දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

"Good Morning" සුබ පැතුම් පණිවිඩ එක් කරමින් යොමු කරන ඡායාරූප සහ වීඩියෝ ඔස්සේ ඔන්ලයින් වංචා සිදුවන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඔබගේ දුරකතනය ඔස්සේ හුවමාරු කරගන්නා සුබ උදෑසනක්, සන්ධ්‍යාවක් සහ වෙනත් සුබපැතුම් සහ ආගමික පණිවිඩවල සියලුම ඡායාරූප සහ වීඩියෝ හැකි ඉක්මනින් මකන ලෙසත්, චීනයේ හැකර්වරුන් විසින් ඒවාහි  "phishing codes" සඟවා ඇති බවත්, ඒ තුළින් පුද්ගලික තොරතුරු හෙළිදරව් කර ගන්නා බව ත්, සඳහන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

ආයුබෝවන් පවුලේ අය සහ මිතුරන්, හෙට සිට, කරුණාකර අන්තර් ජාල පින්තූර එවන්න එපා. තේරුම් ගැනීමට පහත ලිපිය බලන්න. මමත් එසේ පෝස්ට් යැවීම නවත්වනවා.

කරුණාකර සුබ උදෑසනක්, සන්ධ්‍යාවක් සහ වෙනත් සුබපැතුම් සහ ආගමික පණිවිඩවල සියලුම ඡායාරූප සහ වීඩියෝ හැකි ඉක්මනින් මකන්න.

පහත ලිපිය හොඳින් කියවන්න, එවිට ඔබට වැටහෙනු ඇත.

සියල්ල කියවන්න! ඔබේ දුරකතනයට නීතිවිරෝධී අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා කරුණාකර මෙම පණිවිඩය හැකිතාක් මිතුරන් වෙත කඩිනමින් යවන්න.

ඔල්ගා නිකොලෙව්නාස් *නීතිඥවරියගෙන් අනතුරු ඇඟවීම:*

අවධානවන්න කැමති අයට සුබ උදෑසනක්! එය ලස්සන දවසක්! සුභ සන්ධ්‍යාවක්! කියා ලියා යවන්න.

අන්තර්ජාලයෙන් එන පින්තූර යවන එක නවත්වන්න.

*කරුණාකර මෙම අන්තර්ජාල පින්තූර පණිවිඩ යවන්න එපා.*

අද, ෂැංහයි චයිනා ඉන්ටර්නැෂනල් ප්‍රවෘත්ති සියලුම ග්‍රාහකයින්ට සහ ප්‍රවීණයන්ට SOS යවා ඇත.

උපදෙස් දෙන්න: අන්තර්ජාලයෙන් ඔබට එවන කවුරු හෝ කොපිකර එවන පින්තූර සහ වීඩියෝ යවන්න එපා.

මෙම පින්තූර නිර්මාණය කළ හැකර්වරුන් සහ මෙම පින්තූර සහ වීඩියෝ ඉතා අලංකාර කර සිත් ගන්නා අයුරු එවන බව වාර්තාව පෙන්වා දෙයි,

නමුත් සැඟවුණු තතුබෑම් (download) කරන (code) සැඟවුණු කේතයක් ඇත,

සෑම කෙනෙකුම මෙම පණිවිඩ යවන විට, හැකර්වරුන් බැංකු කාඩ්පත් තොරතුරු සහ දත්ත වැනි පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට ඔබේ උපාංගය භාවිතා කරයි.

සහ ඔබේ දුරකථනයට ඇතුල්වී අවුල් ඇති කරයි.

මේ වන විට, වින්දිතයන් ලක්ෂ පහකට වැඩි පිරිසකට වංචා කර ඇති බව වාර්තා වේ.

*ඔබට අන් අයට ආයුබෝවන් කීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබේම සුබ පැතුම් ලියන්න, සහ ඔබේම පින්තූර සහ වීඩියෝ යවන්න එවිට ඔබට ඔබ සහ ඔබේ පවුලේ අය සහ මිතුරන් ආරක්ෂා කර ගත හැකිය.*

වැදගත් !

ආරක්ෂිත වීමට, කරුණාකර ඔබගේ දුරකථනයේ ඇති සියලුම සුබ පැතුම් සහ පින්තූර මකා දැමීමට වග බලා ගන්න. යමෙකු ඔබට එවැනි පින්තූර එවා ඇත්නම්, වහාම ඒවා ඔබගේ උපාංගයෙන් ඉවත් කරන්න.

හැකර්වරුන්ගේ අනිෂ්ට කේත යෙදවීමට යම් කාලයක් ගත වේ,

එබැවින් ඔබ වහාම පියවර ගන්නේ නම්, කිසිදු හානියක් සිදු නොවනු ඇත.

හැක් වීම වලක්වා ගැනීමට ඔබගේ සියලු මිතුරන්ට කියන්න.

ඔබේම වචනවලින් ආයුබෝවන් කියන්න සහ ඔබට, ඔබේ පවුලේ අයට සහ මිතුරන්ට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වන *සුබපැතුම් සඳහා ඔබේම නිර්මාණය කළ පින්තූර සහ වීඩියෝ පමණක්* යවන්න.

කරුණාකර මා අදහස් කරන දේ තේරුම් ගන්න! සෑම කෙනෙකුගේම ජංගම දුරකථනයට බැංකු කාඩ්පතක් සම්බන්ධ කර ඇති අතර, සෑම කෙනෙකුගේම ජංගම දුරකථනයට බොහෝ සම්බන්ධතා ඇත. මෙම හැක් කිරීම ඔබට පමණක් නොව, ඔබගේ දුරකථනයට, මිතුරන්ට සහ හිතවතුන්ටද තර්ජනයක් ඇති කරයි!

මෙය ම්ලේච්ඡයි.

මෙය ත්‍රස්තවාදීන් විසින් ඔබගේ ජංගම දුරකථන සිම් කාඩ්පත නැරඹීමට භාවිතා කරන නව තාක්‍ෂණයකි,

එවිට ඔබ ඔවුන්ගේ සහකරු බවට පත්වේ!!!

* * * ඕනෑම අනවසර ආක්‍රමණයක් නැවැත්වීමට හැකිතාක් ඔබගේ නෑදෑ හිතමිතුරන්ට මෙම පණිවිඩය යවන්න!!!

හිතවත් පවුලේ අය සහ මිතුරන් පරිස්සම් කිරීම සඳහා සහාය වන්න !!

Facebook | Archived Link

WhatsApp ඔස්සේ මෙම සටහන ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ ද, සංසරණය වී තිබුණා මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම Shanghai China International News නමැති පුවත් ඒජන්සියක් ඇත් ද, යන්නයි. නමුත් එවැනි පුවත් ඒජන්සියක් නොමැති බව අපට තහවුරු වුණා. ඉන් අනතුරුව ඉහත සටහනේ පෙන්වා දුන් පරිදි 

‘ඔල්ගා නිකොලෙව්නාස්’ නමැති නීතිඥවරියක් විසින් මෙවැනි අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳව ද, අප පරීක්ෂා කළ අතර එවැනි නීතිඥවරියක් ඇති බවට හෝ ඇය විසින් ඉහත සඳහන් ලෙස අනතුරු ඇඟවීමක් හෝ නිකුත් කර නොතිබුණි. ඔල්ගා නිකොලෙව්නා නමැති රුසියාවේ ආදිපාදවරියක් සම්බන්ධයෙන් තොරතුරු පමණක් අන්තර්ජාලයේ ඇති බවට දැක ගන්නට ලැබේ.

අප මෙම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු වල නිරවද්‍යතාවයක් ඇත් ද යන්න පිළිබඳ කළ විමසා බැලීම.

සුබ උදෑසන පණිවිඩ ඇතුළත් වංචාවන් වාර්තා වී තිබෙනවාද?

ගුඩ් මෝනිං හෝ ගුඩ් නයිට් පණිවිඩ, වීඩියෝ හෝ පින්තූර සම්බන්ධව වංචාවන් සිදුවී ඇති බවට කිසිදු විදේශීය පුවතක හෝ වාර්තා වී නොමැත.

නිසැකවම, එවැනි වංචාවකට ගොදුරු වීමේ සිදුවීමක් වී ඇත්නම් ඒ පිළිබඳ ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වනු ඇත. ඒත් එවැනි සිදුවීමක් වාර්තා නොවී තිබීමෙන් හැඟවෙන්නේ මෙතෙක් එම සුබ පැතුම් පණිවිඩ ඇතුළත්, ඡායාරූප හෝ වීඩියෝ මගින් සිදු වූ වංචාවන් සිදුවී නොමැති බවයි.

Phishing Attack යනු කුමක්ද?

තතුබෑම් ප්‍රහාර යනු අනිෂ්ට මෘදුකාංග බාගත කිරීම, සංවේදී තොරතුරු හෝ පුද්ගලික දත්ත (උදා., සමාජ ආරක්ෂණ සහ ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පිවිසුම් අක්තපත්‍ර) හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරිශීලකයන් රැවටීමට සැලසුම් කර ඇති වංචනික ඊමේල්, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් හෝ වෙබ් අඩවි වේ.

චීනයෙන් හෝ වෙනත් ඕනෑම තැනක සිට හැකර්වරුන්ට මෙලෙසින් සුබ පතන ඡායාරූප සහ වීඩියෝ නිර්මාණය කිරීමට වඩා වඩාත් ඵලදායී ලෙස අනවසරයෙන් දත්ත ලබා ගැනීමේ ක්‍රමවේද තිබේ.

බොහෝ දුරට මෙවැනි පණිවිඩ බෙදා ගැනීමට සහ ආකර්ෂණය කර ගැනීමට වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් විසින් නිර්මාණය කරනු ලබන්නේ නව නව අනුගාමිකයින්(Followers) වැඩි කර ගැනීමටයි.

Digital Steganography

රූප වීඩියෝ හෝ වෙනත් ඩිජිටල් මූලාශ්‍ර ආකාරයෙන් අනිෂ්ට මෘදුකාංග බෙදාගැනීමේ ක්‍රියාවලිය 'ඩිජිටල් ස්ටෙගානොග්‍රැෆි' ලෙස හැඳින්වේ. බොහෝ සාම්ප්‍රදායික අනිෂ්ට මෘදුකාංග හඳුනාගැනීමේ මෙවලම් එවැනි අනිෂ්ට මෘදුකාංග නොසලකා හරියි.

කෙසේ වෙතත්, අනිෂ්ට මෘදුකාංග හෝ තතුබෑම් URL ඔස්සේ සැඟවුණු ආකාරයෙන් රූපයකට අමුණා තිබීමට හැක, නමුත් එවැනි URLs හුදෙක් සුබ උදෑසනක් සහ සුබ රාත්‍රී පණිවිඩවලට පමණක් සීමා නොවේ.

ඩිජිටල් ස්ටෙගනොග්‍රැෆි ක්‍රමය හරහා, ගොනුව, පණිවිඩය, රූපය හෝ වීඩියෝ වෙනත් ගොනුවක්, පණිවිඩයක්, රූපයක් හෝ වීඩියෝවක් තුළ සඟවා ගත හැක.

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර

අනිෂ්ට මෘදුකාංග රූප සහ පණිවිඩ වලට එබ්බවිය හැකි වුවද, උදෑසන සුබ පැතුම් පණිවිඩ ඇතුළත් ඡායාරූප හා වීඩියෝ සඳහා හැකර්වරුන් විසින් එලෙසින් මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කර ඇති බවට මෙතෙක්  නිරීක්ෂණය වී නොමැති බවත්, එබැවින් ඔබ නොදන්නා ගොනු ඔබගේ උපාංග වෙත බාගත කිරීමේදී ප්‍රවේශම් විය යුතු වුවද, ඉහත පණිවිඩයේ අන්තර්ගතය සත්‍ය වීමේ සම්භාවිතාව අඩු බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් පළ වූ තවත් කරුණු විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:හැකර්වරුන්ට ඔබව හැක් කිරීමට “සුබ උදෑසනක්” සුබ පැතුම් භාවිතා කළ හැකිද?

Written By: Pavithra Sandamali

Result: False