දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ වන විට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ අනුව මේ වන විට රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම උදෙසා රජය විසින් බදු ඉහළ නැංවීම ආදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මෑත කාලීනව සිදුවූ එකතු කළ අගය මත බදු (වැට්) වැඩිවීම ඇතුළු වෙනත් සාධක හේතුවෙන් ගෘහස්ථ ගෑස් මිල ද ඉහළ ගොස් ඇත. 

සමාජ මාධ්‍ය පලකිරීම්වල මෙම මිල වැඩිවීම පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වී පවතින අතර, මෙලෙස හුවමාරු වන කරුණු අතරින් ඇතැම් කරුණු  මහජනතාව නොමඟ යවන සුළු තොරතුරු ලෙස පෙනී යනවා. එවැනි සටහනක් පිලිබඳ අපගේ විමසුම මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන්:

ශ්‍රී ලංකාවේ දැනට පවතින ගෑස් මිල තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අරගලයේ ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් මෑතක දී සමාජ මාධ්‍ය ජාල තුළ එල්ල වූ චෝදනාවකින් දක්වා තිබුනේ, අරගලට පෙර ගෘහස්ත ගෑස් සිලින්ඩරයක (12.5kg) මිල රුපියල් 1500ක් පමණ වූ බවත්, අරගලයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසු, මේ වන විට රුපියල් 4250 දක්වා මිල ඉහළ ගොස් ඇති බවක්.

Facebook| Archived

මීට සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් පහත පරිදි තම අදහස් එක් කර තිබුණා.

මේ පිළිබඳව කරුණු විමසා බැලීමට අපි තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ෂණය කිරීම)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය:

ජනාධිපති වික්‍රමසිංහ මහතා බලයට පත් වීමට පෙර අවධියේ, ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1500ක් වූ බව ඉහත සමාජ මාධ්‍ය සටහන් මඟින් ගම්‍ය කරන බැවින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ගෑස් මිල ගණන් උච්චාවචනය වූ අයුරු අප පළමුවෙන්ම සලකා බැලුවා.

ජනපති ගෝඨාභයගේ පාලන සමයේ පළමු අදියරේ දී, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල, පහත ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි, ඇත්ත වශයෙන්ම, රුපියල් 1493 වැනි අඩු අගයක පැවතුණි. 2010 සිට 2021 මැයි දක්වා ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මිල උච්චාවචනය වූ ආකාරය පිළිබඳ ප්‍රස්ථාරයක් පහත දැක්වේ. (ලිට්‍රෝ ගෑස්)

කෙසේ වෙතත්, විශේෂයෙන්ම 2021 ඔක්තෝම්බර් මාසයෙන් පසුව, LP ගෑස් සඳහා මිල පාලනය ඉවත් කළ පසු, LP ගෑස් මිල ක්‍රමයෙන් වැඩි විය. 2021 ඔක්තෝම්බර් මාසයේදී 12.5kg LP ගෑස් සිලින්ඩරයක මිල රු. 2750ක් ලෙස වාර්තා විය.

2022 අප්‍රේල් මාසයේදී, ගෝඨාභයගේ පාලන සමයේ අවසන් කාලය වන විට LP ගෑස් මිල නැවත වරක් සැලකිය යුතු ලෙස වැඩි වූ අතර, 12.5kg Litro ගෑස් සිලින්ඩරය රු. 4,860 වූ අතර 12.5kg ලාෆ්ස් සිලින්ඩරයක් 2022 ජූනි මාසයේදී රු.6,850ක් තරම් ඉහළ අගයකට අලෙවි විය.

ගෑස් හිඟය සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වීම:

පැවති ඉහළ මිල ගණන් තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරමින්, ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට ආසන්න 2022 ජුනි - ජුලි කාලයේ දී , රට තුළ ඉතා දරුණු ගෑස් හිඟයක් ඇති වුණා. මෙම කාල සීමාව තුළදී රටේ පුරවැසියන් විශාල අභියෝග සහ දුශ්කරතා රැසකට මුහුණ දුන්නා. ඒ පිළිබඳව තොරතුරු ඒ සමයේදී මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබූ අන්දම මෙතනින්, මෙතනින්, මෙතනින්  සහ මෙතනින්

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීම:

2022 ජූලි මාසයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා බලයට පත්වන විට කිලෝග්‍රෑම් 12.5ක (ලිට්‍රෝ) සිලින්ඩරයක මිල රුපියල් 5000ක් පමණ විය. ලාෆ් ගෑස්හි මිල 7000 ට ආසන්න වූ අතර රට තුළ දැඩි ගෑස් හිඟයක් ඇති විය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළදී වරින් වර ගෑස් මිල වෙනස්කම්වලට භාජනය වුණා. එය බොහෝ අවස්ථාවලදී ක්‍රමාණුකූල අඩුවීමක් ලෙස සිදු වුණ අතර ඇතැම් අවස්ථාවලදී මිල ඉහළ යාම් ද සිදුවුණා.

2023 වසර තුළ එක් එක් මාසවලදී ශ්‍රී ලංකාවේ වෙළඳපොළ සඳහා ගෑස් නිකුත් කිරීමේදී ලිට්‍රෝ ගෑස් මිලේ සිදුවූ වෙනස පහත දක්වා තිබෙනවා.

ජනාධිපති වික්‍රමසිංහ ධුර කාලය තුළ ගෑස් හිඟය ක්‍රමයෙන් පහව ගොස් ඇති අතර මේ වන විට රට තුළ ගෑස් හිඟයක් නොමැත.

2024 ජනවාරි 1 සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමෙන් පසු වර්තමාන 12.5kg ලිට්‍රෝ ගෑස් මිල රු.4250 වේ. කෙසේ වෙතත්, මෙම මිල පවා ජනාධිපති වික්‍රමසිංහ මහතා බලයට පත්වන විට පැවති මිලට වඩා අඩුය.

ගෝලීය සහ ආර්ථික සාධක:

ගෑස් මිල සඳහා රට තුළින් අය කරන බදු සහ ඉල්ලුමට අමතරව, ගෝලීය වෙළඳපොළ තත්ත්වයන්, ආර්ථික ප්‍රවණතා සහ දේශපාලනික සිදුවීම් ඇතුළු සාධකද බලපාන බව හඳුනාගැනීම වැදගත්.

සැලකිය යුතුයි : අප මෙහිදී අධ්‍යයනය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ ගෑස් සමාගමේ මිල ගණන් වන අතර අනෙත් තරගකාරී සමාගම වන ලාෆ් ගෑස් සමාගමේ මිල ගණන්ද සෑම අවස්ථාවකදී මෙන්ම ලිට්රෝ සමාගමට සමගාමිව අඩු වැඩි වීම් වූ අතර මෑතකාලීන බොහෝ අවස්ථාවල ලාෆ්ස් ගෑස් මිල ගණන් ලිට්රෝ වලට වඩා වැඩි අගයක පැවතුණා .

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

අවසාන නිගමනය (Conclusion)

අවසාන වශයෙන් පෙනී යන්නේ ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අරගලය ක්‍රියාකාරීන්ට එල්ල කරන චෝදනා නොමඟ යවන සුළු බවයි. මිල ඉහළ යාම කැපී පෙනෙන ලෙස සිදු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ අවසන් භාගයේ බවත්, වත්මන් පාලනය යටතේ ගෑස් මිල අඩු කිරීමට සහ ස්ථාවරව තබාගැනීම් සඳහා උත්සාහ දරා ඇති බව අදාල දත්ත අධ්‍යනය කිරීමේදී පෙනී යනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ගෑස් මිල වෙනස්වීම පිළිබඳව විමසීම් සිදු කරන විට ගෝලීය සහ ආර්ථික සාධකවල පුළුල් බලපෑමත් අවබෝධ කරගෙන සිටීම වැදගත්.

Avatar

Title:අරගලයෙන් පෙර සහ පසු ගෑස් මිලේ වෙනස්වීම පිළිබඳව ඉදිරිපත් වෙන චෝදනා නොමඟ යවන සුළුයි!

Written By: Fact Crescendo Team

Result: Missing Context