දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුධ වාතාවරණය පිලිබදව ලෝකයේ විවිධ රාජ්‍ය නායකයන් මේ වන විට නොයෙක් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහද පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් සිය අදහස් පළකරන බවක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඔහු විසින් පළකරන ලද අදහස් විකෘති කරමින් සමාජ ජාලා සටහන් පළවෙන බවක් දක්නට ලැබුණා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන් වල දැක්වෙන්නේ ලෝක සාමයට බාධාවන ලෙස ඊශ්‍රායලය සහ පලස්තීනය කටයුතු කරන්නේ නම් දෙරට සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පැවසූ බවක්.

Facebook| Archived

ඒ සම්බන්ධයෙන් පරිශීලකයන් කරුණු දක්වා තිබුණේ පහත අයුරින්.

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබු අතර බොහෝ දෙනෙක් එම සටහන් සඳහා උපහාසාත්මක කෝණයෙන් ප්‍රතිචාර දක්වා තිබුණ ද, ජනපති රනිල් විසින් සැබවින්ම ඊශ්‍රායලය - පලස්තීනය ගැටුම්කාරී තත්වය පිලිබඳ සිදුකළ ප්‍රකාශයන් පිලිබඳ විමසිලිමත් වී තිබුණා.

ජනාධිපතිවරයා සැබැවින්ම මෙවන් ප්‍රකාශයක් සිදු කළාද ? මේ අප විසින් ඒ පිලිබදව සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

ජනාධිපතිවරයා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇති බවක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන්න පිලිබදව අප විමසා බැලුවා. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

ඉන් අනතුරුව අප විමසා බැලුවේ ජනාධිපතිවරයා විසින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මෑතකදී සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් .

ජනාධිපති මාධ්‍ය අංශය මගින් ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් මස 9 වැනිදා අමාත්‍ය මණ්ඩලය හමුවේ මෙම ගැටලුව පිලිබදව දැක්වූ අදහස් ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින් .(මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ නිවැරදි කරන ලද නිවේදනයක් ලෙසයි )

ඊශ්‍රායලයේ සේවය කරනු ලබන බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන් නිවැරදිව ස්ථානගත කර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික කළ යුතු වෙනවා. සංචාරකයින් ලෙසත්, විවිධ සේවකයන් ලෙසත් ඊශ්‍රායල ජාතිකයින් සැලකිය යුතු පිරිසක් ද ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඔවුන්ට නැවත ඊශ්‍රායලයට යාම සඳහා අපි උපකාර කළ යුතු වෙනවා. මම පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් පිළිබඳ සොයා බලන ලෙස දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සෑම විටම ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පය සඳහා සහාය දක්වනු ලබනවා. ඒ සඳහා අපේ සහයෝගය දැකවීම ස්ථිරයි. සමහර අවස්ථාවලදී අපි ඊශ්‍රායලයේ ක්‍රියා හෙළා දැක තිබෙනවා. එසේ වුවත්, මේ සියල්ලෙන්ම සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරමින් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානයේ ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකියි. ශ්‍රී ලංකා රජය මෙම පෙර නොවූ විරූ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා.

ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය වහා අවසන් කළ යුතුයි. ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමය විසින් ගෙන ආ යෝජනාවට එකඟ වෙනවා. මෙම අර්බුදයේ තවත් බලපෑමක් තිබෙනවා.

පෙට්‍රල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. ඉන් පසුව ලබන වසරේ පෙබරවාරි මාසයේ අග සිට නැවත අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම අර්බුදය මගින් තවදුරටත් ඉන්ධන හිඟයක් ඇති කරන අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතීමට ඉඩ තිබෙනවා.

මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන්ට විශාල පහරක් බවත් කිව යුතුයි.”

-------ජනාධිපති මාධ්‍ය අංශය -----PMD Web | Archived

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය මගින්   ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත  ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් දක්වන ලද අදහස් ලෙස මුලින් නිකුත් කරන ලද නිවේදනයේ තිබූ යම් වචන ,මෙම දෙවන නිවේදනය තුළ වෙනස් කර ඇති බවක් දක්නට ලැබෙනවා.ජනාධිපති මාධ්‍ය අංශය මගින් පළමුව මේ පිලිබදව නිකුත් කළ නිවේදනය පහතින්.

මෙම නිවේදන දෙක සංසන්දනය කිරීමේදී පැහැදිලි වන්නේ ඊශ්‍රායලයේ මෑතකාලීනව සිදුවූ ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිලිබදව තම දැඩි අවධානය යොමුවී ඇති බව යන වාක්‍ය , ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කරන ලද දෙවන මාධ්‍ය නිවේදනයේ දක්නට නොලැබෙන බවක්.

කෙසේ වෙතත් පළමු මාධ්‍ය නිවේදනයේ පවා සමාජ ජාලා සටහන්වල දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදු කල බවක් දක්නට ලැබෙන්නේ නැහැ .

සමාජ ජාලාවල බහුලව දක්වා තිබුණේ එසැණ පුවත් සේවයේ නිල ලකුණ සහිතව ජනාධිපතිවරයා විසින් යුධ වැදී සිටින දෙරටට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවක් පැවසූ බවක් ඔවුන් විසින් වාර්තා කල බවක් .නමුත් එසැණ පුවත්වල එවැන්නක් දක්නට ලැබෙන්නේ නැහැ.ඔවුන් විසින් සිදුකර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශය මගින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවේ පවසා ඇති අදහස් ලෙස මුලින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ ඇති කරුණු වාර්තා කිරීමක් .

Esana| Archived

අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුධ වාතාවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අවධානය යොමුකර තිබුණේ එහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිලිබදවයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇත.

ඒ අනුව මේ වන විටත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මෙරට රජයේ වගකිවයුතු අංශ එක්ව ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධව ගත හැකි උපරිම මැදිහත්වීම සිදුකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.

එහිදී ඊශ්‍රායලයේ රැකියාවල නියුතු හෝ වෙනත් කරුණක් වෙනුවෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට තම ජීවිත පිළිබඳ අවධානමක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව හෝ වෙනත් දුෂ්කරතා කිසිවක් ඇත්නම් ඒ පිළිබඳ සෘජුව මෙරට බලධාරීන් දැනුවත් කිරීම සඳහා පහසුකම් සළසා තිබේ.

ඒ අනුව (+94) 117966396 යන දුරකථන අංකය, (+94) 767463391 යන WhatsApp අංකය හෝ [email protected] යන Email ලිපිනය හරහා සිය අවශ්‍යතා ඉදිරිපත් කිරීමේ හෝ අවශ්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව පවතී.

PMD | Archived

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

ලෝක සාමයට බාධාවන ලෙස ඊශ්‍රායලය සහ පලස්තීනය කටයුතු කරන්නේ නම් දෙරට සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පැවසූ බවට දැක්වෙන සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. ජනාධිපතිවරයා විසින් එවැන්නක් පවසා නොමැත.

ඔහු හමාස් සංවිධානය මගින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දැක ඇති අතර ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පය යටතේ මෙම ගැටලුවට විසදුමක් දිය යුතු බව සදහන් කරයි. ඊට අමතරව ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ ඊශ්‍රායලය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

Avatar

Title:ඊශ්‍රායලය සහ පලස්තීන යුධ තත්වය පිළිබඳව ජනපති රනිල් පැවසු බවට හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

Written By: Fact Crescendo Team

Result: Misleading