දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මිනිසුන් සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. කෙසේ නමුත්, ලෝකයේ ඇතැම් මිනිසුන් නිර්මාංශික ආහාර රටාවක් අනුගමනය කරන අතර, ආසන්න වශයෙන් ලෝකයේ ජනගහනයෙන් 70% - 75%ක් අතර ප්‍රතිශතයක් නිර්මාංශික නොවන මිනිසුන් බවට සැලකෙනවා. මේ අතරිනුත් පිරිසක් විවිධ රුචිකත්ව සහ ප්‍රතිපත්ති පවත්වාගෙන යනවා. ඇතැමුන් ඇතැම් මස්වර්ග ආහාරයට ගත්තත් ඇතැම් මස්වර්ග ප්‍රතික්ෂේප කරනවා.

එමෙන්ම මස්වල විශේෂිත කොටස් ආහාරයට ගැනීමට විශේෂ රුචිකත්වයන් දක්වන පිරිසත් සිටිනවා. එමෙන්ම මෙලෙස සාමාන්‍ය මස්වලට වඩා පීකුදු වැනි විශේෂිත කොටස් වැඩි ගුණාත්මක බවකින් යුත් බවත් විශ්වාස කෙරෙනවා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු කරුණු ඇතුළත් සටහන් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

සත්ත්වයින්ගේ පීකුදු විෂ සහිත නිසා එ්වා ආහාරයට ගැනීම මිනිස් සිරුරට අහිතකර වන බව ත්, මෙය විද්‍යාගාර පරීක්ෂණ ඔස්සේ සනාථ කර ඇති බවත් සඳහන් කරමින් ෆේස්බුක් සටහනක් පළ වූයේ මෙලෙසින්.

“පීකුදු කන්නන්ට නිවන් සුව..

සැමගේම නීරෝගී බව පතා ලියමි..

("විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි")

බොහෝ දෙනෙකු මස්මාංශ මිලදීගැනීමට වෙළදසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය. සවි ශක්තිමත් බව, ලැබෙතියි සිතා කාට නැතත් දරුවන් ට අනිවාර්යයෙන් ම කවන්නේද පීකුදු ය..

ඇතැමුන් කන්නේ පීකුදු පමණකි..

පීකුදු යනු අක්මාවය.. (සරල සිංහලෙන් කැවුත්තය..)

ඒ පීකුදු යනු මස්වල ඇති ගුණදායකම කොටස යැයි සිතන නිසාය. එහෙත් තත්වය එයට වෙනස් ය..

ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදටය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්භන්ධ පරීක්ෂණ කටයුත්තකි..

එහිදී අක්මාවේ කාර්‍යභාරය සෙවීම අනිවාර්යයෙන්ම කලයුතු වන්නේ ඕනෑම සත්ත්වයකුගේ රුධිරය පිරිසිදු වන්නේ අක්මාව හරහා යෑමෙන් වන බැවිනි.

ආහාර ද්‍රව්‍ය හා ජලය හරහා විත් රුධිරයේ දිය වී ඇති විවිධ පෝෂක මෙන්ම විෂ සංයෝගද, අක්මාවෙන් උරාගන්නා අතර...

විෂ සංයෝග වල විෂ නසන කාර්‍යද අක්මාවෙන් සිදු කරයි..

එහෙත් අති භයානක, අති විෂ, පිලිකා කාරක වන බැරලෝහ අක්මාවෙන් අවශෝෂණය කලද ඒවා බිද හෙලීමට හෝ සම්පූර්ණයෙන්ම දේහයෙන් පිට කිරීමට අක්මාව අපොහොසත්‍ ය.

ජීවිත කාලය තුල රුධිරයට ඇතුලු වන සියලුම බැරලෝහ අක්මාව තුල සාන්ද්‍රනය වෙ..(එකතු වේ)..

බැරලෝහ යනු අනිවාර්යය පිළිකාකාරකයකි. වකුගඩු රෝගද මේ නිසා ඇතිවේ.

අවසන උරුමය අකාලයේම නීරස වූ මරණයම පමණි.

මා පෙර කී ආචාර්යවරයා වෙලදපොලේ ඇති මාංශ වල පීකුදු ගෙන ඒවා විවිධ ආකාරයෙන් පිස (උයාගෙන) ඒවාගේ ඇති බැරලෝහ සාන්ද්‍රණයේ ප්‍රාමාණික වෙනසක් වේදැ යි යන්න පිළිබදව පරීක්ෂණ සිදු කරන ලදී..

එහිදී සාම්ප්‍රදායික ඉහුම් පිහුම් වල ආකාරයට විවිධ කුලුබඩු, විස නසන අංග යොදා පරීක්ෂණ කල අතර එහිදී සොයාගනු ලැබූයේ භයානක දෙයකි..

එනම් කෙසේ පිසුවත් පීකුදු වල ඇති බැරලෝහ ප්‍රමාණයේ සැලකිවයුතු වෙනසක් සිදු නොවන අතර , මස් මාංශ වල විෂ වැඩිම අවයවය, බැරලෝහ සාන්ද්‍රනය වැඩිම අවයවය වන්නෙ පීකුදු ය. ඒවා ආහාර කොට ගත් විට එහි වූ බැරලෝහ අපගේ ශරීරයට ඇතුලු වී අපගේ අක්මාවේද තවත් කොටස් වකුගඩු වලද තැම්පත් වේ..

අප්‍රතිවර්තී ලෙස...

පුදුමයට හේතුවක් නැත, සත්ත්වයන් එදිනෙදා ගනු ලබන ආහාර එහි ඇති පෝෂක හා වස විසද සමග රුධිරයට උරාගෙන අක්මාව හරහා ගෙනගොස් පිරිසිදු කර බැරලෝහාධිය අක්මාවේ තැන්පත් වේ..

එය අපගේ අක්මාවටත් පොදුය.

වත්මනෙහි පීකුදු වල බැරලෝහ තැන්පත් නොවූ සත්ත්වයන් නොමැති තරම් ය.

ඒ අනෙකක් නිසා නොව අපගේම නොමනා හැසිරීම් රටා හා අක්‍රමවත් වැඩ පිළිවෙල නිසාමය. මේ සොයාගැනීම අප සමාජයට කෙතරම් සේවයක්දැයි සලකා ප්‍රසිද්ධ පුවත්පතකද පල විය. ගත් වූයේ ටික දිනකි .

විවිධ අංශයන්ගෙන් ආ මරණ තර්ජන හමුවේ ආචාර්යවරයාට වූයේ තම ජීවිතය ගැන සිතා නිහඩ වීමටය. තම පරීක්ෂණය අතහැරීමටය..

ලිපි මාලාවක් ලෙස පලවීමට තිබූ පුවත්පත් ලිපියද එයින්ම ලොප් වී ගිය අතර මස් මාංශ අලෙවි කරුවන්ගේද, ප්‍රමුඛ පෙලේ වෙළදසැල්වලින්ද, පාලකයන්ගේ අතපෙවීම් වල ඇති බලවත්කම නිසාදෝ එම අගනා සොයාගැනීම කිසිවෙකු අතර ප්‍රකට නොවිනි.

ආචාර්යවරයා ගෙ සමාජ සේවාවේ ඒ අනගි බලාපොරොත්තුව සුසුම් පොදක් ව වා තලයට මුසු වූ අතර එම සිදුවීම දන්නෝ දනිත්...

කෙසේ වෙතත් මෙය කියවන ඔබද ඒ පිළිබදව නොදත් අය වේ නම් මෙමගින් හෝ දැන ඔබගේ ලබැදියන් මෙම ගරිල්ලා මාරයාගෙන් සුරකින්න...”

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

ඉහත සටහන ට දක්වා පරිශීලකයින් දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

2020 වසරේ සිට මෙම කරුණු ඇතුළත් ෆේස්බුක් සටහන් වරින් වර සංසරණය වී තිබුණා.

“මීට සමාන තවත් සටහනක් මීට පෙරත් මෑතකදී ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණා.

😲කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම නිසා ඇතිවන භයානක රෝග 5 ක්😱

ලංකාවේ ද මේ සඳහා පරීක්ෂණ සිදු කළ අතර එමඟින් ද තහවුරු වී ඇත්තේ කුකුල් මස් වල හා කුකුළු පීකුදු වල ශරීරයට අහිතකර විෂ රසායන ද්‍රව්‍ය අඩංගු වන බවයි.

මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා කුකුළු ගොවි පොළවල් තුනක කුකුළන්ගේ පීකුදු පරීක්ෂණය සඳහා යොදාගෙන තිබේ. එනම් මෙම ගොවිපලවල් වලින් එක් ගොවිපල කින් සපයාගත් පීකුදු වල ආසනික් බැර ලෝහ අඩංගු වන බව තහවුරු වී තිබේ. එහිදී වැඩි දුරටත් සිදුකළ පරීක්ෂණ ඔස්සේ කුකුළු පීකුදු වල බැර ලෝහ අඩංගු වීමට බලපාන හේතු විමර්ශනය කර තිබේ. එනම් ඒ අතර කුකුළන්ට ලබා දෙන ආහාර සකස් කිරීම සඳහා ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය යොදා ගැනීම. එනම් කුකුල් කෑම වල ආසනික් හා විවිධ බැරල ලෝහ අඩංගු වී තිබේ.

කුකුල් කෑම වල අඩංගු බවට තහවුරු කර ගෙන ඇති ආසනික් හා විවිධ බැරල ලෝහ 👇

🫣කැල්සියම්(cd)

🫣ආසනික්(As)

🫣ඊයම්(pb)

🫣වර්ධක හෝමෝන දීම

🫣කුකුළන්ගේ වැඩිම වර්ධනය කරගැනීමට කොපර් ,මැග්නීසියම් වැනි ඛනිජ ද්‍රව්‍ය බහුලව යොදා ගැනීම.

🫣කුකුළන් අපිරිසුදු ජලය පානය කිරීම.

🫣අපිරිසිදු කුකුල් පාලනය

🫣කුකුළන්ට පවතින විටමින් ඌනතා සහ ලබා දෙන විවිධ විටමින් වර්ග

🫣විවිධ රෝග සඳහා කුකුළන්ට දෙන ඖෂධ මිනිස් සිරුරට අහිතකර වීම

මේ ආදී වූ බැර ලෝහ අඩංගු කුකුළු පීකුදු ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග ඇති විය හැකිය. එනම් ඒ අත

🔴 ස්නායු රෝග

🔴 අස්ථි ආබාධ

🔴 පිළිකා

🔴 අක්මා රෝග

🔴 දියවැඩියාව

මේ ආදී වූ රෝග ගණනාවක් ඇති වීමට බැර ලෝහ අඩංගු කුකුළු මස් හා පීකුදු ආහාරයට ගැනීම හේතුවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

එනම් නිතර නිතර කුකුළු මස් හා පීකුදු ආහාරයට ගැනීමෙන් මෙම රෝග ඇතිවීමේ වැඩි අවධානයක්‌ තිබේ.

මේ නිසා හැකි තරම් කුකුල් පීකුදු ආහාරයට ගැනීම පාලනය කරගත යුතුය. එමෙන්ම ගැබිනි මව්වරුන් කුකුළු මස් හා පීකුදු ආහාරයට ගැනීමසුදුසු නොවේ. පීකුදු ආහාරයට ගන්නේ නම් 👇

කෘතිම ඖෂධ හෝමෝන නොයොදා ඇති කරන සතුන්ගේ කුකුළු පීකුදු ආහාරයට ගැනීම ගුණදායකය.

එමෙන්ම ගොවිපලවල් වල තත්ව පාලනය කිරීම ක්‍රමවත් ව සිදු කළ යුතුය.

ගොවිපොලවල් හැකි සෑම විටකම පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතුය.

මේ ආදී වශයෙන් කුකුල් පීකුදු ආහාරයට ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.”

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් අප සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

විවිධ මස්වර්ගවල පීකුදු අතිශයින්ම ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවතින ආහාරයක් ලෙස සැලකෙනවා. ප්‍රෝටීන් ඇතුළු විවීධ පෝෂ්‍ය පදාර්ථ මෙහි ඉහළ ප්‍රමාණවලින් අඩංගු වෙනවා. අත්‍යවශ්‍ය විටමින් සහ ඛණිජලවණ ලබාගැනීම සඳහාත් මෙය ඉතා හොඳ මූලාශ්‍රයක්. ඒ අතරින් ප්‍රධාන වන්නේ විටමින් A, D, B කාණ්ඩයේ ඇතැම් විටමින් සහ යකඩ යන විටමින් සහ ඛණිජ ලවණයි. මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවන මේවා සිරුරට ලබා ගැනීමට පහසු ආකාරයක් වන්නේ පීකුදු ආහාරයට ගැනීමයි. මේ පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්.

ආහාරයක් ලෙස යොදා ගන්නා විට සාමාන්‍ය ව්‍යවහාරයේදී පීකුදු ලෙස හැඳින්වුණත්, මෙය ශරීරයේ ඇති අක්මාව යන අවයවයයි. මෙය ක්ෂීරපායීන්ගේ ආහාර මාර්ගයේ ඇති කොටසක් වන අතර, ශරීරයේ විශාලතම ග්‍රන්ථියයි.

අක්මාව සත්ත්ව සිරුරේ වැදගත් කාර්‍යන් රැසක් ඉටු කරනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී පිත් යුෂය නිශ්පාදනයට මෙය දායකත්වය ලබා දෙනවා. ශරීරයේ ශක්තිය සඳහා වැදගත් ග්ලයිකෝජන් ගබඩා කිරීමත් අක්මාව ඔස්සේ සිදු වෙනවා. කෙසේ නමුත්, ඉහත පලකිරීම්වල සඳහන් වන ආකාරයට සත්ත්ව ශරීරයේ හානිකර ද්‍රව්‍ය සහ විෂ ආදිය ඉවත් කිරීමටද අක්මාව කටයුතු කරනවා. රුධිරයේ ඇති විවිධ රසායනික ද්‍රව්‍ය පාලනය කිරීමටත් මෙය කටයුතු කරනවා.

ඉහත සඳහන් පරිදි අක්මාව මඟින් විෂ සහ රසායනික ද්‍රව්‍ය ආදිය ඉවත් කිරීමට කටයුතු කරන විෂහරණ අවයවයක් ලෙස හඳුන්වාදිය හැකි වුණත්, අක්මාව තුළ විෂ ගබඩා කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට සිදුවන්නේ විෂ අක්මාව තුළදී යම් ක්‍රියාවලියකට බඳුන් කර, විෂ ද්‍රව්‍ය වෙනත් යම් යම් ද්‍රව්‍ය බවට බිඳ හෙලා බැහැර කිරීමයි. මෙම බිඳහෙලීමේ ක්‍රියාවලියට අවශ්‍ය වන පෝෂ්‍ය මෙම ක්‍රියාවලිය පිළිබඳව වීඩියෝවක් මෙතනින්.

දෙවන පලකිරීමේදී පෙන්වාදෙන අන්දමට ගොවිපොළවල මස් නිශ්පාදනයේදී ඒවාගේ පීකුදුවල අඩංගු බැර ලෝහ මට්ටක තරමක් ඉහළ අගයක පවතින බව සමීක්ෂණ ඔස්සේ පෙන්වා දෙනවා.

එපමණක් නොවෙයි, විවිධ සත්ත්ව විශේෂවල, ඔවුන්ගේ වයස්, ප්‍රමාණය වැනි විවිධ හේතු මත ඔවුන්ගේ අක්මාවල අන්තර්ගත වන ලෝහ අයන ප්‍රමාණය වෙනස් වනවා.

විවිධ සත්ත්ව විශේෂ මාංශ පදනම් කරගෙන සිදු කෙරුණු විවිධ විවිධ විදෙස් සමීක්ෂණ හරහා පෙන්වා දී ඇත්තේ සත්ත්ව මාංශවල වැඩිම බැර ලෝහ ප්‍රමාණයක් අඩංගු වන්නේ අක්මාව තුළ බවයි. කෙසේ නමුත් මෙය සාමාන්‍ය පරිභෝජන තත්ත්ව යටතේ මිනිසුන් හට අවදානමක් ඇති නොවන බව සමහර විදෙස් සමීක්ෂණ වලින් පෙන්වා දෙනවා. එවැනි සමීක්ෂණයක් මෙතනින්.

නමුත් විදෙස් රටවල සිදුකෙරුණු තවත් සමහර පරීක්ෂණවලින් පෙන්වා දෙන්නේ ඇතැම් අවස්ථාවලදී පීකුදු වල අඩංගු බැරලෝහ ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත්  නියාමන ආයතනවලින් දක්වා ඇති සීමාවන් ඉක්මවා යමින් සිරුරට අහිතකර සීමාවල පවතින බවයි.එවැනි පර්යේෂණ දෙකක් පිළිබද වාර්තා මෙතනින් සහ මෙතනින්

වයඹ විශ්ව විද්‍යාලයේ, ව්‍යවහාරික පෝෂණවේදය පිළිබඳව ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය, ආචාර්‍ය ආනන්ද චන්ද්‍රසේකර

මේ පිළිබඳව වයඹ විශ්ව විද්‍යාලයේ, ව්‍යවහාරික පෝෂණවේදය පිළිබඳව ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය, ආචාර්‍ය ආනන්ද චන්ද්‍රසේකර මහතාගෙන් අප විමසීමක් සිදු කළා. මෙහිදී එතුමා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ පවතින සත්ත්ව පීකුදුවල අඩංගු රසායනික ද්‍රව්‍ය සහ ඒවාගේ ගුණාත්මක භාවය පිළිබඳව තමන් දන්නා ආකාරයට මෙතෙක්  පර්‍යේෂණයක් සිදු වී නොමැති බවයි. සාමාන්‍යයෙන් බැරලෝහ පැවතීමේ හැකියාවක් තිබිය හැකි බව එතුමා ප්‍රකාශ කළා. නමුත් එතුමා ප්‍රකාශ කළේ තවමත් ලොව පුරා සිදු වූ  පර්‍යේෂණවලදී වැඩි වශයෙන් සොයාගෙන ඇත්තේ සත්ත්ව අක්මාවල පවතින බැරලෝහ ප්‍රමාණය මිනිසාට දරාගත හැකි ප්‍රමාණය (tolerance) ඉක්මවා නොයන බවයි.

කෙසේ නමුත් එතුමා තවදුරටත් පැහැදිළි කරමින් ප්‍රකාශ කළේ, පීකුදු ආහාරයට ගැනීමට ශරීරයට අහිතකර බවට හෝ නිතරම ආහාරයට ගැනීම සුදුසු බවට තහවුරු කිරීමක් කිසිදු ස්ථානයක සිදු නොවී ඇති බවයි. එමෙන්ම, ශ්‍රී ලංකාව වැනි රටවල මිනිසුන් දිනපතාම හෝ නිරන්තරව තම ආහාර වේලට පීකුදු වැනි දේවල් එකතු කිරීම සිදු කරන්නේ නැති බවත් එතුමා පෙන්වා දුන්නා. කලාතුරකින් තම ආහාර වේලට සත්ත්ව අක්මා එක් කරගැනීමෙන් හානියක් ඇති බව පැවසිය නොහැකි බව එතුමා පැවසුවා. නමුත් දිනපතාම පාහේ මේවා ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට එතරම් සුදුසු නැති බවත් එතුමා පෙන්වා දුන්නා.

මීට අමතරව පීකුදු ආහාරයට ගැනීමෙන් යම් යම් අපහසුතා උත්ගත වීමට අවකාශය පවතිනවා.

  1. විටමින් A - පීකුදුවල අධික විටමින් A ප්‍රමාණයක් අඩංගුයි. සාමාන්‍යයෙන් මෙය ශරීරයට හිතකර වුවත්, අධික වශයෙන් විටමින් A ආහාරයට ගැනීම හේතුවෙන් විටමින් A විෂවීම් තත්ත්ව ඇතිවිය හැකියි.
  2. තඹ හෙවත් කොපර් - කොපර් යනු කුඩා සාන්ද්‍රණවලින් පමණක් ශරීරයේ තිබෙන ඛණිජ ලවණයි. මේවාද පීකුදුවල අධික වශයෙන් ඇති නිසා අධික පීකුදු පරිභෝජනය කොපර් විෂවීම් තත්ත්ව ඇතිකිරීමට ඉඩ පවතිනවා. මෙය වකුගඩු සහ හෘද අක්‍රමිකතා, මොලයේ සහ අක්මාවල හානි ආදිය ඇති කිරීමට ඉඩ තිබෙනවා.
  3. ක්ෂුද්‍රජීවීන් - මස් ආනයනය කරන විටදී ඒවාගේ ඇති පීකුදු රටවල් හරහා මිනිස් සෞඛ්‍ය සඳහා ගැටළු ඇති කරන සාධක ගෙනයාමට හොඳ මාධ්‍යක් ලෙස ක්‍රියා කරනවා. හරක් මස් අක්මාව බැක්ටීරියා වර්ධනය සඳහා ඉතාමත් හොඳ මාධ්‍යක් ලෙස ක්‍රියා කරනවා. මෙය ඔස්සේ මිනිස් සිරුරේ රෝග ඇති කරන බැක්ටීරියා වගා කෙරෙමින් පැතිරීම මෙවැනි පීකුදු ආහාරයට ගැනීමේදී සිදු විය හැකියි. ඒ පිළිබඳව සමීක්ෂණ වාර්තාව මෙතනින්.

මේ අනුව පෙනී යන්නේ සත්‍ය වශයෙන්ම පීකුදු යනු ඉහළ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමානයක් අන්තර්ගත ආහාරයක් වුවත් එය ආහාරයට ගැනීම සීමා සහිතව නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දක්වා ඇති ආරක්ෂිත බැර ලෝහ මට්ටම්වලට වඩා මිනිස් සිරුරේ බැරලෝහ මට්ටම් ඉහළ යමින් සෞඛ්‍යට අර්බුධ ඇතිවිය හැකි බවයි. එමෙන්ම විටමින් A වැනි පෝෂ්‍ය පදාර්ථ පවා අසීමාන්තිකව ශරීරගත වීම අහිතකර විය හැකි බවත් මෙයින් පෙන්වා දෙනවා.

එමෙන්ම පීකුදු මිලදී ගැනීමේදී ඒවාගේ ගුණාත්මක භාවය බව පිළිබඳව සැලකිලිමත්වීමත් ඉතාම වැදගත්. නිසි පරිදි, අහිතකර ද්‍රව්‍ය විනාශවන සේ මේවා නිසි පරිදි පිසගැනීම පිළිබඳවත් අවදානය යොමු කළ යුතුයි.

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අක්මාව සිරුරේ විෂ ඉවත් කළත්, එය විෂ කැපී පෙනෙන ලෙස විෂ ගබඩා කිරීමක් සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදු කරන්නේ නැහැ. ඒ නිසා සත්ත්ව පීකුදු වල විෂ ගබඩා වී ඇති සාධන යථාර්තයෙන් තරමක් දුරස්.

නමුත් එහි යම් ප්‍රමාණ වලින් කොපර් වැනි බැර ලෝහ අඩංගු වන අතර, ඒවා නිසි ප්‍රමාණයට වඩා ශරීරගත වීම හානිදායක විය හැකියි. සාමාන්‍ය එක් වතාවක් ආහාරයට ගැනීමේදී ශරීරගත වන බැර ලෝහ මට්ටම ශරීරයට අහිතකර නොවූවත්, අධික ලෙස පීකුදු පරිභෝජනය ඔස්සේ ශරීරගතවල බැරලෝහ මට්ටම මිනිස් සිරුරට දරාගත හැකි මට්ටම ඉක්මවිය හැකියි. එමෙන්ම විටමින් A වැනි පෝෂක අධිසාන්ද්‍රවලින් ශරීරගත වීමත් හානිදායක විය හැකියි. මීට අමතරව, පීකුදුවල ඇති ඉහළ පෝෂ්‍ය ගුණ නිස බැක්ටීරියා ඒ මත වගා වීමේ හැකියාව ඉහලයි.

මේ නිසා පීකුදු ආහාරයට ගැනීමේදී ඒවා ප්‍රමාණය ඉක්මවා, විශාල ලෙස ආහාරයට ගැනීමෙන් වැලකී, සීමාවක් සහිතව ආහාරයට ගැනීම වැදගත්. ඊට අමතරව ඉහළ ගුණාත්මක භාවයකින් යුතු පීකුදු සහ මස් තෝරාගැනීමටත් සැලකිළිමත් විය යුතුයි.

Avatar

Title:පීකුදු (සත්ත්ව අක්මා) ආහාරයට ගැනීම සිරුරට විෂ සහිත විය හැකිද?

Written By: Fact Crescendo Team

Result: Insight