වෛද්‍යවරුන්ගේ වාහන බලපත්‍ර ගැන සෞඛ්‍ය ඇමතිවරයා සිදුකළ බවට හුවමාරු වන ව්‍යාජ ප්‍රකාශයක්!

False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

රාජ්‍ය සේවකයින්ගේ තීරුබදු සහන වාහන බලපත්‍ර ක්‍රමය නැවත ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ පුළුල් සංවාදයක් රට තුළ පවතින පසුබිමක, “2027 අයවැයෙන් වෛද්‍යවරුන්ගේ පරණ වාහන පර්මිට් වලට තීරුබදු රහිත වාහනයක් ආනයනයට අවසර දෙනවා” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළ ආකාරයට, News 1st ලාංඡනය සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍යාඅසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටින කරුණක් වන බැවින්, මෙම සටහන වෛද්‍ය වෘත්තිකයන් අතර ඉතා වේගයෙන් හුවමාරු විය.

Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.

Fact-Check (කරුණු විමර්ශනය)

අප මුලින්ම නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේ මාධ්‍ය වෙත සිදුකර තිබූ අදහස් දැක්වීම් පරීක්ෂා කළා. එහිදී ඉහත ආකාරයේ සඳහනක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. එමෙන්ම, 2027 අයවැය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර, එහි යෝජනා පිළිබඳ නිල ප්‍රකාශයක් කිසිදු අමාත්‍යවරයෙකු විසින් සිදුකර නොමැත. අයවැය යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

ඡායාරූපයේ පසුබිම

එසේම සමාජ මාධ්‍ය සටහන සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය ඇතුළත් අවස්ථාව වන්නේ ජුනි මස අග, දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද හෘද කැතීටරීකරණ රසායනාගාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාව වන අතර, එහිදී, අයවැය හෝ වාහන බලපත්‍ර සම්බන්ධනේ ප්‍රකාශයක් සිදුකර තිබුනේ නැහැ.

News 1st මගින් මෙවැනි පුවතක් වාර්තා කර නැහැ

අදාළ සටහන සිරස News 1st ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර, එවැනි පුවතක් News 1st නිල වෙබ් අඩවියේ හෝ නිල ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බව අප විසින් තහවුරු කරගත්තා. News 1st ආයතනය ද තහවුරු කළේ, මෙවැනි පුවතක් ඔවුන් විසින් වාර්තා කර නොමැති බවයි.

මීට පෙර ද News 1st ලාංඡනය සහිතව, ව්‍යාජ සටහනක් අමාත්‍ය නලින්ද ද ආදේශ කරමින් හුවමාරු වූ අවස්ථාවේ දක්නට ලැබුණු එම ක්‍රමවේදය ම මෙහිදී ද දැක ගන්නට ලැබෙනවා. ඒ පිළිබඳ අපගේ පෙර කරුණු විමර්ශනය මෙතනින්.

අමාත්‍ය නලින්ද ජයතිස්ස

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ද අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳ විමසීමක් කළ අතර, අමාත්‍යවරයා පැවසුවේ, මෙම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදු කර නොමැති බවත්ය

වාහන බලපත්‍ර ගැන ඇත්ත තත්ත්වය කුමක්ද?

වත්මන් රජයේ නිල ස්ථාවරය මේ දක්වා පවතින්නේ බලපත්‍ර ක්‍රමය නැවත ක්‍රියාත්මක නොකිරීම මත ය. 2026 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කළේ, බලපත්‍ර ලබා නොදෙන බවත්, රට තුළ පවතින “බලපත්‍ර සංස්කෘතිය” අවසන් විය යුතු බවත් ය. ඒ පිළිබඳ විස්තර මෙතනින්.

භාණ්ඩාගාර ආරංචි මාර්ග අනුව, බලපත්‍ර සඳහා සුදුසුකම් ලබා ඇති නිලධාරීන් 23,000ක් පමණ වෙත බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇති අතර, සෑම වසරකම තවත් නිලධාරීන් සුදුසුකම් ලබමින් සිටිති. මෙම තීරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 7ක විදේශ සංචිත ඉලක්කය සමඟ ද සම්බන්ධ බව වාර්තා වී තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්

නිකුත් කළ බලපත්‍ර සංඛ්‍යා (2020 සිට)

වර්ෂයනිකුත් කළ බලපත්‍ර සංඛ්‍යාව
20205,373
20212,972
20223,340
20235,718
20246,062
2025 (වසර මැද)2,043
එකතුව (2020–2025)25,508

මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශ දත්ත, එක් බලපත්‍රයකින් රුපියල් මිලියන 3.6ක් දක්වා බදු සහනයක් ලැබිය හැකි අතර, 2010 සිට නිකුත් කළ බලපත්‍ර හරහා අත්හැරි බදු ආදායම රුපියල් බිලියන 143 ඉක්මවා ඇති බව මුදල් අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුණි.

වෛද්‍ය වෘත්තීය සමිතිවල ස්ථාවරය සහ විරෝධතා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය (SLASA) ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් වසර ගණනාවක් තිස්සේ මෙම බලපත්‍ර ක්‍රමය නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිටිති. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වන්නේ, වැටුප් වර්ධනයක් නොමැති තත්ත්වයක් තුළ මෙය මුදල් නොවන දිරිගැන්වීමක් (non-cash incentive) ලෙස ක්‍රියා කළ බවත්, විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම වැළැක්වීමට එය උපකාරී වූ බවත් ය.

කෙසේවෙතත්, ඇතැම් අවස්ථාවල දී නිසි ප්‍රවාහන සහ වාහන නැවැත්වීමේ පහසුකම් සැපයුවහොත් එවැනි බලපත්‍ර අවශ්‍ය නොවන බවත් වෛද්‍ය වෘත්තියයන්, ඇතැම් අවස්ථාවල දී පවසා තිබීම ද නිසා   තුළ ද තනි ස්ථාවරයක් නොමැති, විවාදාත්මක කරුණක් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

අප මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විමසීමක් කළ අතර එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බව ත්, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෑතකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වූ බව ත්, නමුත්, මෙලෙසින් තීරුබදු රහිත වාහකයක් වෛද්‍යවරුන්ට ලබා දෙන බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි. 

වෛද්‍යවරුන් මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ රඳවා තබා ගැනීම සඳහා වැටුප් නොවන දිරිගැන්වීමක් ලෙස අවම වශයෙන් අර්ධ බදු සහනයක් එනම්, 30% ක බදු සහනයක් හෝ ලබා දීම අත්‍යවශ්‍ය බව GMOA සංගමය මතය වන අතර වෛද්‍යවරුන් සඳහා වාහනයක් යනු තත්ත්ව සංකේතයක් නොව, හදිසි ඇමතුම් (On-call) සේවාවන් සඳහා අත්‍යවශ්‍ය මෙහෙයුම් අවශ්‍යතාවයක් බවයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ.

ඉදිරියේදී අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

•  2027 අයවැය මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින්, එහි යෝජනා පිළිබඳ කිසිදු නිල තහවුරු කිරීමක් නොමැත. අයවැය සාමාන්‍යයෙන් ඉදිරිපත් වන්නේ වර්ෂය අවසානයේ ය.

• 2027 වර්ෂය සඳහා වන මූල්‍ය උපාය මාර්ගික ප්‍රකාශය (Fiscal Strategy Statement 2027) 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වන වගන්තිය යටතේ භාණ්ඩාගාරය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි ද බලපත්‍ර නැවත ලබාදීමේ යෝජනාවක් සඳහන් වී නොමැත.

•  වාහන ආනයනය විදේශ සංචිතවලට ඇති කරන බලපෑම ප්‍රධාන සාධකයකි. මහ බැංකු දත්ත අනුව, 2025 වසරේ පළමු මාස අටේදී පමණක් වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 918ක් පමණ වැය වී ඇති අතර, අගෝස්තු මාසයේ පමණක් ඩොලර් මිලියන 249ක වාර්තාගත අගයක් වාර්තා විය.

•  එබැවින්, බලපත්‍ර ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමක් සිදුවන්නේ නම්, එය IMF වැඩසටහනේ සංචිත ඉලක්ක සහ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතා කොන්දේසි සමඟ ගැළපෙන පරිදි විය යුතුය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

News 1st ලාංඡනය සහිතව, “2027 අයවැයෙන් වෛද්‍යවරුන්ගේ පරණ වාහන පර්මිට් වලට තීරුබදු රහිත වාහනයක් ආනයනයට අවසර දෙනවා” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකළ බව හඟවමින් හුවමාරු වන්නේ ව්‍යාජ සටහනකි. අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බව අප වෙත තහවුරු කළ අතර, News 1st ආයතනය ද එවැනි පුවතක් වාර්තා කර නොමැත. රජයේ ව්‍ද්‍යෛ නිලධාරීන්ගේ සංගමය ද, තහවුරු ක‌ළේ, මෙම පුවත අසත්‍ය බවයි.

 2027 අයවැය මෙතෙක් ඉදිරිපත් කර නොමැති අතර, වත්මන් රජයේ දැනට ප්‍රකාශිත ස්ථාවරය වන්නේ බලපත්‍ර ක්‍රමය නැවත ක්‍රියාත්මක නොකිරීම ය.

Result Stamp

Title: වෛද්‍යවරුන්ගේ වාහන බලපත්‍ර ගැන සෞඛ්‍ය ඇමතිවරයා සිදුකළ බවට හුවමාරු වන ව්‍යාජ ප්‍රකාශයක්!

Fact Check By: Fact Crescendo Team

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *