දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම නිසාවෙන් මේ වන විට දැරිය නොහැකි විශාල ණය කන්දකට යට වී තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ වරින් වර ලබාගන්නා විදේශ ණය වලින් කලින් ගත් ණයෙහි පොලී ගෙවීමට සිදුවීම වැනි විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති නිසා බලයට පත්වන සෑම ආණ්ඩුවකට ම මෙම ණය සමඟ සටන් කිරීමට සිදුව ඇත.
ඒ අනුව මෙම විදේශ ණය ගෙවීමක් පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා හුවමාරු කර ගන්නා සටහන් අපට දැකගත හැකි වුණා. ඒ නිසා ම ඒ පිළිබඳව සොයා බැලීමට අපි තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
ශ්‍රී ලංකාව විදෙස් ඩොලර් බිලියන 500ක විදෙස් ණය ගෙවයි යනුවෙන් සමාජ මාධ්‍යයේ සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරිනි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම වසරේ (2024) ජනවාරි මස 1වන දා සිට ජුනි 30 දක්වා කාල පරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503ක විදෙස් ණය ගෙවා ඇති බවයි.
එවැනි ම තවත් සටහන් කිහිපයක් සමාජ මධ්‍යයේ සංසරණය වී තිබුණේ මේ අයුරිනි.
ඇතැම් පාර්ශවයන් මෙම විදෙස් ණය ගෙවීම දේශපාලනිකව සිය පාක්ෂිකත්වය වෙනුවෙන් යොදා ගැනීමක් මෙම සමාජ මාධ්‍ය සටහන් දෙස බැලීමේදී නිරීක්ෂණය වනවා. කෙසේ වෙතත් මෙම ඩොලර් මිලියන 503ක විදෙස් ණය මුදල ගෙවීම පිළිබඳ අප විමසීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරිනි.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
පළමුව අප මෙලෙස ඩොලර් මිලියන 503ක ණය මුදලක් ගෙවීම පිළිබඳව ප්‍රධාන මාධ්‍ය පුවත් වාර්තා කර තිබේ ද යන්න සොයා බැලීමක් සිදු කළා. ඒ අනුව අද දෙරණ සහ Ada Derana Business මෙම පුවත වාර්තා කර තිබූ බව අපට දැකගත හැකිවුණා. ඊට අමතරව තවත් වෙබ් අඩවි කිහිපයක් එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්.
2024 වසරේ ජනවාරි 1 වන දා සිට ජුනි 30 දක්වා කාලයට අදාළව ඩොලර් මිලියන 503ක විදෙස් ණය ගෙවීම
ඉහත සමාජ මාධ්‍ය සටහන්වල මෙන් ම පුවත් වල සඳහන් තොරතුරු පිළිබඳව අප පරීක්ෂා කර බැලුවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ 2024 ජුනි මස අවසන්වන විට රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.5කි.
මෙම වාර්තාවේ දැක්වෙන ලෙස 2024 වසරට අදාළව ජනවාරි 1 වන දා සිට ජුනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503ක විදෙස් ණය සේවා ගෙවා තිබෙනවා.
මෙම ඩොලර් මිලියන 503න් ඩොලර් මිලියන 275.1ක් මූලික ණය ආපසු ගෙවීම් සඳහාත් ඩොලර් මිලියන 227.9ක් පොලී ගෙවීම් සඳහාත් වැය කර ඇති බව මෙම වාර්තාවේ සඳහන්වනවා.
එනම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ එම ණය පියවීම සිද කර තිබුණා.
එමෙන් ම පසුගිය රජය විසින් 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින සිට ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන්ගේ විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිට වූ අතර එමඟින් බලපෑමට ලක්වීමෙන් 2022 වසරේ ජුනි 30 දක්වා නොපියවා ඇති ණය වාරික ප්‍රමාණය ඩොලර් මිලියන 5670ක් සහ පොලිය ඩොලර් මිලියන 2527ක් වන බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
2024 වසර මැද රාජ්‍ය මූල්‍ය වාර්තාවේ මෙම තොරතුරු දක්වා ඇත්තේ මේ අයුරිනි.
2024 ජනවාරි 1 වන දා සිට අප්‍රේල් 30 දක්වා කාලයට අදාළව විදෙස් ණය ගෙවීම
2024 වසරට ම අදාළව ජනවාරි 1 වන දා සිට අප්‍රේල් 30 දක්වා මාස 4ක කාලයට අදාළව ද මුදල් අමාත්‍යංශය විසින් වසර මැද රාජ්‍ය මූල්‍ය වාර්තාවක් නිකුත් කර ඇති අතර එහි ද එම මාස 4 තුළ ගෙවන ලද විදෙස් ණය පිළිබඳ තොරතුරු ඇතුළත්වනවා.
ඒ අනුව 2024 වසරේ අප්‍රේල් මස 30 වන දින වන විට ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36.9ක් වූ අතර 2024 ජනවාරි 1 වන දින සිට අප්‍රේල් 30 දක්වා ගෙවා ඇති විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 248.7කි. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 137.6ක් ණය වාරික ආපසු ගෙවීම සඳහා යොදවා ඇති අතර, ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 111.1ක ප්‍රමාණය පොලී ගෙවීම සඳහා යොදවා තිබෙනවා.
මෙම වාර්තාවට අනුව රජය විසින් අනුගමනය කළ අතුරු ප්‍රතිපත්තියට අනුව බලපෑමට ලක් වූ ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන්ගේ විදේශ ණය සේවාකරණය 2022 අප්‍රේල් 12 වන දින සිට අත්හිට වූ බැවින් 2022 අප්‍රේල් 12 වන දින සිට 2024 අප්‍රේල් මස 30 දක්වා නොපියවා ඇති ණය වාරික ප්‍රමාණය අමෙරිකානු මිලියන 6020ක් ලෙසත් පොලිය ඇ.ඩො.මි. 2586ක් දක්වාත් ඇති බව සඳහන් වනවා.
මේ අයුරින් මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඇති වාර්ශික මූල්‍ය වාර්තා සහ වසර මැද මූල්‍ය වාර්තා තුළ විදෙස් ණය ගෙවීම් ඇතුළු ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙම විදෙස් ණය වාරිකයන් ගෙවීම සෑම වසරක ම සිදුව ඇති තත්ත්වයක් බව වසර කිහිපයක මූල්‍ය වාර්තා පිරික්සීමේදී අපට අවබෝධ විය.
2023 වසරේ මූල්‍ය වාර්තා ගෙන බැලීමේදී එම වසරේ ද ජනවාරි 1 වන දින සිට දෙසැම්බර් 31 දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 1439.9ක් විදෙස් ණය ගෙවා ඇති බව සඳහන් වනවා.
2022 වසරේ විදෙස් ණය ගෙවීම තාවකාලිකව නැවැත්වීම
2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුධයත් සමඟ ශ්‍රී ලංකා රජය විදෙස් ණය ගෙවීමේ අර්බුධයකට මුහුණ දෙනු ලැබී ය. ඒ අනුව දීර්ඝ කාලීන ණය ගෙවිම පැහැර හැරීමක් වැළැක්විම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සියලුම විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා 2022 අප්‍රේල් 12 වන දින මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ අනුව එම මාධ්‍ය හමුවේදී බව ශ්‍රි ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ පැවැසුවේ රට ඒ වන විට පැවතින තත්ත්වය අනුව ණය ගෙවීම අභියෝගයක් මෙන්ම ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි. එසේම මේ වන විට රට තුල පවතින විදෙස් සංචිත ඉතා අඩුවී ඇති බවත් ඒවා ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යාවශ දෑ ගෙන ඒම වෙනුවෙන් යොදා ගත යුත බවත් ඔහු පවසනු ලැබී ය.
ශ්‍රී ලංකාව කිසිම දිනක ණය ගෙවීම පැහැර ඇති රටක් නොවන බවත් මෙය තාවකාලික පියවරක් පමනක් බවත් මහ බැංක අධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා.
2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණකි. පවත්නා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ව්‍යූහය තුළ සාමාන්‍යයෙන් සිදුකරනු ලබන පරිදි, විදේශීය බහුපාර්ශවික ණය රජය විසින් අඛණ්ඩව ගෙවා තිබෙනවා.
ඒ අනුව, 2022 අප්‍රේල් මාසයේ තෝරාගත් විදේශීය ණය සේවාකරණය තාවකාලිව අත්හිටුවීමෙන් පසුව වුවද, රජය විසින් අඛණ්ඩව බහුපාර්ශවීය ණය සේවාකරණය සිදුකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පළ වූ BBC මාධ්‍ය වාර්තාවක් මෙතනින්.
මේ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නිවේදනයකින් පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.
2022 අප්‍රේල් 12 වන දින සිට ආරම්භවන පරිදි විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම නිසා 2022 අප්‍රේල් 12 වන දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා නොගෙවා ඇති ණය වාරික ප්‍රමාණය ඇ.ඩො.මි. 4451 ක් සහ පොලිය ඇ.ඩො.මි. 2080.9ක් වී තිබුණා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් ණය ගැන කියූ දේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් ණය පිළිබඳ 2024 ජූලි 3 පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් සිදුකරනු ලැබුවාමෙහිදී හිටපු ජනාධිපතිවරයා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසින්.
විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ Advocata Plus යූ ටියුබ් නාලිකාවේ පැහැදිලි විස්තරයක් සඳහන් කර තිබුණේ මේ අයුරිනි.
මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා රජය සෑම වසරක ම විදෙස් ණය වාරික ගෙවීම් කර ඇති බවයි. නමුත් 2022 වසරේ ආර්ථික අර්බුධයත් සමඟ විදෙස් වාණිජ ණය සහ විදේශීය ද්විපාර්ශ්වීය ණය තාවකාලිකව අත්හිටුවූව ත්, අඛණ්ඩව විදෙස් ණය ගෙවීම් වලින් බහුපාර්ශ්වීය ණය ගෙවා ඇති බවයි. නොගෙවූ ණය ප්‍රතිව්‍යූහගත කිරීම් මේ වන විට අවසන් අදියරයේ ක්‍රියාත්මක වන බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
