ගෑස් සිලින්ඩර හැඬලයේ ඇති සලකුණු බොදවීම් නිසා ලිට්‍රෝ ආයතනය විසින් ගෑස් සිලින්ඩර ප්‍රතික්ෂේප කරන බවට අසත්‍ය ප්‍රචාර!

False Social

Last updated on December 18th, 2023 at 09:54 am

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත LP ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අසත්‍ය කටකතා ඇති කිරීම සහ ප්‍රචාරය කිරීම, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඉතා සුලබව දැකිය හැකි තත්ත්වයක්. මෙවර අපි අවදානය යොමු කරන්නේ, ලිට්‍රෝ ගෑස් භාවිත කරන ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, සමාජය තුළ පැතිර යන කටකතාවල සත්‍ය අසත්‍යතාව විමසා බැලීමටයි.

සමාජ මාධ්‍ය පලකිරීම්

LP ගෑස් සිලින්ඩරයේ හැඬලයේ මතුපිට බොඳ වූ හෝ අකුරු මැකී ගොස් ඇති ලිට්‍රෝ ගෑස් සිලින්ඩර, නැවත පිරවීම සඳහා ලිට්‍රෝ සමාගම විසින් භාරනොගන්නා බවට සමාජ මාධ්‍ය තුළින් චෝදනාවක් එල්ල වනවා. ඒ අනුව, පාරිභෝගිකයෙකු ලිට්‍රෝ ගෑස් වෙළඳ නියෝජිතයෙක් වෙත ගෑස් සිලින්ඩරයක් රැගෙන යනවිට, එහි හැඬලයේ කොටා ඇති අකුරු හා සලකුණුවලින් දැක්වෙන තොරතුරු, විවිධ හේතු නිස මැකීගොස් හෝ ඉවත් වී ගොස් පැවතුනොත්, එවැනි ගෑස් සිලින්ඩර වෙළඳ නියෝජිතයක් විසින් ප්‍රතික්ෂේප කරන බැවින්, වැඩි මුදලක් ගෙවා  නව ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා මෙහිදී පාරිභෝගිකයන්ට සිදුවන බව මෙම සටහන් ඔස්සේ පෙන්වා දෙනවා.

ෆේස්බුක් | සං‍රක්ෂිත

මේ සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර විශාල වශයෙන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙම ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව පිළිබඳවබොහෝ දෙනෙක් කුතුහලයෙන් සිටින අතර, ඒ අනුව අපි මේ පිළිබඳව කරුණු තහවුරු කිරීමක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ෂණය)

ලිටෝ ගෑස් සමාගමේ ප්‍රකාශය:

අපි මේ පිළිබඳව තහවුරු කර ගැනීමට ලිට්‍රෝ ගෑස් හි අලෙවි කළමනාකාරතුමාව සම්බන්ධ කර ගත්තා. ඔහු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. සමාගමේ නිල ස්ථාවරය පැහැදිළි කරමින් එතුමා අවධාරණය කළේ ගෑස් සිලින්ඩර් හැඬලවල සටහන් කර ඇති සලකුණුවලින් දැක්වෙන විස්තරය, කිසි ලෙසකත් සිලින්ඩර නැවත පිරවීම සඳහා භාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා වැදගත් නිර්ණායකයක් නොවන බවයි.

කෙසේ වෙතත්, ලිට්‍රෝ ගෑස් අලෙවි කළමනාකාරතුමා වැඩිදුරටත් පැවසුවේ මෙම සලකුණු ඔස්සේ නිෂ්පාදිත දිනය, SLS සහතිකය, ධාරිතාවය, දරාගත හැකි පීඩනය යනාදී දේවල් නිරූපණය කරන බවයි.

සාමාන්‍යයෙන් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර හේතු කිහිපයක් නිසා ප්‍රතික්ෂේප වීමේ ඉඩකඩක් පවතිනවා. ඒ අතරින් මූලික හේතු වන්නේ;

  • හානියට පත් වූ සිලින්ඩර – භෞතික හානි පෙන්නුම් කරන සිලින්ඩර ලිට්‍රෝ සමාගම විසින් ප්‍රතික්ෂේප කරයි.
  • වෙනත් සමාගම්වලට අයත් සිලින්ඩර – අනෙකුත් LP ගෑස් සමාගම්වලට අයත් ගෑස් සිලින්ඩර ලිට්‍රෝ සමගම විසින් ප්‍රතික්ෂේප කරයි.
  • වෙනස් කරන ලද හෝ නොගැලපෙන ලෙස පින්තාරු කරන ලද සිලින්ඩර – සමාගමේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයෙන් වෙනස් කරන ලද හෝ තීන්ත ආලේප කර ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ දරා ඇති ඕනෑම සිලින්ඩරයක් ප්‍රතික්ෂේප කරයි.

මීට අමතරව ලිට්‍රෝ අලෙවි කළමනාකාරතුමා විසින්, සිලින්ඩරවල ඇති අකුරුවලට අදාල තවත් තොරතුරු අප වෙත ඉදිරිපත් කළා:

හැඬලයේ විස්තර සටහන් කිරීම සිදුවන්නේ කොපමණ කාලයක සිට ද? ශ්‍රී ලංකාවේ ගෑස් ව්‍යාපාරවල ආරම්භයේ සිටම, ගෑස් සිලින්ඩරවල හැඬලයේ අකුරු සටහන් කිරීම සිදු කෙරුණා. එබැවින් ගෑස් සිලින්ඩර හැඬලයේ අකුරු සඳහන් වීම හෝ නොවීම මත පදනම්ව, සිලින්ඩර පරණ හෝ අලුත් ලෙස බෙදීමට නොහැකියි.

බොඳ වූ අකුරු – ලිට්‍රෝ ගෑස් සමාගම සාමාන්‍යයෙන් හඬලයේ ඇති අකුරුවල බොඳවීම මත පදනම්ව සිලින්ඩර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මක්නිසාද යත්, ගෑස් සිලින්ඩර නැවත පිරවීමේදී නැවත නැවත ඒවාගේ හැඬල මාරු කිරීම ඉතා මිල අධික සංකීර්ණ ක්‍රියාවලියක් නිසායි.

නැවත පිරිවීම්වලදී අකුරු එකතු කිරීම –  සමාගම, සිලින්ඩර නැවත පිරවීමේදී හැඬලයේ මුලින් ඇති අකුරුවලට අලුත් අකුරු එකතු කිරීම සිදු කරන්නේ නැහැ.

තවද, අලෙවි කලමනාකාරතුමා සිලින්ඩර් ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳව සමාගමේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළා.

සෑම වසර 10කට වරක්ම ප්‍රතිස්ථාපනය – ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩරවල නිෂ්පාදිත දිනයේ සිට වසර 10ක් භාවිත කිරීමෙන් පසු සියලුම සිලින්ඩර ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු සිදු කරනවා. 

එහෙත් නිෂ්පාදිත දිනය අපැහැදිලි වන අවස්ථාවලදී සිලින්ඩරය ප්‍රතිස්ථාපනය කිරීමට තීරණය කරනු ලබන්නේ විශේෂිත තාක්ෂණික කණ්ඩායමක් මඟින් පවත්වනු ලබන තක්සේරුවක් ඔස්සේයි.

හඳුනාගැනීමේ නිර්ණායක – සමාගමට අනුව, පාරිභෝගිකයින්ට ගෑස් සිලින්ඩරයේ වර්ණය, ලාංඡනය සහ බර වැනි විශේෂිත ලක්ෂණ හරහා නියම ලිට්‍රෝ ගෑස් සිලින්ඩර හඳුනාගත හැකියි. නිෂ්පාදන සත්‍යතාව සහතික කරගැනීම සඳහා සමාගම විසින් සම්මත කාර්මික පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

එසේම, හැකි සෑම විටම සබන් බුබුළු පරීක්ෂණයක් භාවිතයෙන් ගෑස් සිලින්ඩරය නිසිලෙස මුද්‍රා තබා ඇතිබව තහවුරු කරගැනීමත් වැදගත්. ගෘහස්ත LP ගෑස් සිලින්ඩර භාවිත කරන අතරතුර ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වීඩියෝවක් මෙතනින්.

ලිට්‍රෝ ගෑස් අලෙවි කරන වෙළඳසැල් හිමිකරුවන්ගේ තහවුරු කිරීම:

අප විසින් ලිට්‍රෝ ගෑස් අලෙවි කරන වෙලැඳසැල් වල LP ගෑස් වෙළඳ මහතුන් කිහිපදෙනෙකුද සම්බන්ධ කරගත්තා. නමුත් ඔවුන්ද තහවුරු කළේ ද, සිලින්ඩර හැඬලයේ ඇති අකුරු මත හෝ ඒවාගේ පැහැදිළිබව මත පදනම්ව ලිට්‍රෝ සමාගම විසින් ගෑස් සිලින්ඩර ප්‍රතික්ෂේප කරන ලද සිදුවීමක් සිදුවී නොමැති බවයි.

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් සහ ලිට්‍රෝ ගෑස් අලෙවි කරන වෙළඳ මහතුන්ගෙන් ලබාගත් තොරතුරු සහ නිර්ණායක මත පදනම්ව, ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල හැඬලයේ ඇති අකුරුවල අපැහැදිලි බව මත පදනම්ව, එම සමාගම විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර ප්‍රතික්ෂේප කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාව තහවුරු කිරීමට කිසිඳු සාක්ෂියක් නොමැතියි. සමාගම එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන සිටින අතර ලිට්‍රෝ ගෑස් අලෙවි කරන වෙලැඳසැල් හිමියන් ද පවසන්නේ ඒ ආකාරයේ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවන බවයි.

English Article: False Claims On Litro Gas Cylinder Rejection Criteria Based On Handle Markings!

Avatar

Title:ගෑස් සිලින්ඩර හැඬලයේ ඇති සලකුණු බොදවීම් නිසා ලිට්‍රෝ ආයතනය විසින් ගෑස් සිලින්ඩර ප්‍රතික්ෂේප කරන බවට අසත්‍ය ප්‍රචාර!

Written By: Fact Crescendo Team  

Result: False


Leave a Reply