දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගියදා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ මාරක දුම්රිය අනතුර ඉතිහාසගත වන්නේ, මේ සියවස තුළ එරට දී මෙතෙක් සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙසයි. මිනිස් ජීවිත 288 කට මරු කැඳවමින් තවත් දහසකට අධික පිරිසකට තුවාල සිදුකළ මෙම දරුණු දුම්රිය අනතුර පිළිබඳ ලොව පුරා බොහෝ දෙනා කම්පා වෙමින් ඒ පිළිබඳ විවිධාකාරයේ සටහන් පළකර තිබුණා.

කෙසේ වෙතත් මෙම අනතුර පිළිබඳ ත්‍රිමාණ සජීවිකරණයක් ඔස්සේ නිර්මාණය කළ, මෙරට පාඨකයින් අතර ද බොහෝ සෙයින් හුවමාරු වූ වීඩියෝවක, නොමග යන සුළු තොරතුරු ඇතුළත් බවට අපට දැක ගන්නට ලැබුණු අතර ඒ පිළිබඳ නිවැරදි කරුණු පැහැදිලි කරමින් සිදුකළ කරුණු විමර්ශන වාර්තාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ඉන්දියාවේ ඉතිහාසගත දුම්රිය අනතුර සිදු වූ හැටි” යනුවෙන් සඳහන් කරමින් ඔඩිෂාහි දුම්රිය අනතුර, ත්‍රිමාණ සජීවීකරණය (3D animation) ඔස්සේ නිර්මාණය කර තිබූ වීඩියෝවක දැක්වුණේ, රතු සංඥා එළිය ද නොතකමින් ධාවනය කළ දුම්රියක් අනතුරට මුල් වූ බවයි. එම අනතුර පිළිබඳ සම්පුර්ණ සජීවිකරණ වීඩියෝව පහතින්.

Facebook

මෙම වීඩියෝවේ දෙවන දුම්රිය ගැටීම දක්වා තිබු ආකාරය පිළිබඳව ද කිහිප දෙනෙක් ප්‍රශ්න කර තිබුණා. ඒ හේතුවෙන් මෙම වීඩියෝවේ දැක්වෙන කරුණු සහ දැනට වාර්තා වී ඇති පරිදි සත්‍ය අනතුරේ ස්වභාවය පිලිබඳ තොරතුරු විමසීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගිය ජූනි 02 වන දා රාත්‍රියේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බහානාගා බසාර් දුම්රිය ස්ථානය (Bahanaga Bazar railway station) අසළදී දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක දුම්රිය අනතුර පිළිබඳ මාධ්‍ය වාර්තා සහ සංඥා එළිය නොතකා ධාවන වීමක් සිදුවූවාද යන කරුණු අප පරික්ෂා කළා.

ඉහත වීඩියෝවේ දැක්වෙන ලෙස කොරොමන්ඩල් දුම්රිය වෙත රතු සංඥාවක් ලැබී තිබුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර නොතිබුණු අතර, අපට දැක ගන්නට ලැබුණේ, සත්‍ය වශයෙන්ම එම දුම්රියට කොළ සංඥාව ලැබී තිබූ බවයි. ඒ පිළිබඳව පළ වූ මාධ්‍ය සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

එමෙන් ම අප Fact crescendo ඉන්දීය කණ්ඩායම ද, තහවුරු කළේ, කොරොමන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය වෙත ලැබී තිබුණේ, කොළ පැහැති සංඥාව බව එම අනතුර පිළිබඳ මූලික විමර්ශනවල දී හෙළි වී තිබූ බවයි.

මෙලෙස අනතුරට ලක් වූ දුම්රීන් වූයේ, එකවර ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් තිබු කොරොමැන්ඩල් එක්ස්ප්‍රස් (Coromandel Express) සහ හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් (Howrah Superfast Express) යන දුම්රිය දෙක සහ නවතා තිබු භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියකි.

කොරොමැන්ඩල් එක්ස්ප්‍රස්, බටහිර බෙංගාල ප්‍රාන්තයේ ෂාලිමාර් දුම්රිය ස්ථානයේ සිට දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරය බලා ධාවනය කරමින් තිබූ අතර, හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රිය, බැංගලෝරයේ යස්වන්ත්පූර් දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී හවුරා වෙත ළඟා වීමට නියමිතව තිබුණා. එසේම අනතුරට ලක්වූ භාණ්ඩ දුම්රිය, බහනාග බසාර් නැවතුම්පොළේ නතර කර තිබූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කෙසේවෙතත් ඉන්දීය දුම්රිය සේවයේ මෙහෙයවීමෙන් මෙම අනතුර පිලිබඳ විධිමත් විමර්ෂණ කිහිපයක්ම ආරම්භ කර ඇති අතර, මුලික වාර්තා පවසන්නේ සංඥා දෝෂයක් සහ ඉලෙක්ට්‍රොනික අන්තර් අගුලු වැටීමේ දෝෂයක් (change in electronic interlocking) හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

දුම්රිය අනතුර සිදුවූ ආකාරය

බහානාග බසාර් දුම්රිය ස්ථානය දුම්රිය මාර්ග (ලයින්) හතරකින් සමන්විත වේ. පළවෙනි දුම්රිය මාර්ගය සහ 4 වන දුම්රිය මාර්ගයේ (loop lines) භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නවතා තිබු අතර, ප්‍රධාන දුම්රිය මාර්ග දෙකෙහි (main lines), එනම් දෙවන සහ තුන් වන දුම්රිය මාර්ගයේ, කොරොමැන්ඩල් එක්ස්ප්‍රස් සහ හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රින් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට, ධාවනය කරමින් තිබුණි.

අනතුර පිළිබඳව පැහැදිලි කරමින්, දුම්රිය ප්‍රකාශක පැවසුවේ පළමුව අනතුරට කොරමන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය බවයි. ඒ ප්‍රධාන මාර්ගයක ගමන් ගත් කොරමන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය, ප්‍රධාන ගමන් මාර්ගයෙන් ඉවත්ව, නවතා තිබූ භාණ්ඩ දුම්රියක් තිබූ මාර්ගයට (loop line) ගොස්, එහි තිබු භාණ්ඩ දුම්රිය සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.

එම අනතුර හේතුවෙන් කොරමන්ඩල් එක්ස්ප්‍රස් දුම්රියේ පෙට්ටි පීලි පැනීමට ලක්වූ අතර, එම පෙට්ටි, අනෙක් ප්‍රධාන මගී දුම්රිය මාර්ගයේ එම අවස්ථාවේම ගමන් ගනිමින් තිබූ හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රියේ පසුපස පෙට්ටි සමඟ ගැටීමෙන්, හවුරා SF එක්ස්ප්‍රස් දුම්රියේ අවසානයට පිහිටි පෙට්ටි කිහිපයක් පීළි පැනීමට ලක්වෙමින් දෙවන අනතුර සිදු වී තිබුණා.

ඔඩීෂා ප්‍රාන්ත රජයේ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, සමස්තයක් වශයෙන්, මගී දුම්රිය දෙකෙහි මැදිරි 17ක් පීලි පැනීමට ලක්ව බරපතල හානි සිදුවී ඇති බවයි. මේ පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඇතුළත් BBC වාර්තාව මෙතනින් Reuters වාර්තාව මෙතනින්.

මෙම දුම්රි අනතුර සිදුවීමට ඇති පිළිවෙළ BBC විදෙස් මාධ්‍ය පෙන්වා තිබුණේ මෙලෙසින්.

මේ ඔස්සේ පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ දැක්වූ පරිදි, හවුරා SF එක්ස්ප්‍රස් දුම්රිය, ඒ වන විට ගැටීමට ලක්ව, රේල් පාර මත වැටී තිබු, කොරමන්ඩල් දුම්රියේ පෙට්ටියක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් දෙවන අනතුර සිදුවන බවට පෙන්වීම ද නොමඟ යවන සුළු බවයි. එනම් ගැටීම සිදුවන්නේ හවුරා එක්ස්ප්‍රස් දුම්රියේ පළමු පෙට්ටිය සමඟ අනතුරින් පීලි පැන තිබූ කොරමන්ඩල් මගී පෙට්ටි ගැටීමෙන් නොව, හවුරා SF එක්ස්ප්‍රස් දුම්රියේ අවසානයට පිහිටි පෙට්ටි කිහිපයක ගැටීමෙනි.

මෙම දුම්රිය දෙකම අධිවේගී මගී දුම්රිය දෙකක් වූ අතර, පැයට කිලෝමීටර් 130කට ආසන්න වේග සීමාවක ගමන් කරමින් තිබු අතර, යම් කිසි ලෙස, හවුරා SF එක්ස්ප්‍රස් දුම්රිය තත්පර 10ක් පමණ ප්‍රමාද වී ගැටීම සිදුවූ බහානාගා බසාර් දුම්රිය ස්ථානය වෙත පැමිණියේ නම්, හවුරා SF එක්ස්ප්‍රස් දුම්රියේ පළමු පෙට්ටිය ද ගැටීමට ලක්වී, ඉන්දියාවේ නිදහසින් පසු සිදුවූ දරුණුතම දුම්රිය ඛේදවාචකය මෙය විය හැකිව තිබු බවත් පුවත් වාර්තා වල සඳහන් වී තිබුණි.

නමුත්, වාසනාවකට හවුරා SF එක්ස්ප්‍රස් දුම්රියේ මුල් මගී පෙට්ටි කිහිපය ගැටීමට ලක්වුයේ නැති අතර, අනතුර සිදුවූ ආකාරය ඇත්ත වශයෙන්ම පිළිබිඹු කරමින් පළවූ වීඩියෝ නිර්මාණයක් පහතින්.

https://youtu.be/AlejE5_KWLw?t=2

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “ඉන්දියාවේ ඉතිහාසගත දුම්රිය අනතුර සිදු වූ හැටි” යනුවෙන් සඳහන් කරමින් එම අනතුර ත්‍රිමාණ සජීවීකරණය(3D animation) ඔස්සේ නිර්මාණය කර තිබූ වීඩියෝවක දැක්වුණේ, එම දුම්රි සංඥා වල රතු එළිය පවතින විට දී එම දුම්රි ධාවනය කර ඇති බවටයි. එහෙත් ඉන්දියානු දුම්රිය මණ්ඩලය සඳහන් කරන්නේ, කොරමන්ඩල් දුම්රිය වෙත කොළ සංඥාව ලැබී තිබුණ ද, අනපේක්ෂිත ලෙස පසෙකින් පිහිටි දුම්රිය මාර්ගයට (loop line) පිවිස, එහි නවතා තිබූ භාණ්ඩ දුම්රියක ගැටීම, මෙම අනතුරට මුල් වූ බවයි. එසේම වීඩියෝවේ දැක්වෙන දෙවන අනතුර සිදුවූ ආකාරය පිළිබඳ අර්ථකථනය ද නොමඟ යවන සුළුයි.

Avatar

Title:ඔඩිෂාහි මාරක දුම්රිය අනතුර පෙන්නුම් කරමින් නිර්මාණය වූ නොමඟ යවන සුළු වීඩියෝවක්!(Video)

Written By: Pavithra Sandamali

Result: Misleading