තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ, ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතාවන් අවම කිරීමේ අදහසින්, ලොව බොහෝ රටවල් මාර්ගගත පද්ධති කරා යොමු වී තිබෙනවා. එවැනි නිසි ක්‍රම හරහා ඇති විනිවිදභාවය හරහා අක්‍රමිකතා අවම වීමක් ද සිදුවන අතර අවශ්‍ය තොරතුරු සපයා ඕනෑම ස්ථානයක සිට අදාළ සේවය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ද මෙවැනි අරමුණු ඔස්සේ, දුම්රිය ආසන වෙන් කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට පියවර ගත් අතර එම ක්‍රමය සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහනක් කිහිපයක් පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

දුම්රියේ ආසන වෙන් කිරීම 'ඔන්ලයින්' පමණයි යනුවෙන් සඳහන් කරමින් පුවත් පතක පළ වූ පුවත ඡායාරූපයක් ද, සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. එමෙන්ම ඔන්ලයින් බුක් කරන්න දන්නෙ නැති අය බස් එකේ ෆුට් බෝඩ් එකේ හෝ යන මෙන් ද, එහි සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ඉහත සටහන සඳහා උපයෝගි කර ගෙන තිබුණේ, මව්බිම පුවත් පතේ පළ වූ ලිපියකි. එම පුවත් ලිපිය මෙතනින්. Archived Link

මේ හේතුවෙන් බොහෝ පිරිසක් උපකල්පනය කර තිබුණේ, මාර්ග ගත ක්‍රමයෙන් ආසන වෙන් කිරීමට නොදන්නා පිරිස, මෙම නව ක්‍රමවේදය මගින් අපහසුතාවයට පත් වන බවයි.

එමෙන් ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ මෙම ඔන්ලියන් ආසන වෙන් කිරීම මගින් රාජ්‍ය සේවකයින්ට හිමිවුණු නිදහස් දුම්රිය බලපත්‍රය (Railway Warrant) අහෝසි වන බවත්, විවෘත හිමිකම සීමා කිරීමට කප්පාදු කිරීමට ලක් වන බවත්, මෙලෙසින් මාර්ගගත ලෙස ආසන වෙන් කිරීමේදී රාජ්‍ය සේවකයින්ට සීයට 5% -17% අතර ගාස්තු ගෙවීමට සිදු වන බවයි. එම වීඩියෝව පහතින්.

ඉහත දක්වා ඇති කරුණුවල නිරවද්‍යතාව හෙළි කරන ලෙස අප ට ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගිය දා 14 වන දා සිට නගරාන්තර හා සීඝ්‍රගාමී දුම්රිය සඳහා ලබාදී ඇති ආසන වෙන්කිරීමේ පහසුකම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය(Online) ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවෙදනය කළා. මෙතෙක් ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබූ අතර 14 වන දා සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ පමණක් සිදුවනු ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link මේ පිළිබඳව ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ නිවේදනය මෙතනින්.

නමුත් රාජ්‍ය සේවකයින්ට හිමිවුණු නිදහස් දුම්රිය බලපත්‍රය(Warrant) අහෝසි වන බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක වාර්තා වී නොතිබූ බැවින් අප මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතාව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

රාජ්‍ය සේවකයින්ට හිමිවන නිදහස් බලපත්‍රය (Railway Warrant) වෙන් කිරීමේ අවස්ථාව ද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී ඇති බවත්, ඒ සඳහා කිසිදු අය කිරීමක් සිදුකිරීමට තීරණය කර නොමැති අතර එලෙස මුදල් අය කිරීමක් සිදුවන බවට සිදුවන ප්‍රචාර අසත්‍යය බවත් ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ පද්ධතිය පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, එම පද්ධතිය හරහා රාජ්‍ය සේවකයින්ට එම බලපත්‍රය ලබා දෙන ක්‍රමයක් ද, ස්ථාපිත කර ඇති බවයි.

මේ සඳහා රාජ්‍ය සේවකයින් හෝ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් මුලින්ම අදාළ නිදහස් දුම්රිය බලපත්‍රයක් (Railway Warrant) ලබාගත යුතු අතර, එහි තොරතුරු මුලින්ම ද , ඉන්පසුව පුද්ගලික තොරතුරු සහ ගමනේ විස්තර ඇතුළත් කරමින් ආසන වෙන් කිරීම සිදුකිරීමේ හැකියාවක් පවතින බව දැක ගන්නට ලැබේ.

මේ සඳහා වන නියම සහ කොන්දේසි පත්‍රිකාවේ හෝ රාජ්‍ය සේවකයන් සඳහා නිකුත් කරන නිදහස් දුම්රිය බලපත්‍රය සඳහා සේවා ගාස්තුවක් ද අය කරන බව ට දක්වා නොතිබුණි. එම නියම සහ කොන්දේසි පත්‍රය මෙතනින්.

ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය

මෙම නව මාර්ගගත දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රමවේදය පිළිබඳව Mobitel ආයතනයේ ව්‍යාපෘති නිලධාරියාගෙන් ද අප මේ පිළිබඳව විමසා සිටියා. ඔහු තහවුරු කළේ ද රාජ්‍ය සේවකයින්ට මෙම නව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ හිමිවන නිදහස් බලපත්‍රය (Railway Warrant) වෙන් කිරීමේ අවස්ථාව සඳහා කිසිඳු අයකිරීමක් සිදු නොකරන බවයි.

කෙසේනමුත් මෙසේ Warrant බලපත්‍රයක් ලබාගන්නා මගින් සම්බන්ධයෙන් මෙහිදී සෘජුවම දුම්රිය ටිකට් පතක් නිකුත් කිරීමේ හැකියාවක් නව ක්‍රමවේදය ඔස්සේ දැනට නැත. මෙහිදී ලැබෙන්නේ තාවකාලික වෙන්කිරීමක් (Temporary Booking) පමණි. එම වෙන්කිරීම තහවුරු කර ගැනීමට අදාළ කාල සීමාව ඇතුළත, එය තහවුරු කළ හැකි දුම්රිය ස්ථානයකට ගොස්, වෙන් කිරීමේ තොරතුරු සමඟ තමාගේ Warrant බලපත්‍රය සැපයිම මඟින් සිදුකළ හැකියි.

මෙවැනි දෙමුහුන් ක්‍රමවේදයක් (hybrid system) ක්‍රියාත්මක වීමට හේතුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පමණක් මේ සඳහා පරිගණක ගත ක්‍රමයක් දියත් කොට තිබුණ ද පොදුවේ සියලුම රාජ්‍ය සේවකයින්ගේ බලපත්‍ර විස්තර මාර්ගගත ක්‍රමයට ලබාගැනීම පරිගණක පද්ධතියක් දැනට ක්‍රියාත්මක නොවීමයි.

ඒ අනුව අදාළ ආයතනය / ප්‍රාදේශීය ලේකම් අනුමැතිය ඇතුළු ක්‍රම ඔස්සේ Warrant බලපත්‍රයක් මුලින්ම ලබාගෙන එහි දත්ත ද සමඟ මගියාගේ අනෙකුත් ගමන් විස්තර ඉහත පෙන්වා දුන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ගගත ආසන වෙන් කිරීමේ පද්ධතියට ඇතුළු කරමින් තාවකාලික දුමිරිය ආසන වෙන්කරවා ගැනීමේ පහසුකමක් පමණක් නව ක්‍රමවේදය හරහා හිමිවෙනවා. E-Warrant සේවාව පිලිබඳ කෙටි වීඩියෝවක් පහතින්.

මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වාදීමට මුල් වුයේ, නම ක්‍රමවේදය ඔස්සේ 100% ටිකට් පත් කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම හේතුවෙන්, Warrant බලපත්‍රය හිමියන් ට ආසන වෙන් කරවා ගැනීමේ අවස්ථාව අහිමි වීමේ ගැටළුකාරී වළක්වා ගැනීමට බවත් මොබිටෙල් ආයතයන පැහැදිලි කර සිටිනවා.

එසේම නව මාර්ගගත පද්ධතිය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෝ රජයෙන් කිසිඳු අය කිරීමක් සිදුකරන්නේ නැති බවත්, convenience fee (සේවා පහසු කිරීමේ ගාස්තුවක්) අය කිරීමක් මගියාගෙන් සිදුවන බවත්, මෙය මීට පෙර ක්‍රියාත්මක වූ මාර්ගගත පද්ධතිය හරහා ද පැවති බවත්, මීට අමතරව දුම්රිය ටිකට් පතේ ගාස්තුව පමණක් ගෙවා පෙර පරිදි අදාළ දුම්රිය ස්ථානයෙන් ටිකට් පත ලබාගැනීමේ පහසුකම ද එලෙසම පවතින බවත් මොබිටෙල් ආයතනයේ ව්‍යාපෘති නිලධාරියා පැහැදිලි කර සිටියා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ටිකට් වෙන්කරවා ගැනීමේ නව ක්‍රමවේදය පිළිබඳව තොරතුරු

නව මාර්ගගත දුම්රිය ටිකට් පත් ලබා ගැනීමේ ක්‍රමය පිළිබඳ වැඩිදුර පැහැදිලි කරමින් දුම්රිය නියෝජ්‍ය සාමන්යාධිකාරිවරයා සඳහන් කළේ, මීට පෙර ආසන වෙන් කිරීමේ දී 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේත්, ඉතිරි වැඩි ප්‍රතිශතය දුම්රිය ස්ථාන වලට ගොස් වෙන් කරවා ගැනීමටත් අවස්ථාව ලබා දී තිබූ බවයි.

