දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඇතැම් පිරිස් අතර පවතින, හානිකර සෞඛ්‍ය පුරුද්දක් ලෙස දුම්වැටි හෙවත් සිගරට්  භාවිතය දක්වන්න පුළුවන්. නමුත් දුම්වැටි නිසා සිදුවන සෞඛ්‍ය හානි පිළිබඳව ඇතිවන විශාල කතාබහත් සමඟ, මිනිසුන් තුළ ඇතිවී තිබෙන බිය නිසා, මේ අතරින් ඇතැම් පිරිස් දුම්වැටි වෙනුවට වෙනත් ආදේශක භාවිතයට හුරු වී තිබෙනවා. Vape හෙවත් කෘත්‍රිම ඉලෙක්ට්‍රොනික් දුම්වැටී මේ අතරින් එක් ආදේශකයක්.  

සමාජ මාධ්‍ය පලකිරීම්

මෑතකදී ෆේස්බුක් ඔස්සේ ඉදිරිපත් කෙරුණු පලකිරීමක් මඟින් කරුණු දක්වා තිබුණේ මෙම කෘත්‍රිම දුම්වැටි භාවිතය, සාමාන්‍ය සිගරට් භාවිතයටත් වඩා සෞඛ්‍යයට හානිකර බවයි. වියට්නාමයේ සිදුවීමක් ඇසුරින් බවට සඳහන් ඡයාරූප පෙළක් ද මෙහි පළකර තිබුණා.

Facebook | Archived

ඒ අනුව මෙම පලකිරීමෙන් පෙන්වා දෙන්නේ වසරක් ඉලෙක්ට්‍රොනික් දුම්වැටි භාවිතය, වසර 30ක් සාමාන්‍ය දුම්වැටි භාවිතය හා සමාන තරම් භයානක බවයි. 

මෙම සටහන් කාලයක් තිස්සේ හුවමාරු වෙමින් තිබුනේ මෙලෙසින්.

මේ පිළිබඳව සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශණය):

දුම්පානය යනු සෞඛ්‍ය සඳහා ඉතා හානිකර ක්‍රියාවක් ලෙස සැලකෙන්නක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලකාවේ විවිධ ආකාරයෙන් දුම්පානය සිදුවෙනවා. මේ අතරින් බහුතරයක් දුම්කොළ ආශ්‍රිත දුම්පානයන්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සුලභව දුම්පානය සඳහා යොදාගැනෙන සිගරට්, සුරුට්ටු, බීඩි ආදියට අමතරව, ලොවපුරා දුම්කොළ ආශ්‍රිතව විවිධ ආකාරවල දුම්පානයන් සිදුවනවා. කෙසේ නමුත්, මේ සෑම ආකාරයකම දුම්පානය ශරීරයට අහිතකර බලපෑම් එල්ල කරනවා.

දුම්කොළ සහිත දුම්පානයේ සෞඛ්‍ය බලපෑම -

දුම්කොළ සහිත දුම්පානය සිදුකරන්නන්ට පිළිකා, හදවත් රෝග, ආඝාතය, පෙනහළු රෝග, දියවැඩියාව සහ බ්‍රොන්කයිටීස් වැළඳීම සඳහා ඇති ඉඩකඩ පුළුල් වීමක් සිදු වෙනවා. ඊට අමතරව ක්ෂය රෝගය, ඇතැම් අක්ෂි රෝග සඳහා අවදානම ඉහළ දැමීම මෙන්ම, දුම්පානය කිරීම මිනිසුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කිරීමත් සිදු කරනවා.

දුම්කොළවල ප්‍රධාන වශයෙන් ඇබ්බැහිකාරකයක් වන නිකොටීන් අඩංගු වෙනවා. මෙම නිකොටීන් නැවත නැවතත් දුම්පානය සඳහා මිනිසුන් ආකර්ෂණය කරගන්නවා. කෙසේ නමුත්, නිකොටින් විසින් මිනිස් රුධිර පීඩනය ඉහළ නැංවීම, හෘද ස්ඵන්දනය ක්ෂණිකව ඉහළ නැංවීම මෙන්ම, රුධිර නාලිකා බිත්ති ඝනකම් කිරීම ආදිය සිදු කරමින් හෘද රෝග සෑදීමට අවදානම් ඇති කරනවා.

ඒ අනුව නිකොටීන් දිගුකාලීනව භාවිත කිරීම ඉතා අවදානම් සහගතයි. නිකොටීන්වලට අමතරව, දුම්කොළවල තවත් සෞඛ්‍ය හානිකර රසායනික රැසක් පවතිනවා. බෙන්සීන්, අරෝමැටික් ඇමීන ආදී ඇතැම් රසායනික ප්‍රභල පිළිකාකාරක ලෙස හැඳින්වෙනවා. ඒ අනුව දුම්කොළවල අඩංගු මෙම රසායනික ද්‍රව්‍ය දුම්බීමේදී ශරීරගත වී පිළිකා අවදානමක් මිනිසාට ඇති කරනවා. දුම්කොළ සහිත දුම්පානයේදී අඩංගුවන රසායනික ද්‍රව්‍යවල සෞඛ්‍ය බලපෑම් පිළිබඳව ලිපියක් මෙතනින්.

ඊට අමතරව, තාර, කාබන් මොනොක්සයිඩ් වැනි සිගරට් දුමෙන් ඇතිවී සිරුරට ඇතුළුවන ද්‍රව්‍යත්, මිනිස් සිරුරට සහ විශේෂයෙන්ම පෙනහැලිවලට සෞඛ්‍ය හානි ඇති කරනවා.

E-Cigarette හෙවත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි -

ඉලෙක්ට්‍රොනික දුම්වැටි නිෂ්පාදනය කර ඇත්තේ, නිකොටීන්, රසකාරක සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු ද්‍රාවණයක් බැටරි මඟින් නිපදවෙන විද්‍යුතයෙන් වාෂ්ප කර දුමක් ඇති කරන ආකාරයටයි. මෙම දුම්වැටියේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ මෙහි දුම්කොළවල අඩංගු විෂ සහිත රසායන අඩංගු නොවීමයි.

ශ්වසන රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය දුමින්ද යසරත්න මහතා ඉලෙක්ට්‍රොනික දුම්වැටි පිළිබඳව අදහස් දැක්වුවා. එතුමා ප්‍රකාශ කළේ, මෙම දුම්වැටි ආරම්භයේදී භාවිත වුණේ දුම්කොළ සහිත දුම්වැටිවලට ඇබ්බැහි වූවන්ට එයින් මිදීම සඳහා යොදාගන්නා විකල්පයක් වශයෙන් බවයි.

මෙහිදී දුම්වැටිවලට ඇබ්බැහි වූ අයට සාමාන්‍ය දුම්වැටියකට සමාන අත්දැකීමක් මෙයින් ලබාදීමට සුළු වශයෙන් මීට නිකොටීන් අඩංගු කර තිබෙනවා. ආරම්භයේදී නිකොටීන් අඩංගු කරගත්තත්, පසුව ඇබ්බැහියෙන් ක්‍රමයෙන් මිදීමේදී නිකොටීන් ක්‍රමයෙන් අඩු කර පසුව මුළුමනින්ම නවතා දැමීම මෙහිදී අරමුණු කරගෙන තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකාව තුළදී නම්, දුම්වැටිවලින් මිදීම සඳහා ආදේශකයක් හෝ තාවකාලික ප්‍රතිකර්මයක් ලෙස ඉලෙක්ට්‍රොනික සිගරට් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන්නේ නැහැ.

කෙසේ නමුත්, ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිතයට පැමිණීමත් සමඟ ඇතැම් රටවල තරුණ පිරිස් මේ සඳහා වැඩි යොමුවීමක් පෙන්වා තිබුණා. ඒත් සමඟ ඇතැම් රටවල මෙම ඉලෙක්ට්‍රොනික් සිගරට් තහනමට පවා ලක් වී තිබෙනවා. ඊට හේතුව නම්, දුම්කොළ දුම්වැටි භාවිත නොකරන පිරිස් පවා විලාසිතාවක් ලෙස සහ මෙය වඩා සෞඛ්‍ය හිතකාමී යන මතය මත පදනම්ව මීට ඇබ්බැහි තත්ත්වයක් පෙන්වීමයි.

ඇතැමුන් දුම්පානයෙන් මිදීමට සුදුසුම ක්‍රමය ලෙස මෙය හැඳින්වුවත්, මෙහි ක්‍රියාකාරීත්වය නිකොටීන් පැච් නම් දුම්පානය නැවැත්වීමට යොදාගන්නා ක්‍රමයට සමාන තත්ත්වයක් පමණක් පෙන්නුම් කරනවා. මේ පිළිබඳව ලිපියක් මෙතනින්.

කෙසේ නමුත්, නිකොටීන්වලට අමතරව වෙනත් යම් යම් විෂ ද්‍රව්‍ය මෙහි අඩංගු වෙනවා. ඉලෙක්ට්‍රොනික් සිගරට් භාවිතයේදී එහි ඇසිටැල්ඩිහයිඩ් නම් පිළිකාකාරකය, නිකල්, ටින්, කැඩ්මියම් ආදිය සෞඛ්‍ය බලපෑම් ඇති කරවනවා. කෙසේනමුත්, තවදුරටත් ඉලෙක්ට්‍රොනික සිගරට්වල සෞඛ්‍ය බලපෑම පිළිබඳව ලොව පුරා තවදුරටත් පර්‍යේෂණ මෙහෙයවෙනවා.

වඩාත් හානිකර ඉලෙක්ට්‍රොනික දුම්වැටිද, දුම්කොළ දුම්වැටිද ?

වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් දුම්කොළ දුම්වැටිවල අඩංගු දුම්කොළවල ඇති විෂ සහ රසායනික සමඟ එම දුම සාපේක්ෂව ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට වඩා හානිදායක බවයි. ඉලෙක්ට්‍රොනික දුම්වැටිවල අඩංගු නිකොටීන්වලට අමතරව එහි වාෂ්පය සඳහා යොදාගන්නා විවිධ රසායනික ද්‍රව්‍යත් මිනිස් සිරුරට හිතකර නොවූවත්, දුම්කොළවලට සාපේක්ෂව එහි හානිදායක මට්ටම අඩු බව එතුමා පෙන්වා දුන්නා.

ඒ සමඟම එතුමා තවදුරටත් පෙන්වා දුන්නේ, ඇතැම් පිරිස් මෙම ඉලෙක්ට්‍රොනික දුම්වැටි මුළුමනින්ම සෞඛ්‍ය හිතකාමී බවට විශ්වාස කළත් මෙය සත්‍යක් නොවන බවයි. පෙර පැවසූ පරිදි, සාමාන්‍ය දුම්වැටිවලට වඩා විෂ බවින් අඩු නිසා එය භාවිතය සුදුසු වන්නේ පෙරදී සාමාන්‍ය දුම්වැටි භාවිත කළ පුද්ගලයින් ක්‍රමයෙන් දුම්පානය නැවැත්වීමේදී පෙරට වඩා හොඳ විකල්පයක් වශයෙන් පමණයි. සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා, ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කරන පිරිස් හට පෙනහළු සහ අනෙකුත් රෝගාබාධ සඳහා වැඩි ප්‍රවණතාවක් පවතිනවා. නමුත්, එම තත්ත්වය දුම්කොළ දුම්වැටි භාවිතයට වඩා යහපත්.

එමෙන්ම අන්තර්ජාලය පිරික්සූවද වියට්නාමයෙන් වාර්තා වන ඉහත පරිදි සිදුවීමක් පිළිබඳව වාර්තා වුණේ නැහැ. නමුත්, වියට්නාමයේ නව යොවුන් වයස්වල පසුවන තරුණයින් දැඩි ලෙස මෙම ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවලට ඇබ්බැහි වීම එම රටට ගැටළු මතු කර තිබෙනවා. ඒ පිළිබඳව වාර්තාවක් මෙතනින්.

කෙසේ වෙතත් අප මෙම සමාජ ජාලා සටහන්වල ඇති රෝහල් ඇදක වැතිර සිටින තරුණයාගේ සේයාරුව රිවර්ස් ඉමේජ් සෙවුමකට ලක්කලා.එහිදී දක්නට ලැබුණේ එහි දක්නට ලැබෙන්නේ ඉලෙක්ට්‍රොනික සිගරට් වසර ගණනාවක් තිස්සේ දිගටම ලබාගැනීම නිසා ,එයට ඇබ්බැහිවීම නිසා පෙනහළුවලට හානි සිදුවූ 19 හැවිරිදි (ඉලෙක්ට්‍රොනික සිගරට් පානය පටන්ගෙන ඇත්තේ වයස 13 දී )ඇමරිකාවේ ජිවත්වන තරුණයෙක් බවයි.ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ ජිවත්වන ඔහු පවසන්නේ තම පෙනහළු ක්‍රිකාකාරිත්වය සිවු වරක් අක්‍රියවුවේ මෙම ඇබ්බැහිය නිසා බවට වෛද්‍යවරුන් පැවසූ බවයි.තමන් මුලින් සති අන්තයේ සීමිත වාර ගණනක් පමණක් ඉලෙක්ට්‍රොනික සිගරට් පාවිච්චි කලත් පසුකාලීනව සැමදා සෑම මොහොතකම මේවා පාවිච්චි කිරීමට ඇබ්බැහිවූ බවත් ඔහු පවසනවා.ඔහු වැඩිදුරටත් පවසන්නේ දිනකට සිගරට් පැකට් 3 බැගින් වසර 30 ක් සාමාන්‍ය සිගරට් පානය පුද්ගලයෙකුගේ පෙනහළු තත්ත්වයට ඔහුගේ පෙනහළු , අධික ඉලෙක්ට්‍රොනික සිගරට් පානය නිසා වසර කිහිපයක් ඇතුලත පත්ව ඇති බව වෛද්‍යවරුන් පැවසූ බවයි.එම ඩේලි මේල් වාර්තාව මෙතනින්

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය හිතකාමී නොවන අතර, ඇතැම් රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එයිනුත් ඇතැම් සෞඛ්‍ය හානි ඇති විය හැකියි.ඉලෙක්ට්‍රොනික සිගරට් අධික ලෙස පානය පෙනහළුවලට දැඩි හානි ගෙන දිය හැකියි. නමුත් සාමාන්‍ය භාවිතය සැලකු කල ,දුම්කොළ ආශ්‍රිත දුම්වැටි තරම් ඉලෙක්ට්‍රොනික සිගරට් හානිකර වන්නේ නැහැ. ඒ අනුව වසරක් ඉලෙක්ට්‍රොනික් සිගරට් භාවිතය වසර 30ක් සාමාන්‍ය සිගරට්ටු භාවිතයට සමාන වන්නේ නැහැ. එමෙන්ම මෙම පලකිරීමේ දැක්වෙන පරිදි සාමාන්‍ය සිගරට්ටු,ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවලට සාපේක්ෂව  සෞඛ්‍යට  අඩු හානි ගෙන දෙන්නේද නැහැ .

Avatar

Title:කෘත්‍රිම ඉලෙක්ට්‍රික් දුම්වැටි හෙවත් Vape භාවිතය, සාමාන්‍ය දුම්කොළ සිගරට් භාවිතයටත් වඩා සෞඛ්‍යට හානිකරද?

Written By: Fact Crescendo Team

Result: Misleading