‘ටයිටැනික්’ නෞකාවේ සංචාරක ගවේෂණයක් අතරතුර අතුරුදන් වූ ‘ටයිටන්’ නම් දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්‍රාව, සිය ගමන් වාරය නිමවා නැවත පැමිණිය යුතු කාලය ද ඉක්මවමින්, කිසිදු තොරතුරක් නොලබාම අතුරුදන් වීම, ලොව පුරා වෙසෙන ජනතාවගේ අවධානයට ලක්වුණා. නිරුපද්‍රිතව ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වූ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් වූ දින ගණන ද ඉක්මවන අවධියේම, යාත්‍රාවේ සුන්බුන් කොටස් හමුවීමත් සමග, එහි ගමන්ගත් සියලු දෙනා අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවට ඇමරිකාවේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කළා.

මේ අතර එම යාත්‍රාවේ සුන්බුන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප කිහිපයක් වෙත අපගේ අවධානය යොමු වූ අතර මෙම ඡායාරූප සත්‍ය වශයෙන්ම ‘ටයිටන්’ සබ්මැරීනයේද යන්න පිළිබඳව හා මෙම සිදුවීම සම්බන්ධ නොමග යන සුළු සටහන් වල නිරවද්‍යතාව සොයා Fact Crescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ටයිටැනික් නෞකාවේ සුන් බුන් සොයා ගිය "ටයිටන්" ලෙස හඳුන්වන සබ්මැරීනයේ කොටස් සහ සුන්බුන් බවට හඟවමින් ඡායාරූප කිහිපයක් ඇතුළත් කරමින් ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

එමෙන්ම "ටයිටන්" සබ්මැරීනයේ නටඹුන් ලෙස සඳහන් කරමින් තවත් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ටයිටන් සබ්මැරීනයේ නටඹුන් බව ට දක්වා තිබූ තව ත් ඡායාරූප සහිත සටහනක් පහතින්.

Facebook | Archived Link

එසේම ඊයේ(22) ‘දිවයින’ ජාතික පුවත්පතේ මුල් පිටුවේ පළ කර තිබුණේ, අත්ලන්තික් සාගරයේ දී අතුරුදන් වූ සබ්මැරීනයේ නියමුවා ලෙස ක්‍රියාකර ඇත්තේ සබ්මැරීන් නියමුවෙකු නොව වීඩියෝ ක්‍රීඩා මෙහෙයවන්නකු බව අමෙරිකානු සී. බී. එස්. ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබූ බවයි. එම පුවත පහතින්.

මෙම සටහන් සම්බන්ධයෙන් නිරවද්‍යතාව සොයා විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

1912 වසරේදී මුහුදුබත් වූ ලෝ ප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පුද්ගලයන් 05 දෙනෙකු රැගත් OceanGate සමාගමේ 'ටයිටන්' නම් සබ්මර්සිබල් යාත්‍රාව පසුගිය ඉරිදා (ජූනි 18) කැනඩාවේ, Newfoundland හි St. John නගරයෙන් සිය ගමන ආරම්භ කර තිබුණා.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් පිහිටා ඇත්තේ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේන්ට් ජෝන්ස් නගරයට කිලෝමීටර 700ක් දකුණෙනි. ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාව, නෞකාවේ සුන්බුන් වෙත සාගර ගැඹුරට ගොස් නැවත මතුපිටට කිමිදීම ද ඇතුළුව, සිදුකෙරෙන මුළු ගමන සඳහා පැය අටක් පමණ ගතවන නමුත් එය යළි නොපැමිණී අතර ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 22 පස්වරුව වන විට සබ්මැරීනය යම්ලෙසකින් හෝ නිරුපද්‍රිතව තිබුණේ නම් එය තුළ පැය කිහිපයකට පමණක් සරිලන ඔක්සිජන් ඉතිරි වනු ඇති බැවින්, යාත්‍රාවේ සිටි පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට තිබූ සම්භාවිතාව ඉතා අවම බව විශේෂඥයන් පෙන්වා දුන්නා.

අතුරුදන්වූ යාත්‍රාව සඳහා සෙවීමේ හා ගලවාගැනීමේ මෙහෙයුමක් මහ පරිමාණයෙන් ක්‍රියාත්මක වූ අතර ටයිටැනික් නෞකාව මුහුදුබත් ව ඇති ප්‍රදේශයට ආසන්නයේ තිබී ‘ටයිටන්’ සබ්මර්සිබල් යාත්‍රාවේ සුන්බුන් කොටස් කිහිපයක් සොයා ගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කළා. ටයිටන් යාත්‍රාවේ සුන්බුන් සොයා ගනු ලැබුවේ, දූරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන දිය යට ගමන් කළ හැකි සෙවුම් යන්ත්‍ර (ROV) විසිනි.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, 'ව්‍යසනකාරී ලෙස සබ්මැරීනය අභ්‍යන්තරයට හැකිලී යාම' හේතුවෙන් එහි ගමන් ගත් සියලු දෙනා මරණයට පත්ව ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් ජෝන් මෝගර් වැඩිදුරටත් සඳහන් කළේ, ටයිටැනික් නැවේ සුන්බුන් අසල සිට දළ වශයෙන් අඩි 1600 ක් පමණ දුරින් ටයිටන් සබ්මැරීනයේ කොටස් හමු වූ බවත් එය ඇදහිය නොහැකි තරම් සංකීර්ණ පරිසරයක මෙය සිදුව ඇති බැවින් මඟීන්ගේ සිරුරු ගොඩගැනීමට හැකිද යන්න තහවුරු කළ නොහැකි බවත් ය.

සබ්මැරීනය තුළ දී මෙලෙසින් මිය ගියේ, ඕෂන්ගේට් ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් (61), සාගර විද්‍යාඥ හා ගවේෂක පෝල්-ඕන්රි නාජලෙට් (77), බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ගවේෂකයෙකු වන හේමිෂ් හාඩින්ග් (58), බ්‍රිතාන්‍ය-පාකිස්ථාන ජාතික පිය පුතු දෙපොළක් වන ෂෙහෙසාදා ඩවූඩ් (48) හා සුලේමාන් ඩවූඩ් (19)ය.

ටයිටන් සබ්මැරීනය තුළ සිටියදී මියගිය පුද්ගලයන් පස් දෙනා "සැබෑ ගවේෂකයන්" බව දිය යට සංචාරය ක්‍රියාත්මක කළ සමාගම පවසා තිබේ. ඔවුන් සියලුදෙනා "ත්‍රාසජනක අත්දැකීම් සඳහා විශේෂ කැමැත්තක්" තිබූ තැනැත්තන් බව ඕෂන්ගේට් සමාගම ප්‍රකාශයක් කර තිබුණා

මෙම ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාවේ සුන්බුන්වල ඡායාරූප නිල වශයෙන් නිකුත් කර තිබුණා ද, යන්න අප ජාත්‍යන්තර මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළත්, එහි ඡායාරූප මෙතෙක් පළ කර නොතිබුණි.

මේ හේතුවෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ටයිටන් හි සුන්බුන් ලෙස දක්වා තිබූ ඡායාරූප අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

2004 වර්ෂයේදී රෝඩ් අයිලන්ඩ් විශ්ව විද්‍යාලයේ ගවේෂණ ආයතනය සහ පුරාවිද්‍යා සාගර විද්‍යා මධ්‍යස්ථානය සහ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ සාගර ගවේෂණ කාර්යාලය විසින් සපයන ලද මෙම ඡාරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ මීට සියවසකටත් පෙර ටයිටැනික් ව්‍යසනයට ගොදුරු වූ අයෙකුගේ සපත්තු යුගළයක් බවට දක්වා තිබුණේ මෙලෙසින්.

abc3340‍් ‍| Archived Link

මේ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived Link.

එමෙන් ම අනෙක් ඡායාරූපය ද, 2004 වර්ෂයේ ලබා ගත් ටයිටැනික් නෞකාවේ සුන්බුන් බව ට ද, alamy වෙබ් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්.

alamy | Archived Link

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ තවත් ඡායාරුප පෙළක් Prince of Deepfakes (Parody) ඇතුළු ට්විටර් ගිණුම් ඔස්සේ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් බවට දක්වා තිබුණ ද එහි ඇත්ත වශයෙන්ම දක්වා තිබුනේ කෘතිම බුද්ධිය(AI-generated) හරහා නිර්මාණය කර තිබූ ඡායාරූප කිහිපයකි. Archived Link

AI ඡායාරූප හඳුනාගැනීමේ මෙවලම් වෙත ද, අප ඉහත ඡායාරූපය යොමු කළ අතර, මෙම සියලු රූපවලින් පෙන්නුම් කළේ කෘතිම බුද්ධිය විසින් එම ඡායාරූප නිර්මාණය කිරීමට ඇති ඉහළ හැකියාවයි.

අප තවදුරටත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායෙන් විද්‍යුත් ලිපියක් හරහා විමසූ අතර ඔවුන් එයට පිළිතුරු යොමු කරමින් සඳහන් කළේ, ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් හා සම්බන්ධ ඡායාරූප/වීඩියෝ කිසිවක් මාධ්‍ය වෙත මෙතෙක් නිකුත් නොකළ බවත්, ඔවුන්ගේ නිල පුවත් නිවේදන මගින් හෝ නිල සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා නිකුත්වෙනු ඇති බවත්, එසේ නිකුත් නොකළ ඡායාරූප ටයිටන් යාත්‍රාවේ බවට දක්වා තිබුණහොත් ඒ අනුව එ්වා අසත්‍ය බවට තහවුරු වන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවේ තොරතුරු නිසි ලෙස වාර්තා නොකිරීම හේතුවෙන් ටයිටන් යාත්‍රාවේ නියමුවා වීඩියෝ ක්‍රීඩා මෙහෙයවන්නකු ලංකවේ පුවත්පතක වාර්තා කර තිබුණා.

එමෙන් ම ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාවේ නියමුවා වීඩියෝ ක්‍රීඩා මෙහෙයවන්නකු බවට අමෙරිකානු සී. බී. එස්. ප්‍රවෘත්ති සේවය වාර්තා කළ බවට මෙරට ප්‍රධාන මාධ්‍ය වාර්තාවක දක්වා තිබූ බැවින් එවැනි පුවතක් සත්‍ය වශයෙන් ම සී. බී. එස්. ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණා ද, අප පරීක්ෂාවට ලක් කළා.

නමුත් සී. බී. එස්. ප්‍රවෘත්ති සේවය වාර්තාවේ ඇත්තෙන්ම දැක්වුණේ, එම සබ්මැරීනය පාලනය කරනු ලබන්නේ, වීඩියෝ-ගේම් පාලකයක් (video game controller) ආකාරයෙන් දිස්වන වඩා වැඩිදියුණු කර ඇති පාලකයක් මගින් බව ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ස්ටොක්ටන් රෂ් (අනතුරින් ජීවිතක්ෂයට පත්) සඳහන් කර තිබූ බවයි. මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව මෙතෙනින්. Archived Link

එසේම ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ස්ටොක්ටන් රෂ් තමයි ටයිටන් යාත්‍රාවේ නියමුවා (Pilot) වශයෙන් ඇත්තටම කටයුතු කලේ. ස්ටොක්ටන් රෂ්, මීට පෙර පර්යේෂණාත්මක ගුවන් යානයක් නිර්මාණය කර ඇති අතර අනෙකුත් කුඩා සබ්මැරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කළ පළපුරුදු ඉංජිනේරුවරයෙක් වූ අතර, පසු කාලීනව ඔහු ගැඹුරු සාගර පත්ල ගැන අධ්‍යන කරා තම OceanGate සංවිධානය ඔස්සේ අවධානය යොමු කර තිබුණි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්

2022 වර්ෂයේ දී, CBS ප්‍රවෘත්ති වාර්තාකරු ඩේවිඩ් පෝග් OceanGate හි මෙම සබ්මැරීනයේ අභ්‍යන්තර සංචාරයක් කරනු ලැබුවා.

OceanGate සමාගමේ ටයිටැනික් සුන්බුන් නැරඹීමේ සංචාර

සේවාදායකයින්ට ගැඹුරු මුහුදේ සංචාරය කිරීම සඳහා OceanGate සමාගම 2009 වසරේ දී ආරම්භ කරන ලද අතර, 2021 වසරේ දී ටයිටැනික් සුන්බුන් නැරඹීම සඳහා සංචාර ආරම්භ කිරීමත් සමග ලොව පුරා මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක් වූවා.

සංචාරකයින්ව මුලින්ම විශාල නෞකාවකින් සුන්බුන් ඇති මුහුදු ප්‍රදේශයට රැගෙන යාම සිදුවන අතර, ඉන්පසු 'ටයිටන්' ලෙස හඳුන්වන ට්‍රක් රථයක ප්‍රමාණයේ මුහුදට ගිල්විය හැකි සබ්මර්සිබල් යාත්‍රාවේ නැගී මීටර 3800ක ට වැඩි ගැඹුරේ පිහිටි නෞකා සුන්බුන් වෙත කිමිදීම ද ඇතුළු දින කිහිපයක සම්පුර්ණ ගමන සඳහා සංචාරකයන් සඳහා වන ටිකට්පතෙහි මිල ඩොලර් 250,000කි. මේ පිලිබඳ තොරතුරු මෙතනින්

මෙම යාත්‍රාවක නියමුවෙක්, ගෙවීම් සිදුකර සංචාරය වෙන් කරගන්නා තිදෙනෙක් හා සමාගම විසින් "අන්තර්ගත පිළිබඳ ප්‍රවීණයෙක්" ලෙස හඳුන්වන්නෙක් ගමන් කරති. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.

ඕෂන්ගේට් සතු සබ්මර්සිබල් යාත්‍රා තුනක් ගැන එහි වෙබ් අඩවියෙහි සඳහන් ය. නමුත් ටයිටැනික් සුන්බුන් තැන්පත්ව පවතින ගැඹුර වෙත කිමිදීමට සමත් ඔවුන්ගේ එකම යාත්‍රාව 'ටයිටන්' ය. එසේම ලොව පුරා මෙවැනි අධික ගැඹුරකට ගමන් කළ හැකි යාත්‍රා පවතින්නේ අතලොස්සකි.

ඕෂන්ගේට් වෙබ් අඩවියට අනුව, බර කිලෝග්‍රෑම් 10,432ක් වූ මෙම ටයිටන් යාත්‍රාවට මීටර 4000කට ආසන්න ගැඹුරකට කිමිදිය හැකි අතර, පස්දෙනෙකුගෙන් යුත් මඟීන් පිරිසක් සඳහා පැය 96කට ප්‍රමාණවත් ජීවිතාධාරක තිබේ.

සබ්මර්සිබල් යාත්‍රාවන් නෞකා සුන්බුන් සහිත ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සිදුකර ඇති 'පෝලා ප්‍රින්ස්' නම් නෞකාවක් ද මෙම මෙහෙයුමට සම්බන්ධවී තිබූ බව, එම නෞකාවේ හිමිකරු සඳහන් කර තිබේ.

මෙම ටයිටන් ඛේදවාචමයත් සමඟ මීට පෙර මෙම ගමනට සහභාගී වූ ඇතැම් පාර්ශව ද විවිධාකාරයේ අදහස් දක්වා තිබු අතර ගමනේ අවදානම පිළිබඳව මෙන්ම ඇතැම් තාක්ෂණික සුළු දෝෂ ගැන ද කතාබහට ලක්ව තිබුණා. ඒ පිළිබඳව පළ වූ තොරතුරු මෙතනින්.

Update :

ටයිටැනික් නෞකාව අසළ විනාශයට පත් ටයිටන් සබ්මර්සිබල් සබ්මැරීනයේ මුහුදු පත්ලෙන් සොයා ගත් සුන්බුන් සහ සාක්ෂි අතර අනුමාන මිනිස් අස්ථී කොටස් ද වන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය බදාදා (28) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

ටයිටන් සුන්බුන් මතුපිටට ගෙන ආ දුරස්ථව ක්‍රියාත්මක වන පෙලජික් රිසර්ච් සර්විසස් සමාගම මේ වන විට අක්වෙරළ වැඩ සාර්ථකව අවසන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එම සුන්බුන් වෙරළට ගෙන ඒමට කටයුතු කරන අයුරු දැක්වෙන සත්‍ය ඡායාරූප පහතින්.

CNN

එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

https://www.youtube.com/watch?v=MOxQYXvMAZ8

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, "ටයිටන්" සබ්මර්සිබල් යාත්‍රාවේ කොටස් සහ සුන්බුන් බවට දැක්වීමට යොදා තිබෙන ඉහත සියලු ඡායාරූප අසත්‍ය සහ නොමග යන සුළු බවයි. එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ, ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සම්බන්ධ ඡායාරූප කිසිවක් මාධ්‍ය වෙත මෙතෙක් නිකුත් නොකළ බවත්, ඔවුන්ගේ නිල පුවත් නිවේදන මගින් හෝ නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් නොකළ ඡායාරූප ටයිටන් යාත්‍රාවේ බව ට දක්වා තිබුණහොත් ඒ අනුව එ්වා අසත්‍ය බවට තහවුරු වන බවයි.

‘ටයිටන්’ යාත්‍රාවේ ඡයාරූප බවට හුවමාරු වූ සේයාරූ එකතුවේ දැක්වෙන්නේ, මීට වසර ගණනාවකට පෙර ලබාගෙන තිබු, ටයිටැනික් නෞකාවේ සුන්බුන් වල ඡායාරූප කිහිපයක් සහ කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක එකතුවකි

Avatar

Title: ටයිටන් යාත්‍රාවේ සුන්බුන් ලෙස හුවමාරු වන නොමඟ යවන සුළු ව්‍යාජ ඡායරූප පෙළක්

Written By: Pavithra Sandamali

Result: Misleading