දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාල සීමාව, අගෝස්තු 14 වැනිදා, දහවල් 12න් අවසන් කර තිබේ.

ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂ 22ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. එම ලැයිස්තුව මෙතනින්.

මෙසේ ඇප මුදල් තැන්පත් කළ එක් අයෙකුගෙන් හැර 39 දෙනෙකුම, සිය නාම යෝජනා භාර දීමේ කටයුතු අගෝස්තු මස 15 වැනිදා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදුකළා. මෙහිදී විරෝධතා 3 ක් ඉදිරිපත් වුවද, ඒවා ප්‍රතික්ෂේප වූ බැවින් මෙවර ජනපති සටනට අපේක්ෂකයින් 39 දෙනෙකු තරග වදිනු ඇති.

මෙය ලංකා ඉතිහාසයේ දැනට වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් තිබෙන ජනතිපතිවරණ මැතිවරණය ලෙස ඉතිහාසගත වනු ඇති.

2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 22ක ප්‍රමාණය, 2015 මැතිවරණයේ දී සුළු වශයෙන් 19 දක්වා අඩු වුවද 2019 දී අපේක්ෂක ලැයිස්තුව 35 දක්වා වැඩිවූ අතර මෙවර එම සංඛ්‍යාව තවත් 4 කින් ඉහළ ගොස් තිබෙනවා.

Also Read: තරඟ වදින මුල් ජනාධිපති අපේක්ෂකයින් අමතරව සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් අනෙක් අපේක්ෂකයින්ට ලැබෙනවාද?

වැඩිවන අපේක්ෂකයින් හේතුවෙන් ඇතිවන ගැටළු මොනවා ද?

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ගණන තවදුරටත් වැඩි වන්නේ නම් ඒ වැඩි වන සෑම අයකු සඳහාම රුපියල් මිලියන 200ක් වැනි විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක සැප්තැම්බර් 9 වන දින කොළඹ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කර තිබිණි. වැඩිදුර තොරතුරු මෙතනින්

පසුගිය ජනපති මැතිවරණ 3හි (2010, 15, 19) ප්‍රතිඵල නිරීක්ෂණ කිරීමේ දී ද පැහැදිලි වන්නේ මුල් අපේක්ෂකයින් 5 දෙනෙක් වැනි අතලොස්සක් හැරුණ විට සෙසු අපේක්ෂකයින් ලබාගෙන තිබුනේ මුළු ඡන්ද ප්‍රතිශතයෙන් 2%ක් හෝ ඊටත් වඩා ඉතා අඩු ප්‍රමාණයක් බවයි.

කරුණු එසේ තිබියදී ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදෙන බව කියමින්, මෙතරම් විශාල පුද්ගලයින් ප්‍රමාණයක් ඉදිරිපත් වීම, සිහි නුවණින් කල්පනා කර බැලුව හොත් හාස්‍යට කරුණකි.

රට මේ වන විට මුහුනණ පා තිබෙන්නේ දැඩි ආර්ථික අවපාතයක ය. එවැනි අවස්ථාවක ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් පැවැත්වීම සඳහා විශාල මුදලක් වැය කිරීමද ප‍්‍රයෝගික නොවේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය රැකගැනීම උදෙසා ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණයක් පැවැත්විය යුතු වේ. ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු නීතිමය ඉඩකඩක් ද නොමැති නිසා නියමිත කාල වකවානුවේදී එය පැවැත්වීමට පාලකයන්ට සිදුවී ඇත.

මෙම මාතෘකාව හා ඍජුව සම්බන්ධ නැතත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දමා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය බව බොහෝ විචාරකයන්ගේ මතයයි. “විධායක” ජනාධිපති ක‍්‍රමය මෙරටට නොගැළපෙන බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි. මේ ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි යන යෝජනාව ආවේ මේ ක‍්‍රමය ආරම්භ කළ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දා සිට ය. මෙවර ජනාධිපතිවරණයේදී ද මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාව සංවාදයට බඳුන් වනු ඇත.

ඉදිරි අවුරුදු පහ තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වන්නේ නම්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ප‍්‍රශ්නය ද මතු නොවනු ඇත. නමුත්, ප‍්‍රශ්නය වන්නේ 1994 සිටම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ඇතැම් අපේක්ෂකයින් ඉදිරිපත් වුවද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොමැත.

එසේම මෙසේ අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ කතාබහට ලක්වන කරුණක් වන්නේ, ඇප මුදල් ලෙස ලබාගන්නා මුදල, ඉහළ නංවාලීම පිලිබඳවයි. පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු දැනට තැන්පත් කළ යුතු රු.50,000ක ඇප මුදල රු. ලක්ෂ 26 දක්වා ද, ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු රු.75,000ක ඇප මුදල රු. ලක්ෂ 31 දක්වා ද වැඩි කිරීමටයි රජය එහිදී යෝජනා කළේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වූ නමුත් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් සංශෝධනයක් සිදුවූයේ නැත. මෙවරද, ජානාධිපතිවරණය සඳහා තැම්පත් කරන ඇප මුදල 1981 දී තීරණය කළ අගයමයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:අපේක්ෂකයින් 40ක් සමගින්, 2024 ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අවසන්!

Written By: Fact Crescendo Team

Result: False