දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් යනු ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතයක් වන අතර ඇඟලුම් අපනයනය කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන නියමුවෙකි. කෙසේනමුත් ලංකාවේ ආර්ථික අවපාතය හමුවේ මෙරටින් බ්‍රැන්ඩික්ස් ආයතනය පිටත් වීමේ සූදානමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ විමර්ශනය කිරීමට Factcrescendo අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් :

Brandix ආයතනය රට හැර යෑමට නියමිත බවට හඟවමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම තේමාවෙන් පළ වූ තවත් සටහන් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ බොහෝ දෙනෙකු මේ ඔස්සේ නොමග ගොස් ඇති බවයි.

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

වසර 50කටත් වැඩි ඉතිහාසයක් තිබෙන ලංකාවේ මුලස්ථානය පිහිටි, ජාත්‍යන්තර වශයෙන් ද ව්‍යාප්තව පවතින, සේවකයින් දස දහස් ගණනකට රැකියා සපයමින්, තිරසාර සංවර්ධන කටයුතු සඳහා ද විශාල නැඹුරුවක් දක්වන, සැලකිය යුතු විදේශ විනිමය උපයන, බ්‍රැන්ඩික්ස් වැනි දකුණු ආසියානු කලාපයේම ඇඟළුම් ක්ෂේත්‍රයේ බලවතෙකු මේ ආකාරයට මෙරටින් පිටත් වීමට සැරසීම විශ්වාස කිරීමටත් අපහසු කරුණක්.

නමුත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ හෝ මෙහෙයුම් කටයුතු හෝ මෙරටින් පිටවී සිදුකිරීමේ සූදානමක්, බ්‍රැන්ඩික්ස් ආයතනයේ පවතින බවට කිසිඳු පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබෙනු අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක

මේ පිළිබඳව සිදුකළ විමසීමේ දී බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක අපට සඳහන් කළේ, ඇතැම් අසත්‍ය ෆේස්බුක් සටහන් වල පෙන්වා දෙන පරිදි බ්‍රැන්ඩික්ස් සමාගමේ මව් සමාගම මෙරටින් ඉවත් කර ගැනී හෝ සමාගම මෙරටින් ඉවත් කර බංග්ලාදේශයට රැගෙන යාමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

එමෙන්ම ගෝලීයව ව්‍යාපාර මුහුණ දී ඇති අර්බුද හමුවේ ඒවාට මුහුණ දීම සඳහා සහ සමාගමේ මෙරට ඇතැම් ශාඛාවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා එවැනි ශාඛා එකතු කො‍ට(Merge) ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල සිදුවූ බවත්, ඒවා හේතුකොටගෙන ඇතැම් කර්මාන්ත ශාලා වසා ඇති බවටත් එසේම මෙරටින් බ්‍රැන්ඩික්ස් සමාගම ලංකාවෙන් ඉවත් වන බවටත්, අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වී ඇති බව ද, බ්‍රැන්ඩික්ස් මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙනවා. ඒ ආකාරයට හුවමාරු වූ නොමඟ යවන සුළු සටහනක් මෙතනින් | Archived

කෙසේවෙතත් බ්‍රෑන්ඩික්ස් සමගම ලංකාවේ රැඳී සිටිමින්, තව දුරටත් ඇඟලුම් ක්ෂේත්‍රයේ නියමුවන් වෙමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බ්‍රැන්ඩික්ස් සමාගමේ පසුගිය කාලයේ මෙහෙයුම් පිලිබඳ වාර්තා

එසේම Owler වෙබ් අඩවියේ දැක්වෙන්නේ 2021 දෙසැම්බරයේ ඩොලර් මිලියන 782ක් වූ බ්‍රැන්ඩික්ස් සමාගමේ ආදායම 2022 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 820 දක්වා සියයට 4.9 කින් වැඩි වී තිබු බවයි. කෙසේනමුත් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රයට ද ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වය බලපා තිබෙන අතර පසුගිය වසරේ සේවක ප්‍රසාද දීමනා ලබාදීම අඩුවීම ඔස්සේ ඇතැම් ප්‍රශ්නගත තත්ත්වයන් ද ඇති වී තිබුණා.

ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ, බංග්ලාදේශය වැනි කලාපීය රටවලට වැඩිපුර ඇණවුම් ඇදී යාමේ ප්‍රවණතාවක් ඔස්සේ සහ කොවිඩ් තත්වය හමුවේ ඇතිවූ ඇතැම් ප්‍රමාදයන් හේතුවෙන්, ලංකා ඇඟළුම් කර්මාන්තයට ලැබුණු ඇණවුම් පසුගිය වසරේ යම්කිසි මට්ටමකට අඩු වී තිබුණා. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්. කෙසේනමුත් කුඩා පරිමාණයේ ඇඟළුම් කර්මානතශාලාවලට වඩා හොඳින් මෙම තත්ත්වයට මුහුණ දීමට, බ්‍රැන්ඩික්ස් සමාගමට හැකියාවක් පවතිනවා.

බ්‍රැන්ඩික්ස් ඉතිහාසය සහ ව්‍යාප්තිය

බ්‍රැන්ඩික්ස් 1969 දී ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ නූතන ඇඟලුම් කර්මාන්තයේ පියා ලෙස සැලකෙන ඇමරිකානුවෙකු වන මාටින් ට්‍රස්ට්ගේ සහායෙනි. සමාගම 1972 දී මෙහෙයුම් ආරම්භ කළේ නිල වශයෙන් පකිස්තානයේ ඕමාර් සමූහයේ කොටසක් වූ සමූහ ව්‍යාපාරයක් වශයෙනි.

2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ බ්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම යටතේ 2002 දී මෙම ව්‍යාපාරය පුද්ගලික සීමිත සමාගමක් ලෙස සංස්ථාගත කරන ලදී. 2008 දී සමාගම මුලින්ම සීදුවේ ශාඛාවක් විවෘත කළ අතර පසුව මීරිගම, මඩකලපුව සහ පන්නල ශාඛා පිහිටුවන ලදි. වත්මන් බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක ලෙස අශ්රොෆ් ඕමාර් කටයුතු කරයි. සභාපති වන්නේ ප්‍රියාන් ප්‍රනාන්දුය.

බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන අතුරු ශාඛා ඉන්දියාවේ හා බංග්ලාදේශයේ පිහිටා ඇති අතර ඊට අමතරව එක්සත් ජනපදය, හයිටි, කැනඩාව, සිංගප්පූරුව, කැම්බෝඩියාව, ඕස්ට්‍රේලියාව හා එක්සත් රාජධානියේද ශාඛා පිහිටා තිබෙනවා.

වික්ටෝරියාස් සීක්‍රට්, ගැප්, නෙක්ස්ට් සහ මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් වැනි සුවිශේෂී සමාගම් වෙනුවෙන් නිෂ්පාදන සැකසීම මෙම කර්මාන්ත ශාලාවලදී සිදු කෙරේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Brandix ආයතනය ලංකාව හැර යෑමට නියමිත බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සටහන් අසත්‍ය බවයි.

ලංකාවේ ඇතැම් ශාඛාවන්හි මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම පසුගිය කාලයේ දී ඇතැම් ශාඛා එකතු කිරීමේ කටයුතු(Merge) සිදුවීම හේතුවෙන් මෙවැනි නොමඟයවන සුළු අසත්‍ය පුවත් නිර්මාණය වී ඇති බවත් ලංකාවේ මෙහෙයුම් හැර යාමේ කිසිදු අදහසක් නොමැති බවත් බ්‍රැන්ඩික්ස් ආයතනය තහවුරු කර සිටිනවා.

Also Read: KFC, Domino’s Pizza, Pizza Hut, McDonald’s, Coca-Cola, Pepsi සමාගම් මෙරටින් ඉවත් වීමේ සූදානමක්?

Avatar

Title:Brandix ආයතනය ලංකාව හැරයාමේ තීරණයක ?

Written By: Pavithra Sandamali

Result: False