දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙන් අද දිනයේ (ජනවාරි 25) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් වීමේ පුවත පිළිබඳව බොහෝ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ අතර සංසරණය වන නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

'බොරැල්ලේ දැන් තත්ත්වය' යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ, සනත් නිෂාන්ත මහතාගේ අභාවයෙන් පසු මාර්ගයක කිරිබත් පිස සතුට සමරන ශ්‍රී ලාංකික වැසියන් යන අර්ථය හැඟවෙන අයුරින්.

Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය අද (25) දිනයේ බොරැල්ල ප්‍රදේශයේ තත්ත්වයක් බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවයි.

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් සතුටට පත් බොරැල්ල ප්‍රදේශයේ වැසියන් විසින් කිරිබත් පිසින අයුරු බවට දැක්වීමට යොදා ගත් ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව එම ඡායාරූපය අද දිනයේ ලබා ගත් ඡායාරූපයක් නොව, 2022 වසරේ පුරවැසි අරගලය පැවති සමයේ, එවකට අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් පසු, ඉන් සතුටට පත් පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාව මහ මාර්ගයේ කිරිබත් පිසූ අවස්ථාවක් බවට දැක ගන්නට ලැබුණා.

https://twitter.com/Dailymirror_SL/status/1523710560692449280

Archived Link

නමුත් සත්‍ය වශයෙන් ම බොරැල්ල ප්‍රදේශයේ මාර්ග වල ඉහත ඡායාරූප වල දැක්වෙන ආකාරයේ සැමරුම් ඇත්ද, යන්න පිළිබඳ ව ද, අප පරීක්ෂා කළ අතර එම ප්‍රදේශයේ වැසියන් මෙන් ම, ප්‍රාදේශීය වාර්තා කරුවන්ගෙන් අප කළ විමසීමේදී තහවුරු කළේ, එවන් තත්ත්වයක් දැක ගන්නට නොලැබුණු බවයි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට පත්වූ අනතුර

ජල සම්පාදන සනත් නිශාන්ත මහතාගේ ජීප් රථය, අධිවේගී මාර්ගයේ කඳාන පොලිස් බල ප්‍රදේශයේ දී ජනවාරි 25 අලුයම 01.55 ට පමණ, 11.1 සැතපුම් කණුව අසලදී කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුරක් සිදුවුණා. කන්ටේනර් රථයේ පසුපස ගැටීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබු මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටේහි ද ගැටී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.

අනතුරින් එම රථයේ ගමන් කරමින් සිටි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, මෙන් ම ආරක්ෂක නිලධාරියෙක් ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙක් සහ රථයේ රියැදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සනත් නිශාන්ත මහතා  ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනය ආරම්භ  කල අතර  ඉන් පසු වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු හා  ඇමතිවරයෙකු ලෙසත්  පසුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

සැ.යු : අප මෙම කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉහත ඡායාරූපය අද(25) දිනයේ ලබා ගත් ඡායාරූපයක් නොව 2022 වසරේ ලබා ගත් පැරණි ඡායාරූපයක් බව පමණි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රිය අනතුරකින් අද දිනයේ ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඒ පිළිබඳ සතුටට පත් බොරැල්ල ජනතාව විසින් මහ මාර්ගයේ කිරිබත් පිසින බවට දැක්වීමට යොදාගෙන තිබූ ඡායාරූපය අද(25) දිනයේ ලබා ගත් ඡායාරූපයක් නොව, 2022 වසරේ එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් පසු, ඉන් සතුටට පත් පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාව මහ මාර්ගයේ කිරිබත් පිසූ අවස්ථාවකි.

Avatar

Title:සනත් නිශාන්තගේ අභාවයෙන් පසු බොරැල්ලේ ජනතාව සතුට සැමරූ අවස්ථාවක ඡායාරූපයක් නොවේ!

Written By: Pavithra Sandamali 

Result: Misleading