දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

බුදු දහමට අගෞරව කළ බවට පවසමින් පසුගිය වකවාණුවේදී ඇතැම් පුද්ගලයන් බන්ධනාගාර කළ අතර එවැනි ප්‍රකාශයන් සිදු කළ තවත් පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිසක් අවධානයෙන් පසු වූවා. මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බුදු දහම සම්බන්ධ ප්‍රකාශයක් සිදු කළ බවට උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණු අතර මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

“කප්පම් ගැනීම බුද්ධාගමට විරුද්ධ වීමක් නොවේ. බුදු දහමේ සුගන්ධං සීතලං කප්පම් කියා සඳහන් වෙනවා” යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ප්‍රකාශ කර ඇති බවට උපහාසාත්මක ස්වරූපයෙන් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන උපහාසාත්ම ක ස්වරූපයෙන් පළ වූවත් මේ ඔස්සේ ඇතැම් පිරිසක් නොමග ගොස් ඇති බවට ද, දැක ගන්නට ලැබුණා.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය සිදු කළේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් “කප්පම් ගැනීම බුද්ධාගමට විරුද්ධ වීමක් නොවේ” යනාදී වශයෙන් යනුවෙන් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්නයි.

කෙසේනමුත් අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබූ සටහන් වල දැක්වෙන ලෙස ප්‍රකාශයක් සඳහන් කර නොතිබුණු බවට අප ප්‍රධාන මාධ්‍ය හරහා සිදු කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබිණ.

මේ පිළිබඳව A5 News වෙබ් අඩවියේ හෝ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා තුළ ද දැක ගන්නට නොලැබුණු අතර මීට දින කිහිපකයට පෙර, ජුනි 02 වැනිදා A5 News ෆේස්බුක් පිටුවේ පළවූ මෙම සටහනේ පසුබිම යොදාගනිමින් මෙම උපහාසාත්මක කෝණයෙන් පළවූ ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබෙන බව දැක ගන්නට ලැබෙනවා.

අප අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්ගෙන් ද මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ප්‍රසන්න රණතුංග ඇමතිතුමා මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්, මෙය ඇමතිතුමාට ද බුදුදහමට ද අපහාසයක් බව යි. මෙවැනි ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති පුද්ගලයන් සතුව සාක්ෂි ඇත්නම් ඔප්පු කරන ලෙස අභියෝග කරන බව ද, ඒ මහතා වැඩි දුරටත් පැවසූවා.

ඇමැති ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිව සිටි කාලයේ, සිය බිරිය වන මොරින් ස්ටෙලා රණතුංග හා ඔවුන්ගේ ඥාතිවරයකු යැයි කියන පුද්ගලයෙකු ද එක්ව ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා සිටි බවට චෝදනා මත 2016 දී අධි චෝදනා 15ක් යටතේ ගොනු කර තිබු නඩුවක, චෝදනා 14 කින් නොදොස් කොට නිදහස ලැබුවද, එක් චෝදනාවකට වැරදිකරු වශයෙන් වත්මන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගට වසර 5කට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ පැමිණිලිකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමටද නියම වූයේ 2022 ජුනි මාසයේ දීයි. ඒ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් තීන්දුව ලබා දෙමිනි.

මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය පුවත් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link | Archived Link

මෙම තීන්දුවට එරෙහිව 2022 ජුනි මාසයේදී ම ප්‍රසන්න රණතුංග මහතා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන අතර දැනට එම නඩු කටයුතු සිදු වෙමින් පවතිනවා.

Updated 16/06/23

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම සටහන් සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දැක්වූ අදහස් පහතින්.

Dasatha Lanka News

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් “කප්පම් ගැනීම බුද්ධාගමට විරුද්ධ වීමක් නොවේ. බුදු දහමේ සුගන්ධං සීතලං කප්පම් කියා සඳහන් වෙනවා” යනුවෙන් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය වූ ව්‍යාජ සටහන් පෙළක් බවයි. ඒ බවට අප කළ නිරීක්ෂණයෙන් ද, තහවුරු වූ අතර, අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ද, ඒ පිළිබඳව තහවුරු කරනු ලැබුවා. මෙය හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වූවත්, මේ ඔස්සේ ඇතැමුන් නොමග ගොස් තිබුණා.

Avatar

Title:කප්පම් ගැනීම බුදු දහමට විරුද්ධ නොවන බවට ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශයක් කළා ද?

Written By: Fact Crescendo Team

Result: Satire