නමුත් මේ වන විට දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේදී 100%ක්ම මාර්ගගත ක්‍රමවේදය අනුව සිදු කරන අතර ඒ සඳහා හැකියාව, පහසුකම් නොමැති අයට දුම්රිය ස්ථානවලට ගොස් අදාළ කාර්ය මණ්ඩලය සහය ලබා ගත හැකි අතර කාර්ය මණ්ඩලය විසින් එම මාර්ග ගත ක්‍රමය ඔස්සේ ම ආසන වෙන් කර ගැනීම සිදුකරන බවද ඒ අනුව අදාළ ආසන ඒ මොහොතේම යාවත්කාලින වන බැවින් ඉතිරි ආසන Realtime බලාගැනීමේ හැකියාව පවතිනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ පද්ධතියට පිවසීම ට: https://seatreservation.railway.gov.lk/mtktwebslr/

එසේම මාර්ගගත ක්‍රමය භාවිත කරන පද්ධතිය සඳහා SLT Mobitel ආයතනය විසින්, ටිකට්පතේ වටිනාකමින් 5%ක ප්‍රතිශතයක් ආසන වෙන් කිරීමේ දී ටිකටිපතට එකතු කෙරෙන බව අප ද තහවුරු කරගනු ලැබුවා. උදාහරණයක් ලෙස කොළඹ සිට නුවර දක්වා දෙවන පන්තියේ ටිකට් පතක මිල රු.1000ක් වූ දුම්රියක, මාර්ගගත ක්‍රමයට ටිකට් වෙන්කරවා ගැනීමේ දී සේවා ගාස්තු ලෙස රු. 50 ක් එකතු වූ අතර ගෙවිය යුතු සම්පුර්ණ ගාස්තුව රු.1050ක් ලෙසයි දැක්වුණේ.

එමෙන් ම මාර්ග ගත ක්‍රමය ඔස්සේ එක් අයෙකුට වෙන් කරවා ගත හැකි උපරිම ආසන සංඛ්‍යාව ආසන 05ක් පමණකි. මීට අමතර ආසන ගණනක අවශ්‍යතාවයක් පවතින අයෙකුට දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගනිමින් ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයක් පවතින බව ද, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසා සිටියා.

මීට පෙර පැවති මාර්ගගත ටිකට් ක්‍රමය ඔස්සේ, ආසන වෙන් කිරීමෙන් පසුව දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීම සිදුවුව ද, මෙම ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුරකථනය වෙත ලැබෙන QR සංකේතය සහිත ඉලෙක්ට්‍රෝනික ටිකට්පත, සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලෙස ගමනාන්තය දක්වාම භාවිත කිරීමේ මගීන්ට සැලසී තිබෙනවා. එසේ මගියෙකු විසින් ලබාගෙන තිබු ටිකට් පතක් මෙතනින්.

ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම සහිත දුම්රිය ස්ථාන, වෙන් කළ ආසන සහිත දුම්රිය සේවා මොනවාද යන්න, වෙන්කිරීම සිදුකළ හැක්කේ කුමන කාලසීමාවක් ඇතුළත ද යන්න සහ එම පද්ධතිය ඔස්සේ ගෙවීම් සිදු කරන්නේ කෙලෙසින්ද යන කරුණු ඇතුළත් දුම්රිය ආසන වෙන් කිරීම සඳහා උපදෙස් මාලාව මෙතනින්.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තිබෙන ආසන වෙන් කරවා ගැනීම ක්‍රමවේදයට මෙන් ම ජංගම දුරකතනයේ යෙදුමක් (App) හරහා ද, ආසන වෙන් කරවා ගැනීමට හැකි බව ද, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉදිපොලගේ මහතා සඳහන් කළා.

මොබිටෙල්, හච් සහ එයාර්ටෙල් ජංගම දුරකථන සේවා ඔස්සේ අංක 365 ඇමතීමෙන් සහ ඩයලොග් දුරකථන සේවා ඔස්සේ අංක 444 ඇමතීමෙන් ද, ටෙලිකොම් දුරකථන ඔස්සේ නම් අංක 1265ට ඇමතිමෙන් මගීන්ට දැන් ආසන වෙන් කරවා ගැනීමේ හැකියාව පවතින අතර මේ සඳහා සේවා ගාස්තුවක් ය කෙරෙනවා.

Read in English: Are You Fully Updated on The Newly Revamped Online Seat Reservation System for Sri Lanka Railways?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:දුම්රිය ආසන වෙන්කිරීමට දියත්කළ නව Online ක්‍රමවේදය සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading