ගාල්ලේ අමරසුරිය ගුරු විද්‍යාල ගොඩනැගිල්ල, හරිනි අමරසූරියගේ පියාට අයිතිව තිබු වලව්වක්ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

බොහෝ අවස්ථාවන් වල සමාජයේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ වාසගම්හි සමානාත්මතාවය හේතුකොට ගෙන නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙනවා. එලෙසින් නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

මේ තියෙන්නේ උනවටුනේ තියන අමරසුරිය වලව්ව ඒක දැන් teachers training central එකක් පාර අයිනේ තියන මිල කල නොහැකි අක්කර ගානක මේ වලව්වේ අයිතිකාරිය තමයි ඔය හරිනි අමරසුරිය. එයාගේ පියා එච්.ඩබ්ලිව් අමරසූරිය තමයි මේක නිකං රජයට දීලා ඒකේ වැඩ කටයුතු වලටත් මුදල් දිලා තියෙන්නේ. ඇය හැබැයි බුකියේ පොර ටොක් දිදී රගන් නෑ.මුදලට කහින උන්ගේ ගෙවල් වල උනුත් මෙකේ බෝඩ් වෙලා ඉගන ගන්නවා ඇති තව ටොයියෝ බයියෝ ඡේප්පො ඔක්කොමත් මෙකේ ඉගන ගන්නවා” යනුවෙන් සඳහන් කරමින් සටහනක් පළ වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

එම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එම සටහනම බොහෝ දෙනා අතර හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් පහතින්.

මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

වර්තමානයේ ගුරු අභ්‍යාස විද්‍යාලයක් වන දකුණු පළාතේ පිහිටා තිබෙන ඉපැරැණි නිවාස අතරින් සුවිශේෂී වලව්වක් වන අමරසූරිය වලව්වේ (අමරගිරි වලව්ව), ඉතිහාසය පිළිබඳ අපගේ අවධානය යොමු වුණා.

අමරසූරිය ගුරු අභ්‍යාස විද්‍යාල අයත් නිවසේ හිමිකම් දැරූ අමරසුරිය පවුලේ  ඉතිහාසය

ගුරු අභ්‍යාස විද්‍යාලයක් බවට පත් වීමට පෙර එය මෙරට සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රයන්ට සුවිශාල සේවාවක් කළ පරපුරකට අයත් වූ නිවසකි.

වර්තමානයේ “අමරසූරිය” යන නමින් ප්‍රසිද්ධ මෙම පරපුරේ මූලාරම්භකයා ලෙස සැලකෙන්නේ මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මහතායි. (1847 – 1907) සිය පවුයේ නිවස ලෙස නිර්මාණය ‘අමරසුරිය වලව්ව‘ ගොඩනැගෙන්නේ ඔහු විසින්.

ඔහුගේ පුතෙකු ලෙස 1872 වසරේ දී උපන් හෙන්රි අමරසූරිය කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, තරුණ වියට පත් වන විට සිය පියා මෙන්ම ව්‍යාපාර ආරම්භ කිරීමට යොමු වී තිබු අතර තේ කර්මාන්තයට ද යොමු වී තිබුණි. 1901 දී ගාල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ කේ.සී.ජුවානිස් සිල්වාගේ දියණිය වන කාර්ලයින් ද සිල්වා සමඟ තෝමස් විවාහ විය. 

එම දෙපළට දියණියන් 3 දෙනෙක් සහ පුතුන් 3 දෙනෙකු සිටි අතර ඒ අතරින් 1904 වසරේ දී උපන් හෙන්රි වුඩ්වඩ් අමරසූරියට, තම පියාගේ වියෝවෙන් පසුව ‘අමරසුරිය වලව්ව’ භාර වූ අතර, ඔහු පාසල් වියේදී ම ව්‍යාපාරවල කටයුතු සහ සමාජ සේවා කටයුතු පිළිබඳව අවධානය යොමු වී තිබුණි.

එක්සත් ජාතික පක්ෂය පිහිටවු අවස්ථාවේ එහි මහ ලේකම් ලෙස ද කටයුතු කල හෙන්රි වුඩ්වඩ් 1948 වසරේ දී නිදහස් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ඇමැති ධූරය හිමි කරගත් ඔහු පසුකාලීනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයටද පත් විය.

ජීවිතයේ අවසන් භාගයේ දී ඔහුගේ දෙනෙත් අන්ධභාවයට පත්වන අතර අවසානයේ ඔහු ඇතුළු ශ්‍රේෂ්ඨ පරපුරකට සෙවණ දුන් ගාල්ලේ, උණවටුනේ පිහිටි “අමරසිරි මහ වලව්ව” ද ගුරු අභ්‍යාස විද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කරමින් ඔහු 1981 මාර්තු 6 වන දින අභාවප්‍රාප්ත විය. 

එසේම හෙන්රිගේ සහෝදරයෙකු වූ තෝමස් අමරසුරිය ද (1907 – 1979) ලංකාවේ ප්‍රසිද්ධ වැවිලිකරුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වූ අතර අදටත් ජීවතුන් අතර සිටින ඔහුගේ පුතුන් දෙපළක් වන හේමක අමරසුරිය (හිටපු සිංගර් සභාපති) සහ මහෙන්ද්‍ර අමරසුරිය ( හිටපු කොමශල් බැංකුවේ සභාපති) ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබලන් දෙපළකි.

වර්තමානයේ දී ගුරු අභ්‍යාස විද්‍යාලයක් ලෙසින් ක්‍රියාත්මය වන වලව්වේ අමරසූරිය පවුල හා සබැඳි සැමරුම් සුරක්ෂිත කෙරුණ කෞතුකාගාරයක් ද වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අමරසූරිය ගුරු විද්‍යාලයේ දර්ශන ඇතුළත් කෙටි වීඩියෝවක් පහතින්.

හරිනි අමරසූරියගේ පවුලේ තොරතුරු

මේ පිළිබඳව පරීක්ෂා කිරීමට අප හරිනි අමරසූරිය මහත්මිය විසින් සිය පවුලේ තොරතුරු පිළිබඳ සඳහන් කර තිබූ සම්මුඛ සාකච්ඡා වෙත අපගේ අවධානය යොමු කෙරිණි.

ඇය සඳහන් කරන්නේ තමන් මධ්‍යම පාන්තික පවුලකින් පැමිණි කෙනෙකු බවත්, ඇයගේ පියා තේ වතුකරුවෙකු වූ බවත්, ඇය හැදී වැඩුණේ දකුණේ පරගොඩ රජමහා විහාරය අසල පිහිටි තේ වත්තක බවත් ය. ඇයට වැඩිමහල් සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටින බවත්, ඇය හැදී වැඩෙන විට, 70 දශකයේ දී ලංකාවේ තත්ත්වය වෙනස් වීමට පටන් ගත් බවත්, ඒ අතර තේ වතු රජයට පවරා ගත් පසු කොළඹ පදිංචියට සඳහා පැමිණි බවත් හරිනි අමරසුරිය සඳහන් කරන්නේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link 

එමෙන්ම මේ පිළිබඳ වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප හරිනි අමරසූරිය මහත්මියගෙන් විමසීමක් සිදු කළා.

එම කරුණු තහරුවූ කරමින් ඇයද සඳහන් කළේ, ‘අමරසූරිය වලව්ව’ තමන්ගේ පියාට හෝ තම සීයාට හෝ අයිති වලව්වක් නොවන බව ත්, තම සීයාගේ ඥාති වන පුතෙකුට අයත් බව ත් ය. කෙසේ වෙතත් මෙම වලව්ව තමන්ට හෝ තම පියාට හෝ සීයාට අයිති බවට පළවන කටකතාව සම්පූර්ණ අසත්‍යක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

අමරසූරිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ වර්තමාන පරිපාලනයෙන් ද අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, හරිනි අමරසූරිය මහත්මිය සහ මෙම ගුරු අභ්‍යාස විද්‍යාලය අතර සම්බන්ධතාවයක් නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගාල්ල, උණවටුනේ පිහිටි වර්තමානයේ ‘අමරසූරිය ගුරු අභ්‍යාස විද්‍යාලය’ නමින් හැඳින්වෙන , කලින් ‘අමරසුරිය වලව්ව’ ලෙස ප්‍රසිද්ධව තිබු නිවස ජාතික ජන බලවේගයේ මන්ත්‍රිණී හරිනි අමරසූරියගේ පියාගේ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. 

එම වලව්ව අයත්ව තිබුනේ ගාල්ලේ සුප්‍රසිද්ධ අමරසුරිය පරම්පරාවට වූ අතර, හරිනි අමසූරිය මහත්මිය විසින් ද තහවුරු කළේ තමාගේ පියාගේ හෝ සීයාට අයත්ව තිබු නිවසක් නොවූ බවයි.

Avatar

Title:ගාල්ලේ අමරසුරිය ගුරු විද්‍යාල ගොඩනැගිල්ල, හරිනි අමරසූරියගේ පියාට අයිතිව තිබු වලව්වක්ද?

Written By: Pavithra Sandamali 

Result: False


Leave a Reply