දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලංකාවේ ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට පෙළගැසෙමින් සිටින මෙවන් සමයක, සමාජ මාධ්‍ය වේදිකා හරහා දිනෙන් දින අසත්‍ය තොරතුරු පැතිරීම වේගවත් වී තිබෙනවා. ඇතැම් සාවද්‍ය තොරතුරු ගලා ඒම නිසා එළැඹෙන මැතිවරණ ක්‍රියාවලියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව සැකයක් ඇති කරමින් මැතිවරණය පවැත්වේද නැත්ද යන්න පිළිබඳව ද බොහෝ පුද්ගලයින් සැක මතුකරගෙන තිබෙන බව දැක ගන්නට ලැබෙනවා.

එම තත්වය උද්දීපනය කරමින් IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්දය පැවැත්වෙන්නේ නොමැති බවක් ජනපති සඳහන් කළ බව හඟවමින් සටහන් පෙළක් හුවමාරු වුණා.

සමාජ මාධ්‍ය සටහන් :

මෙම සටහන් මඟින් ඉස්මතු කර තිබුණේ IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්දය නොමැති බවට ජනපති සෘජුවම සඳහන් කළ බවක්.

Facebook | Archived

මෙම සටහන් WhatsApp ඔස්සේ ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

අප මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කළා. ඒ අනුව දැක ගන්නට ලැබු‍ණේ, පසුගිය මාර්තු 31 වන දින "සිළුමිණ" සති අන්ත පුවත්පතේ මුල් පිටුවේ "IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්ද නෑ" යනුවෙන් පුවතක් පළ වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එම ලිපියේ සම්පූර්ණ වාර්තාව පහත පරිදි දැක ගන්නට ලැබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවයි.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළැඹෙන්නේ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව වන හෙයින් ජනපතිවරණය පැවැත්වීම එම වැඩසටහනට බාධාවක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ අනුව රජය මැතිවරණ සිතියම සැලසුම් කර ඇති බව පවසා තිබෙනවාSilumina | Archived

කෙසේ වෙතත් ඉහත පුවත් පතේ අභ්‍යන්තර කරුණු වල දැක්වෙන එළැඹෙන ජූලි මස අවසන් වන විට IMF වැඩසටහන අවසන් වන බව මේ ඔස්සේ නිර්මාණය කර තිබුණු සමාජ මාධ්‍ය සටහන් වල මෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වූ පළවීම් වලද, ඉස්මතු කර දක්වා නොතිබුණු බැවින් මේ වසරේ මැතිවරණය නොපැවැත්වෙන බවට බොහෝ දෙනෙකු නොමග ගොස් තිබුණා.

මැතිවරණ කොමසාරිස්

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඒ මහතා ඉහත වාර්තාව ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා IMF සම්බන්ධ කාරණා පිළිබඳව මැතිවරණ කොමිසම සමග සාකච්ඡා නොකළ බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මේ වනවිට මූලික කටයුතු සුදානම් කර අවසන් බවත්, ඒ සඳහා අවශ්‍ය බිලියන 10ක පමණ ඇස්තමේන්තු වියදම් පසුගිය අයවැය හරහා සම්මත කරගෙන ඇති බවත්, මෙම වසරේ අග භාගයේදී (සැප්තැම්බර් - ඔක්තෝබර්) ජනාධිපතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව නියමිත අතර ඒ සඳහා කොමිසම සුදානමින් පසුවන බව 'අද දෙරණ' කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළ බව 'අද දෙරණ' වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

මැතිවරණයට IMF වැඩසටහන අතර සම්බන්ධතාව

ජාත්‍යන්තර අරමුදල විසින් අනුග්‍රහය දක්වන කරුණු අතර ආර්ථික ප්‍රතිසංස්කරණ රටේ දේශපාලන පරිසරයට බලපෑම් ඇති කළ හැකි නමුත්, IMF වැඩසටහනක් සම්පූර්ණ කිරීම සහ මැතිවරණ කාලසටහන් කිරීම අතර සෘජු සම්බන්ධයක් නොමැත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ පාලනය කරනු ලබන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් වලින් වෙන් වූ ව්‍යවස්ථාමය වරම සහ මැතිවරණ ක්‍රියා පටිපාටි මගිනි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති මාධ්‍ය අංශයෙන් අප කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, ජනාධිපතිතුමා මේ දක්වා සඳහන් කර ඇති පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාව පවසන පරිදි රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණ පැවැත්වෙනු ඇති බවයි.

ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති බවත්, මහ මැතිවරණය ලබන වසරේදී (2025) පැවැත්වෙනු ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මගින් ලබා දෙනු ඇති බවට ත්, ජනාධිපති මාධ්‍ය අංශය විසින් ‘X’ හි පණිවිඩයක් නිකුත් කර තිබුණේ මේ අයුරින්.

පසුගිය 27 වන දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා, රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත්ය. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය නිවේදනය මෙතනින්.

කෙසේ වෙතත්, 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය රටේ ආර්ථික අස්ථාවරත්වය සඳහන් කරමින් දින නියමයක් නොමැතිව කල් දමනු ලැබුවා. ඊට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම් ද පවතී. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක් මෙතනින්.

Read in English: Did The President Of Sri Lanka Say That No Election Will Be Held Until The End Of The IMF Program? Find Out The Facts…

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්දය නොමැති බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Missing Context