුවක් ලෙස පාවිච්චි කිරීමේ අදහසින් හෝ සත්‍ය වූවත් ලෙස පාවිච්චි කළ හැකි වන ලෙස යම් කූට ලෙස තනනු ලැබූ හෝ සාදනු ලැබූ මුදල් නෝට්ටුවක් හෝ බැංකු නෝට්ටුවක් ස්වාමිත්වයෙහි තබා ගන්නා වූ තැනැත්තෙකුට අවුරුදු විස්ස දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින් ම දඬුවම් කළ යුතු බවයි.”

එමෙන්ම මෙහි සඳහන් කර ඇත්තේ දැනුවත් භාවයකින් යුතුව ව්‍යාජ මුදල් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසයි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 13(5) වගන්තිය යටතේ ඕනෑම සැකකරුවෙකු වගකිවයුතු අධිකරණයකින් වැරදිකරුවෙකු වන තුරු ඔහු/ඇය නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස හඳුන්වනු ලබයි.(Presumption of Innocence)

තමාගේ දැනුවත් භාවයකින් තොරව තමා සන්තකයේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ තබාගෙන අසුවුවහොත්, පැමිණිලි පාර්ශ්වය විසින්(රජය විසින්) එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා දැනුවත්භාවයකින් යුතුව ව්‍යාජ මුදල් ළඟ තබා ගත් බවට ඔප්පු කළ යුතු වන අතර සාක්ෂි වල වැඩි බර මත(Burden of proof) එම පුද්ගලයා නිර්දෝශි ද නැද්ද යන වග අධිකරණය විසින් තීරණය කරනු බවයි.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා දුලාංජලී ජයකොඩි මහත්මිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව, එම මහත්මියගේ නීතීඥයින් විසින් අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබුණා.

එම ලිපියේ සඳහන් වන්නේ ව්‍යාජ මුදල් මුද්‍රණය කොට ගනුදෙනුවක් පියවීම සඳහා ඒවා සිය සේවාදායිකාව වෙත ලබා දුන් H.M.A.K.R. පෙරේරා වැරදිකරු කරමින් කොළඹ මහ අධිකරණය 2017 වසරේ දී දඬුවම් ලබා දුන් බවයි. රු. ලක්ෂ 20ක වන්දි මුදලක් ඒ සඳහා දුලාංජලී ජයකොඩි මහත්මියට ලබා දුන් බවයි.

එම සිද්ධිය පදනම් කරගෙන ව්‍යාජ ප්‍රකාශ නිකුත් කළ අනුර දිසානායකට මෙන් ම ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරි අයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව දුලාංජලී ජයකොඩි අදාළ ලිපිය මගින් දැනුම් දී තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:සජිත්ගේ නැගණිය, දුලංජලි හා ව්‍යාජ මුදල් සම්බන්ධව හුවමාරු වන කතාවේ ඇත්ත නැත්ත!

By: Pavithra Sandamali

Result: Explainer