දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය සමයේ නිර්වින්දන ඖෂධ නිසා ඇතිවූ විවිධ ආසාත්මිකතා නිසා පුද්ගලයින් මිය ගිය බවට සහ විවිධ අතුරු ආබාධ හටගත් බවට මාධ්‍ය වාර්තා පළවුණා. එම මාධ්‍ය වාර්තා සහ සිදුවූ සැකකටයුතු මරණ සහ අතුරු ආබාධ තත්ත්වයන් නිසා නිර්වින්දන ඖෂධ වර්ග කිහිපයක්ම ඉවත් කෙරුණු අතර, මේ ආකාරයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවෙද්දී මෙම ඖෂධ කාණ්ඩය ලංකාවට ආනයනය කළේ, කුමන ඖෂධ සමාගම්වලින්ද යන්න බොහෝදෙනාගේ අවධානයට ලක්වූ කාරණයක්.

එවන් පසුබිමක් තුළ, මතභේදයට තුඩුදුන් නිර්වින්දන ඖෂධ වර්ග, පිටරටින් ආනයනය කරන සමාගම්වලට ද මෙම චෝදනා එල්ලවුණා.

සමාජ ජාලා සටහන් :

ආන්දෝලනය ලක්වූ නිර්වින්දන ඖෂධ කාණ්ඩය ලංකාවට ආනයනය කලේ Slim Pharmeceuticals ආයතනය බවත් ,සහ එහි සභාපතිවරයා වන සුමිත් ප්‍රේමරත්න, රාජපක්ෂවරුන් සමග නෑ සබදතා සහිත පුද්ගලයෙක් ආදී වශයෙන් සඳහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Facebook | Archived

ආන්දෝලනයට ලක්වූ ඖෂධ නිර්වින්ධන ඖෂධ තොගය ලංකාවට ගෙන්වූයේ Slim Pharmeceuticals ආයතනයද ? එහි සභාපතිවරයා හිටපු අගමැති මහින්දගේ නැගණියගේ පුතාද ? සම්බන්ධ කරුණු කරුණු විමසා බැලීමට අප තීරණය කළා.

ඖෂධ ආනයනය හා සම්බන්ධ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ (සහ අනුබද්ධ ආයතනවල ) අධික්ෂණය සහ අනුමැතිය මත සිදුවන නිසා අප මේ සම්බන්ධයෙන් වන දත්ත, තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මතභේදයට ලක්වූ ඖෂධ සම්බන්ධ තොරතුරු අපට ලබාදුන්නා .

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම සහ නියාමනය සම්බන්ධ අතිරේක ලේකම්වරයා විසින් අපට එවන ලද පිළිතුරු ලිපියේ පැහැදිලිවම සඳහන් කර තිබුණු භාවිතයෙන් ඉවත්කරන ලද නිර්වින්දන ඖෂධ ගෙන්වන සමාගම් සම්බන්ධයෙන් අප ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ කරුණු සොයා බැලුවා.

එහිදී දක්නට ලැබුණේ එහි සදහන්, මතභේදයට තුඩුදුන් නිර්වින්දන ඖෂධ අතරින් එකක් වූ Bupivacaine නම් ඖෂධය, Divine Laboratories නම් ඉන්දීය නිෂ්පාදන සමාගමකින් ලංකාවට ගෙන්වා ඇති අතර Slim Pharmeceuticals එහි දේශීය නියෝජිතායතනය ලෙස / බෙදාහැරීම් ආයතනයක් ලෙස කටයතු කර ඇති බවයි. මේ පිලිබදව වැඩිදුර තොරතුරු විමසීම සදහා අප ඉන්දීය නිෂ්පාදන ආයතනය වෙත විද්‍යත් ලිපියක් යොමුකළ අතර ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව මෙම ලිපිය යාවත්කාලින වනු ඇත .

එමෙන්ම ඇතැම් සමාජ ජාලා සටහන්හි Slim Pharmeceuticals ආයතනයේ සභාපති සුමිත් ප්‍රේමරත්න විසින් සාටකයක් පැළද සිටින ආකාරයක් හැඟවීමට උත්සාහ දරන අතර ,ඒ සම්බන්ධ කරුණු විමසුමේදී අපට දැකගන්නට ලැබුණේ සභාපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ තිබූ සේයාරුවක් ලබාගෙන එය සංස්කරණය කර මෙය සකසා ඇති බවයි. එම සේයාරූ සංසන්දනය මෙතනින්

අප Slim Pharmeceuticals ආයතනයේ සභාපති සුමිත් ප්‍රේමරත්න මහතාව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් ද මේ පිලිබඳ වැඩිදුරටත් කරුණු විමසා සිටියා. අප සමග අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, තම ආයතනයට අපහාස කිරීම සඳහා මෙම සමාජ ජාලා සටහන් සකසා ඇති බවත් මීට පෙර කිසිදු අවස්ථාවක Slim Pharmeceuticals ආයතනය ඖෂධ ආනයන ක්ෂේත්‍රයේ බාල ඖෂධ ගෙන්වීම වැනිදේ සම්බන්ධව වැරදිකරුවෙක් වී නොමැති බවයි.

එසේම රාජපක්ෂවරුන්ගේ නෑයෙක් බවට පළවන සමාජ ජාලා සටහන් පිළිබඳව අදහස් පලකරමින් ඔහු පැවසුවේ, ඒවා ද සම්පුර්ණ අසත්‍ය බවයි. තමන් උපත ලැබුවේ කෑගල්ල ප්‍රදේශයේ බවත්, තමන් අගනුවරට පැමිණියේ අධ්‍යාපන කටයතු සඳහා බවත්, රාජපක්ෂවරුන්ගේ නිජබිම වන දකුණේ තමන්ගේ නෑයන් හෝ කිසිවෙක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. Slim Pharmeceuticals ආයතනය ආරම්භ කළේ, 2011 වසරේ බවත් පැවසූ සභාපති සුමිත් ප්‍රේමරත්න පවසන්නේ පුද්ගලයෙක් ලෙස තමන්ට මෙම ක්ෂේත්‍රය තුළ දශක 3ක පමණ අත්දැකීම් ඇති බවයි.

ප්‍රධාන පෙලේ ඖෂධ බෙදාහරින නියෝජිතායතන කිහිපයකින් අප විසින් සිදුකරන ලද විමසිම්වලදීද තහවුරු වුවේ Slim ආයතනය මගින් ආනයනය කරන ලද වෙනත් ඖෂධ වලින් බරපතල ගැටළු සහගත තත්ත්වයන් මීට පෙර පැනනැගී නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:රාජපක්ෂ පවුල සහ නිර්වින්දන ඖෂධ සම්බන්ධ කරගනිමින්, Slim Prameceuticals ආයතනය පිළිබඳ පැතිරෙන සමාජ ජාලා සටහන් !

Written By: Fact Crescendo Team