රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක් මතුව ඇති බව පවසන කතාව ඇත්තක් ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෑතක සිට රටේ ප්‍රධාන මාධ්‍ය පවා නිතර සමාජය නොමඟ යවන අන්දමේ පුවත් වාර්තා කිරීම් සිදුකර තිබුණ අතර ඒ පිළිබඳව සමාජයේ කතාබහක් ද ඇති විය. ඒ අනුව ප්‍රධාන ධාරාවේ පුවත්පත් තුළ ඊයේ දින(8) වාර්තාකර තිබූ පුවතක් හේතුවෙන් නැවතත් මෙම කතාබහ ඇති වී තිබෙනවා. එබැවින් එම පුවත සම්බන්ධව අප විසින් සොයා බැලීමක් කිරීමට තීරණය කළා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

“රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක්” යන යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ පුවතක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම තේමාවෙන් තව ත් සටහන් කිහිපයක් සංසරණය වී තිබුණේ මේ අයුරිනි.

මේ සඳහා පාදක වී තිබුණේ, 2024.11.8 වන දින අරුණ පුවත්පත මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස “රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක්” යන ශීර්ෂ පාඨය යටතේ පුවතකි.

රට පුරා ෆාමසි ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැසීයාමේ තත්වයක් තිබෙනවා ද? මෙහි සත්‍යතාවය පිළිබඳ අප සොයා බැලීමට පියවර ගනු ලැබුවේ මේ අයුරිනි

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම) :

2024.11.8 වන දින අරුණ පුවත් පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවතේ වාර්තා කර තිබුණේ රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක් පවතින බවයි. එම පුවතේ වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, දිවයින පුරා පිහිටි ෆාමසි 5000ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක්, ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසී යාමේ අවධානමක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවා ඇති බවයි.

රටේ ඖෂධවේදීන්ගේ හිඟයක් ඇති බවත් ඒ අනුව ඖෂධවේදීන් නොමැති බව පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි තීරණයක් ගෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගනේකන්ද පැවසූ බව වැඩිදුරටත් අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා.

දිවයින පුවත්පත’ ද එම පුවත වාර්තා කර තිබූ අතර එහි ඔවුන් ශීර්ෂ පාඨය ලෙස යොදා තිබුණේ “ ලයිසන් දෙන අලුත් නීතියෙන් ඖෂධ හල් වැසීයාමේ අවදානමක්” ලෙසයි. එමගින් පෙන්වා දෙන්නේ, ඖෂධවේදීන් ඖෂධහල් විවෘත කර තිබෙන සම්පූර්ණ කාලයේ ම ඖෂධ හලේ රැඳී සිටියහොත් පමණක් 2025ට අදාළ ඖෂධ හල් බලපත්‍ර ලබාදීමට කටයුතු ආරම්භ කර ඇති නිසා රට පුරා ඖෂධ හල් රැසක් වැසී යාමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දන ගන්කන්ද පැවසූ බවයි.

රට පුරා පෞද්ගලික ඖෂධ හල් 5100ක් සහ රජයේ ඖෂධ හල් 60ක් පමණ පවතින බවට වාර්තා වී ඇති බවත් එම ස්ථානවල සේවය කිරීමට රටේම සිටින්නේ ඖෂධවේදීන් 6000ක පමණ පිරිසක් බවද සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කරනවා.

ඖෂධ නියාමන අධිකාරිය මගින් 2015 දින 100 රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ නීතිය ප්‍රායෝගික ගැටලු මතු විය හැකි නිසා එවකට ක්‍රියාත්මක නොකළ බවත්, වත්මන් රජය පත්වී මාසයක් පමණ ගතවන විට මෙය ක්‍රියාත්මක කිරීමට යෑම නිසා ඖෂධ හල් ගණනාවක් වැසී යා හැකි බවත් ඔහු පැවසූ බව දිවයින පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

පුවත්පත් තුළ පළ කළ මෙම පුවත රූපවාහිනී මාධ්‍ය තුළ ද වාර්තා කර තිබුණේ මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරිනි.

මේ සම්බන්ධයෙන් චන්දන ගන්කන්ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, ඖෂධවේදියෙක් ඖෂධ හලක පූර්ණ කාලීනව සිටිය යුතුය යන නීතිය ඖෂධ නියාමන අධිකාරිය මෑතක සිට දැඩි කර ඇති බවයි.

සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය මේ බව ලිපියකින් ද සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර තිබුණේ මේ අයුරිනි.

ඖෂධ හලක් තුළ ඖෂධවේදියෙක් සිටිය යුතු ද?

2015 අංක 5 දරණ නව ඖෂධ නියාමන අධිකාරි පනතේ දක්වා ඇත්තේ බලපත්‍රයක් ලබා ඇති සෑම ඖෂධ හලකම අවම වශයෙන් සුදුසුකම් ලත් එක් ඖෂධවේදියෙක් හෝ සේවයේ සිටිය යුතු බවයි. එමෙන්ම එම ඖෂධවේදියා ඖෂධහලේ සියලු කටයුතු සඳහා වග කිව යුතු බවයි.

එමෙන් ම සෑම ඖෂධ හලකම ඖෂධ නිකුත් කිරීම ඖෂධවේදියෙක් හෝ ඖෂධවේදියෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ ලියාපදිංචි ආධුනික ඖෂධවේදියෙක් විසින් සිදුකළ යුතු බවයි.

ඒ අනුව 2015 සිට ක්‍රියාත්මකවන 2015 අංක 5 දරණ නව ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව නීතිමය වශයෙන් ද ඖෂධ ශාලාවක ඔෂධවේදියෙකුගේ සෘජු අධික්ෂණය යටතේ ඖෂධ නිකුත් කිරීම අනිවාර්‍ය වනවා.

ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ඖෂධ හල්වල බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් නව තීරණයක් ගෙන තිබෙනවා ද?

අරුණ පුවත්පත සහ දිවයින පුවත්පත් තුළ රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක් පවතින බවට වාර්තා කිරීමත් සමඟ, ඖෂධ නියාමන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ, වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමුකර ඇති ඉල්ලුම්පත්‍ර රැසක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනවාරි මාසය වනවිට ඖෂධ සැල් ගණනාවක් වැසීයාමේ අවදානමක් ඇති බවට සිදුකරන මාධ්‍ය වාර්තා ජනතාව නොමඟ යවන අසත්‍ය පුවත් බවයි.

බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිදු හදිසි තීන්දුවක් ගෙන නොමැති අතර ඒ සදහා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයේ ද වෙනසක් සිදුකර නොමැති බවයි ඖෂධ නියාමන අධිකාරිය සදහන් කරන්නේ.

ඇතැම් ඖෂධ ශාලා හිමියන් ඖෂධ පිළිබද කිසිදු දැනීමක් නොමැති අය සේවයට යොදවාගන්නා බවට පැමිණිලි ලැබී තිබෙන බවත්, එවැනි පුද්ගලයින් ලබාදුන් වැරදි ඖෂධ හේතුවෙන් රෝගීන්ට ගැටලු මතුවූ අවස්ථා ද මතුව ඇති බවයි ඖෂධ නියාමන අධිකාරිය මෙම නිවේදනයෙන් පෙන්වාදෙන්නේ.

ඒ අනුව සුදුසුකම් ඇති ඖෂධවේදියෙකු ඖෂධ ශාලාවේ සිටීම අත්‍යවශ්‍ය වන අතර එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය අඛණ්ඩවම අනුගමනය කළ ප්‍රතිපත්තියක් බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 

අප විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් ද මේ බව විමසා බැලුවා. ඔහු පවසන්නේ මෑතක සිට ඖෂධ හල්වල බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නව නීතියක් හෝ එම ක්‍රමවේදයේ දැඩි කිරීමක් හෝ සිදු නොකළ බවයි. 2015 සිට ම ඖෂධ නියාමන අධිකාරී පනතේ නීතිය අනුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ බවයි එම මහතා පවසන්නේ. 

එම ක්‍රමවේදයේ යම් ලිහිල් බවක් හෝ මීට පෙර නොතිබූ බවයි වෛද්‍යවරයා අප වෙත පැවසුවේ. 

ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය පවසන පරිදි විශාල සංඛ්‍යාවක් බලපත්‍ර අලුත් කිරීම් ප්‍රතික්ෂේප කර තිබේද යන්න අප වෛද්‍යවරයාගෙන් විමසුවා. එහිදී ඔහු පැවසුවේ ඇතැම් ඖෂධහල් ඖෂධවේදියෙක් සමඟ ඖෂධහල් ලියාපදිංචි කර පසුව වෙනත් අය යොදවා ඖෂධහල් සිදුකරගෙන යන බවයි. ඇතැම් විට ඖෂධවේදීන් ඖෂධහලකින් ඉවත්වනවානම් ඔවුන්ට දැනුම්දීම් ද කරන බවයි. එවැනි තත්ව යටතේ ඖෂධවේදියෙක් නොමැතිව එවන අයදුම්පත් ප්‍රතික්ෂේප නොකරන බවත්, එම අයදුම්පත්‍ර ඔෂධ නියාමන අධිකාරියෙන් තබාගෙන ඖෂධවේදියෙක් සහිතව අදාළ ලේඛන ලබාදී බලපත්‍ර ලබාගන්නා බවට දැනිම්දීම් සිදුකරන බවයි. 

පුවත්පතේ සඳහන් ලෙස එසේ බලපත්‍ර විශාල සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කර නොමැති බවයි වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නෙ.

ඖෂධවේදීන්ගේ හිඟයක් පැවතුණ නමුත් අදාළ ඖෂධ්වේදීන් නොමැති ඖෂධහල් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුකළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසනවා. 

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය):

රට පුර 2025 වසරේ ජනවාරි මස සිට ඖෂධහල් වැසී යාමේ අවදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් නොමග යවන සුළුයි. ඖෂධ්වේදීන් නොමැති ඖෂධහල් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් බලපත්‍ර ලබා නොදීමට කටයුතු කිරීම හේතුවෙන් මෙලෙසින් නොමග යවන සුළු සටහන්, පුවත් නිර්මාණ වීමට හේතු වී තිබේ.

Avatar

Title:රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක් මතුව ඇති බව පවසන කතාව ඇත්තක් ද?

Written By: Fact Crescendo Team  

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *