දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

බහුවාර්ගික සහ බහු-ආගමික රටක් වන ශ්‍රී ලංකාවේ, සියවස් ගණනාවක් තිස්සේ ජන කණ්ඩායම් කිහිපයක් සහජීවනයෙන් ජීවත්වෙනවා. කෙසේවෙතත්, අතීතය දෙස බලද්දී, ඇතැම් අවස්තාවලදී මෙම සහජීවනය, තර්ජනයට ලක්වී තිබෙනවා. මේ අතරින්, රටේ ප්‍රගතිය සඳහා විශාල බලපෑමක් එල්ල කරමින්, වසර 30ක් පුරාවට රට තුළ පැවති සිංහල සහ දෙමළ ජනවාර්ගික අර්බුධය දැක්විය හැකියි.

මෙයින් සිදුවූ හානිය පිළිසකර කරමින් ජාතින් අතර සහජීවනය වර්ධනය කරනු වෙනුවට, අදටත් රටේ ඇතැම් කොටස් විසින් නොමඟ යවන සුළු සහ භේද ඇතිකරවනසුළු සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු කරගන්නවා. ජාතික භාෂා ප්‍රතිපත්තිය වැනි කරුණු මේ සඳහා නිතර උපයෝගී කරගන්නවා.

අපගේ මෙවර විමර්ෂණයෙන් අවධානය යොමු කෙරෙන්නේ මෙම වැරදි වැටහීම් පසුපස ඇති සත්‍ය කරුණු හෙලිකිරීම ඔස්සේ දැනුවත් මහජන කතිකාවතක් ඇතිකිරීමටයි.

සමාජ මාධ්‍ය සටහන්:

උතුරු සහ නැගෙනහිර පළාත්වල පරිපාලන සහ අධිකරණ ක්‍රියා පටිපාටිවලදී, ඉදිරියේදී දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිත කරන ලෙස මෑතකදී තීරණය කර ඇති බව හඟවමින්  සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා.

FB | Archived FB

මේ ඡායාරූපය WhatsApp පරිශීලකයන් අතරත් බොහෝ සේ හුවමාරු වී තිබුණා.

කෙසේනමුත් අපගේ විමර්ෂණයට අනුව ඉහත සටහන් මඟින් හඟවන්නේ නොමඟ යවන සුළු අර්ථකථනයක් බව අනාවරණය වූ අතර, මෙම සටහන්හි දැක්වෙන කරුණුවලට අදාළ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ඇත්ත වශයෙන්ම සිදුව තිබුනේ මෑතක දී නොව, 1988 වසරේදී යි.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔස්සේ මෙම කරුණු විස්තරාත්මකව විශ්ලේෂණය කිරීමට පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV පරිච්ඡේදයේ (18-25 වගන්ති) ශ්‍රී ලංකාවේ භාවිතා විය යුතු භාෂ විධිවිධාන මාලාව ඇතුළත් වී තිබෙනවා. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV පරිච්ඡේදය 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV පරිච්ඡේදයේ 18 (1) සහ (2) ව්‍යවස්ථාවට අනුව සිංහල සහ දෙමළ භාෂා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙස නම් කර තිබෙනවා. (1987, 13වන සංශෝධනයෙන් පසුව දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස මීට ඇතුළත් කර තිබෙනවා.) 

එසේම, ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ සිංහල සහ දෙමළ බව, 19වන ව්‍යවස්ථාවේ සඳහන් වනවා. මෙය ශ්‍රී ලංකාවේ මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (1978) සිටම පැවත එන්නක්.

ඉහත සමාජ මාධ්‍ය පලකිරීම් මඟින් ප්‍රශ්න කිරීමට ලක් කර තිබු, පරිපාලනය සහ අධිකරණ ක්‍රියා පටිපාටි සඳහා භාෂා හැසිරවීම සම්බන්ධව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22, 23 සහ 24 වගන්තිවල සඳහන් වෙනවා.

1988 වසරේ සිදුවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය): 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා සම්බන්ධ ව්‍යවස්ථාමය රාමුව කිහිප වතාවක් සංශෝධනය කෙරුණු අතර 1988 වසරේ සිදුවූ 16වන ව්‍යවස්ථා සංශෝධනයේ දී 22, 23 සහ 24 වගන්තිවල යම් යම් වෙනස්කම් ඇති වුණා.

IVවන පරිච්ඡේදය: 22 ව්‍යවස්ථාව

22වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව පුරා පරිපාලන භාෂාවන් ලෙස පැවතිය යුත්තේ සිංහල සහ දෙමළ භාෂා බවයි. උතුරු සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ අනෙකුත් සියළුම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු බව මෙහිදී පෙන්වා දී තිබෙනවා. එසේම උතුර සහ නැගෙනහිර පළාත් සඳහා, රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ නෙකුත් ක්‍රියාකාරකම්වලදී දෙමළ භාෂාව භාවිත කළ යුතු බවත් මෙහි සඳහන් වනවා.

IVවන පරිච්ඡේදය: 23 වන ව්‍යවස්ථාව

23(1) ව්‍යවස්ථාවට අනුව, සියළුම නීති සහ අනුනීති සැදීමද, පළකිරීමද යන සියල්ල සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම විය යුතු අතර, ඒවා සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක්ද සිදු කර තැබිය යුතුයි.

IV වන පරිච්ඡේදය: 24 වන ව්‍යවස්ථාව

24(1) ව්‍යවස්ථාවට අනුව, ශ්‍රී ලංකාව පුරා අධිකරණවල භාෂා, සිංහල සහ දෙමළ භාෂා විය යුතුයි. එසේම දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන යම් ප්‍රදේශයක හැර (උතුරු සහ නැගෙනහිර) ශ්‍රී ලංකාවේ ඉතිරි සියළුම ප්‍රදේශවල පිහිටි අධිකරණවල සිංහල භාෂාව අධිකරණ භාෂාව ලෙස භාවිතා කළ යුතුය.

මේ අනුව, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුව ශ්‍රී ලංකාවේ ජාතික සහ රාජ්‍ය භාෂා ලෙස සිංහල සහ දෙමළ යන භාෂා දෙකටම සමාන ස්ථානයක් ලැබී තිබෙනවා.

එසේම, ශ්‍රී ලංකාවේ පරිපාලනයේ, නීති පැනවීමේ සහ අධිකරණයේ භාෂා ලෙස ද සිංහල සහ දෙමළ භාෂා දෙකම භාවිතා වන අතර, ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව (link language) ලෙස භාවිත වෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය ආයතනවල පරිපාලන කටයුතු සඳහා මෙන්ම එම ප්‍රදේශවල අධිකරණයන්හි භාෂාව ලෙස දෙමළ භාෂාව භාවිත කිරීම තීරණය කර, ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ මැතක දී නොව, මීට වසර 35කට පෙර සිදුවූ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16වන සංශෝධනය (1988) හරහායි.

රාජ්‍ය භාෂා අංශයේ ලේකම්වරයාගේ තහවුරු කිරීම:

ඉහත සඳහන් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති භාෂා ප්‍රතිපාදනවලට අමතරව යම් වෙනස්කමක් මෑතකාලීනව සිදුවී ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ, රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ හා ජාතික භාෂා අංශයේ ලේකම්, අනුරාධ විජේකෝන් මහතාව සම්බන්ධ කර ගත්තා. එතුමා තහවුරු කළේ, පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුකුලව, දැනට දශක ගණනාවක් තිස්සේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල පරිපාලන සහ අධිකරණ කටයුතු දෙමළ භාෂාවෙන් සිදුවි ඇති බවයි.

සමාජ මාධ්‍ය සටහන්වලට හේතු වූ පුවරුව:

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවරුවේ ඡායාරුපය, භාෂා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) හා සම්බන්ධ එකකි. NLEAP යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා සහාය වීම ඉලක්ක කරගත් කැනේඩියානු අරමුදල් ඔස්සේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක්. ඉහත සමාජ මාධ්‍ය සටහන්වල ඡායාරූපය ලෙස දැක්වුණු NLEAP විසින් සමුළුවක දී ප්‍රදර්ශනය කරන ලද පුවරුවේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ පවතින භාෂා ප්‍රතිපත්තියේ මෑතකාලීන වෙනස් කිරීමක් නොවේ.

Follow us and stay up to date with our latest fact checks.

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය (Conclusion):

නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහන් මගින් හඟවන ලෙස, ශ්‍රී ලංකා රජය විසින් උතුරු සහ නැගෙනහිර පළාත්වල පරිපාලන සහ අධිකරණ භාෂාව වෙනස් කිරීම සඳහා කිසිදු පියවරක් මෑතකාලීනව ලබා ගෙන නැහැ.

ශ්‍රී ලංකාවේ භාවිතා විය යුතු භාෂාවන්ට අදාලව 1988 වසරේ සිදුවූ ව්‍යවස්ථා සංශෝධිනයට අනුව, දැනට දශක ගණනාවක සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල පරිපාලන සහ අධිකරණ භාෂාව ලෙස දෙමළ භාෂාව භාවිත වෙනවා.

Read in English: Was Tamil Recently Introduced As The Language Of Courts And Administration In the North & East? Find Out The Truth…

Avatar

Title:මෑතක සිට උතුරු නැගෙනහිර අධිකරණවල සහ පරිපාලනයේ භාෂාව දෙමළ භාෂාව භාවිත කරන ලෙස නීතියක් ඇතිවුණාද? ඇත්ත දැනගන්න...

Written By: Fact Crescendo Team

Result: Misleading