දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

බොහෝ අවස්ථාවන් වල දේශීය පළතුරු සහ ශාකමය කොටස් යනාදිය සම්බන්ධ කර ගනිමින්, ඒවායෙහි විශේෂිත ගුණ පෙන්වා දෙමින්, බරපතල රෝගීන් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කළ හැකි ක්‍රම ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වනවා. මේ අතර පිළිකා සඳහා ප්‍රතිකර්ම ලෙස අත්බෙහෙත් වර්ග රැසක් පිලිබඳව ද නිතර සටහන් නිර්මාණය වෙනවා.

කෙසේවෙතත්, වෛද්‍යවරුන් නිතරම පවසන්නේ මෙවැනි ක්‍රම මඟින් ඇතැම් කෙටි කාලීන සහනයක් ලැබිය හැකි වුවත්, වෛද්‍ය නිර්දේශයකින් තොරව, මෙවැනි ක්‍රම වලට යොමු වීම සිදු නොකළ යුතු බවයි. මේ ආකාරයෙන් ‘අහු’ ගෙඩියේ පිළිකා නාශක ගුණය පිලිබඳ හුවමාරු වූ නොමඟ යවන සුළු සටහනක් පිළිබඳව අප විමසා බැලුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

ලොව මිලෙන් අධිකම පිළිකා නාශක ලෙස සැලකෙන බටහිර රටවල ඖෂධවලටත් වඩා පිළිකා නාශක ගුණ සහිත අපේ රටේ ඖෂධීය ශාකයක් ලෙස ‘අහු’ ගෙඩිවල ඡායාරූපයක් සමඟ සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මේ ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් තිබූ බැවින් මෙහි නිරවද්‍යතාව සොයා අප කටයුතු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Also Read : ‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ආයුර්වේද දෙපාර්තමේන්තුව

ආයුර්වේදයේ සහ දේශිය වෛද්‍ය විද්‍යාවේ, අර්බුද ලෙස හිංසක සහ අහිංසක අර්බුද වලට ප්‍රතිකාර කිරීම සඳහා ‘අහු’ බාහිර ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරනවා. අභ්‍යන්තර ප්‍රතිකාරකයක් ලෙසත් භාවිත කරනවා.

‘අහු’ ප්‍රතිඔක්සයිඩයක් ලෙස අභ්‍යන්තර ප්‍රතිකාරයේ දී භාවිත කරන අතර ලංකාවේ ඇති බොහෝ පළතුරු වල ප්‍රතිඔක්සයිඩ් ඇති බවත් ලංකාවේ ඇති බොහෝ ඖෂධ පිළිකාවට එරෙහිව ක්‍රියාත්මක වන බවත්, නමුත් ‘අහු’ ශාකය පමණක් තනි භාවිතයෙන් විශේෂයෙන්ම පිළිකා ප්‍රතිකාරකයක් ලෙස භාවිත කළ හැකි බවට නිශ්චිතව පැවසිය නොහැකි බවත්, එලෙස පරීක්ෂණ වලින් තහවුරු වී නොමැති බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් පවසා සිටියා.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පිළිකා සුව කිරීමට හෝ වැළැක්වීමට ‘අහු’ පළතුර භාවිත කළ හැකි බවට සඳහනක් නොමැත. ආයුර්වේද රෝගයට අනුව පිළිකා වර්ග රාශියක් ඇති අතර එහි විවිධ නම් ඇත. පිළිකා මර්දනය කිරීම සඳහා විශේෂිත ප්‍රතිකාර ඇත. (වෛද්‍ය හා ශල්‍යකර්ම) එහෙත් පිළිකා සුව කිරීමට එක පළතුරක් හෝ පළා වර්ගයක් භාවිතා කළ නොහැක.

එමෙන්ම කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන මෙවැනි සටහන් වල දැක්වෙන ක්‍රම අනුගමනය නොකරන ලෙසත්, වෛද්‍ය කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ සායනික ෆාමසි අංශයේ සහකාර මහාචාර්ය ලීසා තොම්සන්

එක්සත් ජනපදයේ වෛද්‍ය වෙබ් අඩවියක් වන ඔන්කොලොජි නර්ස් ඇඩ්වයිසර්හි (පිළිකා හෙද උපදේශක ලෙස කටයුතු කරමින්) ඇය විසින් පලකරන ලද ලිපියක සඳහන් වන්නේ පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙස අහු ශාකය නිර්දේශ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත්, එක් රෝගියෙකුට ලබා දෙන වෙනත් පිළිකා ප්‍රතිකාර වලට එය බාධාවක් විය හැකි බවත්ය.

‘අහු’ ශාකයේ (Morinda citrifolia) බොහෝ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් පිළිකා මර්දන ප්‍රතිකාරවල සඵලතාවය අඩු කළ හැකි බව ඇය සඳහන් කර තිබේ. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්. Archived Link

පිළිකා සත්කාර පිලිබඳ ‘අහු’ ශාකයේ හැකියාව පිළිබඳ පර්යේෂණ

කෙසේවෙතත් සුවිශේෂී ප්‍රතිඔක්සිකාරක ගුණ තිබෙන ( Vitamin C, beta carotene, iridoids and Vitamin E) බැවින්, ‘අහු’ ශාක නිස්සාරයන්හි ඇති පිළිකා විරෝධී බලපෑම් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ පර්යේෂණ සිදුව පවතිනවා. කෙසේවෙතත් මෙතෙක් සිදුකර තිබෙන පරිෂණවලින් දැකගන්නට ලැබෙන්නේ, එමඟින් ඇතැම් හිතකර ප්‍රතිඵල දැකගන්නට ලැබුණ ද, පිළිකාවට ඔසුවක් ලෙස මෙම ශාක නිස්ස්සාර ක්‍රියා කරන බවට ප්‍රමාණවත් දත්ත නොමැති බවයි.

එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පුස්තකාලයේ දැනට පවතින පර්යේෂණ පිළිබඳ සමාලෝචනයේදී ද අහු ශාකය පිළිකා පාලනය කරන බවට ප්‍රමාණවත් දත්ත නොමැති බව පෙන්වා දී තිබේ. එම වාර්තා මෙතනින්. Archived Link

එසේම ‘අහු’ ශාක නිස්සාර සම්බන්ධයෙන් හාවායි හි විශ්වවිද්‍යාලයේ සිදුකරන ලද පර්යේෂණයක දී ද සොයා බලා ඇත්තේ එමඟින් පිළිකාව සෛල වර්ධන වීම අඩාල කළ හැකිද යන්නයි. එහිදී ද Prostate (පුරස්ථි) පිළිකා රෝගීන් යොදා ගනිමින් සිදුකළ පරික්ෂාවේදී අනාවරණය වී තිබුනේ එම පෙනී ගොස් තිබෙන්නේ ‘අහු’ලබාගැනීම මඟින් රෝගීන්ට යම්කිසි සුවයක් දැනුනද ද පිළිකා පාලනය වීමක් සිදුව නොමැති බවයි. වාර්තාවක් මෙතනින්

අහු ශාකය (Noni Fruit)

අච්ජුක යන ප්‍රකට පර්යාය නාමයෙන් හඳුන්වන 'අහු', කහ පැහැයට හුරු සුදු පැහැති පොත්තක් සහිත, මීටර් 9 ක් පමණ උසට වැඩෙන, ආසියානු ඇතුළු නිවර්තන කලාපයේ විශේෂයෙන්ම දක්නට ලැබෙන කුඩා ශාකයකි. මෙම උද්භිද ගණයටම අයත් හීං අහු (Morinda coreia) නමින් හඳුන්වන තවත් දේශීය ශාකයක් ඇති අතර එය  සුලභව දක්නට ලැබෙන්නේ වියළි කළාපයේ ය. අහු Rubiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ගෙඩි වණ වෙදකමේදී යොදා ගන්නා ප්‍රධාන ඖෂධීය ශාකයක් වන අහු බහුලවම බාහිර ප්‍රලේප වශයෙන් භාවිතා කරයි. එමෙන්ම අජීර්ණ, අක්මා, ප්ලීහා සහ වකුගඩු රෝග, අතීසාර, පාචන, මධුමේහ, රක්ත පිත්ත, කැස්ස, ඇදුම, රුධිර වහනය, සූතිකා උණ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා අහු ශාකයේ කොළ, දළු, පොතු, මුල් හා ගෙඩි භාවිතා කරයි. අහු මුල් විරේචක සහ ස්‍රාව වියළන ගුණයෙන් යුක්තය. අහු ගෙඩි හා කොළ ආර්තවය ජනනය කරන, අවරෝධාතා නසන, බලකාරක සහ උණ නසන ගුණ සහිතයි. (මූලාශ්‍ර- ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු.)

Also Read: අන්නාසි කැබලි කිහිපයක් උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙනවාද ?

හිස්බඩ පළතුරු කෑම පිළිකාවට ප්‍රතිකර්මයක් ද? ආහාර වේලකට පසු සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙනවාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පිළිකා නාශකයක් ලෙස ‘අහු’ ශාකය යොදාගත හැකි බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි. ‘අහු’ ශාකයේ නිස්සාර මඟින් පිළිකා රෝගීන්ට ඇතැම් අවස්ථාවල දී යම්කිසි කෙටි කාලීන සුවයක් දැනී තිබු බව වාර්තා වුව ද, පිළිකා ප්‍රතිකාරකයක් ලෙස භාවිත කළ හැකි බවට කිසිදු වෛද්‍ය පර්යේෂණයකින් ඔප්පු වී නොමැති බවට දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් මෙන් ම ජාත්‍යන්තර වෛද්‍ය පර්යේෂණ ද, පෙන්වාදේ.

Avatar

Title:පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ‘අහු’ ශාක නිස්සාර යොදාගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading