දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත් ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් මෙන් ම ශ්‍රී ලාංකික චිත්‍රපට රංගන ශිල්පිනියක් වන පූජා උමාශංකර් ලංකාවෙන් පිටව යාමට හේතු දක්වමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි.

සමාජ මාධ්‍ය සටහන් :

“පූජා උමාශංකර් සියල්ල හැර දමා කතෝලික දහම වැළඳ ගනිමින් පැවදි සොයුරියක් වීමට තීරණය කරයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා.

Facebook | Archived Link

එමෙන්ම තවත් සටහන් පළ වී තිබුණේ, “රංගනය-විවාහය එපාවී පූජා බණ භාවනාවට : ලංකාවෙනුත් යයි” යනුවෙනි.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මේ දිනවල ලංකාවේ තිරගත වෙන දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සරෝෂන්මුගම් අධ්‍යක්ෂණය කළ ‘සිහිනයකි ආදරේ’ සිංහල චිත්‍රපටය එළිදැක්වූවා. එහි ප්‍රධාන චරිතයට පන පොවන පූජා උමාශංකර් එහි මංගල සිනමා දැක්මට නොපැමිණීම හේතුවෙන් බොහෝ ප්‍රේක්ෂකයින් ඇය පිළිබඳ විමසිලිමත් වුණා.

මේ අතර ලංකාදීප පුවත්පත විසින් ඊයේ(20) දින මේ පිළිබඳව ප්‍රධාන පිටුවේ පළ වූ ප්‍රවෘත්තිය උපුටා දක්වමින් බොහෝ ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍යද, වාර්තා කර තිබුණු බව ට දැක ගන්නට ලැබුණා. එමෙන් ම මීට newsasia.lk හි පළ වූ වෙබ් ලිපියක් ද, පාදක වී තිබුණා. Archived Link

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැතිර යන කටකතා පිළිබඳ රූපවාහිනි නාලිකාවක දී දුරකථන සංවාදයක් ඔස්සේ පූජා පිළිතුරු ලබා දී තිබුණි.

පූජා උමාශංකර් එහිදී සඳහන් කර තිබුණේ, තමා මේ වනවිට ඉන්දියාවේ බැංගලෝරයේ සිය නිවසේ සිටින බවයි. එසේම බයිබල් අධ්‍යයනය, ඉවුම් පිහුම් ඉගෙනීම, ගෙවතු වගාව හා සුරතල් මසුන් ඇති කිරීම වැනි කටයුතු කරමින් සිය නිවසට වී, රංගනය කටයුතු හේතුවෙන් තමාට ජීවිතයේ මගැහැරුණ විවිධ දේ ගැන ඉගෙනීම් කටයුතු කරගෙන සතුටින් සිටින බවත් ඇය සඳහන් කරනවා.

විවාහයන්ගේ අසාර්ථකත්වය නිසා ජීවිතය කලකිරී සිනමාවෙන් සමුගැනීම පිලිබඳ කතාබහට පිළිතුරක් සපයමින් පුජා පවසන්නේ තමා දෙමළ සිනමාවෙන් 2013 වසරේ දී සමුගත් බවත් (Vidiyum Munn අවසන් රංගනය), 2016 වසරේ 'සරිගම' චිත්‍රපටයෙන් පසුව සිංහල සිනමාවෙන් ද ප්‍රධාන වශයෙන් සමුගත් බවත්, ඒ පිළිබඳ තමන් ඇය ඒ දිනවලම නිවේදනය කළ බවත්, ඒ පිළිබඳ ක්ෂේත්‍රයේ පිරිස් දන්නා බවත් ය. කලකින් පසුව තමා රංගනයෙන් දායක වූ ‘සිහිනයකි ආදරේ’ සිංහල චිත්‍රපටයෙන් පසුව මේ පිළිබඳව කතා බහට ලක්වීමට අලුත් ප්‍රවෘත්තියක් නොවන බවත් ඇය පවසනවා.

කන්‍යාසොයුරියක වීම හෝ බණ භාවනා කිරීමට යෑම පිළිබඳ අදහස් දක්වමින් පූජා උමාශංකර් පැවසූවේ, තමා දිගු කාලයක සිට කිතුණු දහම සම්බන්ධ ඉගෙනීම් සිදුකරන බවත්, මේ නිසා සමාජ මාධ්‍ය තුළ තමා විශේෂයන්ම පසුගිය සමයේ වැඩිපුර කිතුණු දහමේ පණිවිඩ හුවමාරු කරගත් බවත්, මේ හේතුවෙන් බොහෝ පිරිසක් නොමග යෑමට හේතු වන්නට ඇති බවයි.

පූජා විවාහයෙන් පසු ඇය ක්‍රිස්ත්‍රියානි දහම වැළඳගෙන තිබූ අතර අප ද මෑතක දී පුජාගේ ෆේස්බුක් ගිණුමේ හුවමාරු කරගෙන ඇති සටහන් පරීක්ෂා කිරීමේ දී සහ ඇතැම් සම්මුඛ සකච්ඡාවලදී දැක්වූ අදහස් ද පරීක්ෂා කිරීමේ දී, ඇය කිතුණු දහමට වැඩි නැඹුරුවක් වී ඇති බව දැක ගන්නට ලැබුණා.

එසේම තමා ලංකාව අමතක කර ඉන්දියාවට ගොස් නොමැති බව ත්, වරින්වර ලංකාවට පැමිණෙන බව ත්, පවසමින් පුජා සඳහන් කරන්නේ, මේ මාසයේ දී (2024 ජනවාරි) ලංකාවට පැමිණීමට බලාපොරොත්තුව සිටියත්, සිය ඉන්දියාවේ නිවසේ වැඩකටයුතු යනාදිය හේතුවෙන් එය ප්‍රමාද කිරීමට සිදුව ඇති බවත්, ඉදිරි ජුනි මාසයේදී පමණ නැවත ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් ඇය මෙහිදී සිය විවාහය සම්බන්ධයෙන් අදහස් නොදක්වන අතර තම විවාහයෙන් පසු රංගන ජීවිතයට සමු දෙන බවට පියාට පොරොන්දු වූ බව පමණක් සඳහන් කළා. මේ පිළිබඳ ‘සියත’ නාලිකාව සමග ඇය සිදු කළ දුරකතන සංවාදය මෙතනින්.

ශ්‍රී ලංකාවේ ඉපදුණු පූජා ගෞතම උමාශංකර්ගේ මව සිංහල බෞද්ධ කාන්තාවක් වන අතර පියා ඉන්දියානු ජාතිකයෙක්. කුඩා කල ඉන්දියාවේ හැදී වැඩි අධ්‍යාපනය ලැබූ පූජා, සිංහල, දෙමළ, තෙළිඟු, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිළියකි. ඇය ලංකාවේ වඩාත් ආදරයට කථාබහට ලක්යේ ‘අංජලිකා’ චිත්‍රපටයේ රඟපෑම නිසාය. ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා තවදුරටත් සිංහල චිත්‍රපටවල රඟපාන්නට ඇය තීරණය කළ අතර පසුව ‘ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ, පත්තිනි, කුසපබා, යහළුවෝ, සරිගම’ ඇතුළු චිත්‍රපට රැසක ප්‍රධාන චරිත රඟපාන්නටත් සම්මාන වලින් පිදුම් ලබන්නටත් පුජා සමත්වූවාය. පුජා සිය මව ද සමඟ සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවක් මෙතනින්.

එසේම රංගන කරයුතුවලින් බැහැරව සිටින පූජා, 2022 වසරේ දී ද සිය රසිකයෙකු සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින්, සුපුරුදු සිනහමුසු අන්දමින් පවසා තිබුනේ ඒ වන විට ද තමාට වයස අවුරුදු 44ක් බවත්, සිනමාවට දැන් වයස වැඩි බවත් ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “පූජා උමාශංකර් සියල්ල හැර දමා කතෝලික දහම වැළඳ ගනිමින් පැවදි සොයුරියක් වීමට තීරණය කරයි” යනුවෙන් පළ වූ සටහන් නොමග යන සුළු බවයි. පූජා උමාශංකර් සඳහන් කරන්නේ, රඟපෑම හේතුවෙන් ජීවිතයේ මගැහැරුණ විවිධ දේ ගැන ඉගෙනීම් කටයුතු කරගෙන, බයිබල් අධ්‍යයනය, ඉවුම් පිහුම් ඉගෙනීම, ගෙවතු වගාව හා සුරතල් මසුන් ඇති කිරීම වැනි කටයුතු වල නිරත වෙමින්, තමන් මේ වනවිට ඉන්දියාවේ බැංගලෝරයේ සිය නිවසේ සතුටින් බවත්, මාස කිහිපයකින් ලංකාවට ද පැමිණෙනු ඇති බවයි.

Avatar

Title:පූජා උමාශංකර් බණ භාවනා සඳහා ලංකාවෙන් පිටව ගිය පුවතේ ඇත්ත, නැත්ත!

Written By: Pavithra Sandamali

Result: Misleading