දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජයේ සිදුවන කාලීන සහ විශේෂයෙන්ම ආන්දෝලනාත්මක සිදුවීම් අළලා ජනතාව නොමග යැවීමට මෙන්ම ඇතැම් අවස්ථාවන්හි දී දේශපාලන වාසි ලබා ගැනීමට සඳහා ද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ව්‍යාජ පුවත් නිර්මාණය කරනවා. එලෙසින් ජනතාව නොමග යැවීමට, මේ දිනවල කතාබහට ලක්වෙන කළුතර ගණිත ගුරුවරයා සමබන්ධ කර ගත් අවස්ථාවක් පිළිබඳව අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“දැරියන් 16 ක් කෙලෙසූ කලුතර කුපාඩි ගණිතය ගුරා දාර ජෙප්පෙක්” යනුවෙන් සඳහන් කරමින් එම ගුරුවරයාගේ ඡායාරූපයක් බවට හඟවන සේයාරුවක් ද සහිත ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම ඡායාරූපයේ සිටින්නේ සත්‍ය සිදුවීමට සම්බන්ධ පුද්ගලයා ද යන්න පිළිබඳ සොයා බලන ලෙසට අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳව විමර්ශනයක් කිරීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන්, කළුතර උතුර, සුභසාධක මාවතේ පදිංචි විදානආරච්චි සංක දිමන්ත ජයවික්‍රම යන 30 හැවිරිදි පුද්ගලයෙකු කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලබන මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර කර තිබේ. ඒ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

ඒ අනුව ඇතැම් මාධ්‍ය එම උපකාරක පංති ගුරුතුමාගේ නම සහ ෆේස්බුක් ගිණුම්වල තොරතුරු සහ ඡායාරූප හෙළිකළ තිබුණු අතර Sanka Dimantha නමැති එම ගුරුවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළ වී තිබූ ඡායාරූප කිහිපයක් පහතින්. Archived Link

මේ අනුව පැහැදිලිවම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ඉහත දැක්වූ සටහන්හි දැක්වූ පුද්ගලයා සහ මෙම පුද්ගලයා නොවන බව බැලු බැල්මටම වුවද පැහැදිලි වෙනවා.

ෆේස්බුක් ඡායාරුප සටහනේ ඇත්තටම සිටින්නේ කවුද?

කළුතර ගණිත ගුරුවරයාගේ ඡායාරූපයක් ලෙස ට හෙළි කර තිබූ ඡායාරූපයේ දැක්වෙන සත්‍ය පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී ඔහු Samin Dilanka නමැති පුද්ගලයෙක් බවට දැක ගන්නට ලැබුණා. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ ඡායාරූපයක් මෙලෙස අවභාවිත කර තිබුණා. Archived Link

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීම සඳහා සමින් දිලංකව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, තමා අරගලයට දායක වූ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත්, දේශපාලන වාසි තකා තමන්ගේ ඡායාරූපයක් යොදා ගනිමින් මෙලෙසින් අසත්‍ය සහ ව්‍යාජ සටහන් නිර්මාණය කර ඇති බවයි. තමන් කෙදිනකවත් ගුරු වෘත්තියේ නියැලී නැති බවත් ඔහු පවසා සිටියා.

කළුතර උපකාරක පංති ගුරුතුමා සම්බන්ධ සිදුවීම

පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණද පටිගත කර ඇති බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු මෙම පුද්ගලයා පිලිබඳ පැමිණිලි කිරීම ආරම්භ වී තිබේ.

සැකකරු අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කල බවත්, එහිදී ලද නිර්දේශ මත බන්ධනාගාර ගතකර මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසිය අවසර ඉල්ලා සිටීමෙන් පසු ලබන මැයි 15 දා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අවසර දී තිබේ. නඩුව ලබන මැයි 26 යලි කැදවීමට නියමිතව ඇත.

සැ.යු : ඉහත කරුණු විමර්ශනයෙන් අප ඉහත සමාජ මාධ්‍ය සටහනේ උපකාරක පංති ගුරුවරයා බවට හඟවමින් පළ කර තිබූ පුද්ගලයාගේ හෝ සිදුවීමට අදාළ ගුරුවරයාගේ දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය සිදු කර නොමැත. අප පෙන්වා දී ඇත්තේ එම ඡායාරූපයේ සිටින්නේ වෙනත් පුද්ගලයෙකු බව පමණකි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කළුතර දැරියන්ට ලිංගික අතවර කළ බවට කියන උපකාරක පංති ගුරුවරයාගේ ඡායාරූපය ලෙස හැඟවීමට ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා ඇති ඡායාරූප පෙන්නුම් කරන්නේ, එම සත්‍ය සිදුවීමේ ගුරුවරයාගේ සේයාරුවක් නොව, වෙනත් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් බවයි. ඡායාරූපයේ සිටින්නේ, දැනට අත්අඩංගුවේ පසුවන සංක දිමන්ත ජයවික්‍රම නමැති ගණිත ගුරුවරයා නොව, සමින් දිලංක නමැති කළුතර ප්‍රදේශයේ ම වෙසෙන, පසුගිය වසරේ අරගලයේ කටයුතුවලට සක්‍රියව දායක වූ තරුණයෙකි.

Avatar

Title: කළුතර දැරියන් කෙළසූ උපකාරක පංති ගුරුවරයාගේ ඡායාරූපයක් නොවේ!

Fact Check By: Pavithra Sandamali

Result: False