මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ ජනතාව පිළිපැදිය යුතු උපදෙස් රැසක් ගැන මැතිවරණ කොමිසම කියයි!

Election Awareness

 

2024 පාර්ලිමේන්තු මැතිවරණය හෙට දිනයේ (14) පැවැත්වීමට සියල්ල සූදානම්.

මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට අදාළ සියලු ම කරුණු, වරින් වර අදාළ පාර්ශව, මහජනතාව දැනුවත් කරමින් සිදු කරනු ලැබුවා.

මේ අතර හෙට දිනයේ පැවැත්වෙන මහ මැතිවරණය දිනය මෙන් ම ඉන්පසු ප්‍රතිඵල ලබා දෙන මොහෝතේ දී මහ ජනතාව පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා විසින් අවධානය යොමු කළා.

ඒ අනුව, මැතිවරණ ප්‍රතිඵල නැරඹීම සඳහා යෝධ තිරවල හෝ එළිමහන් ජනාකීර්ණ රැස්වීම් දැඩි ලෙස තහනම් කර ඇති අතර මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන කාලසීමාව තුළ නිවෙස්වල රැඳී සිටින ලෙස එම කොමිසය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමේදී කලහකාරී සිදුවීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය පියවර ගෙන ඇති බවත් එම තිර සහ උපකරණ ගලවා රාජසන්තක කර රැස්ව සිටි පිරිස විසුරුවා හරින බවත් ඔවුන් මේ පිළිබඳ අවධාරණය කරනවා.

ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථාන අසල රැඳී සිටීමට මහජනතාවට අවසර නොමැති බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයින්ට ඒවා මැතිවරණ දිනය වන නොවැම්බර් 14 වනදා දක්වා තමන් පදිංචි ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයෙන් ලබා ගන්නා ලෙසත්, එසේත් නැතිනම් මැතිවරණ e සේවාවන් යටතේ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් නිල ඡන්ද පත්‍රිකාවේ පිටපතක් ද ලබාගත හැකි බවත් දන්වා සිටී. එය සිදු කරන පියවරයන් නැරඹීම මෙතනින්.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පත්‍රිකාව තිබීම අනිවාර්ය නොවන අතර 2024 ඡන්ද ලේඛනයේ ඔවුන්ගේ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා වලංගු අනන්‍යතා සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

සියලුම ඡන්ද පෙට්ටි සෑම දිස්ත්‍රික්කයකම ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමෙන් පසු ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගෙනහැර දක්වෙන්නේ මෙලෙසින්.

මැතිවරණ දිනයේ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.15 ට ආරම්භ වන අතර ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණෙන වේලාව අනුව සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම පස්වරු 7.15 ට පමණ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙලෙසින් සඳහන් කරනු ලැබුවා.

ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ ප්‍රථමයෙන් එක් එක් පෙට්ටියේ ඇති ඡන්ද පත්‍රිකා ගණන් කර, එක් එක් දේශපාලන පක්‍ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම්වල ඡන්ද ගණන් කර පසුව එක් එක් අපේක්ෂකයන්ගේ මනාප ගණන් කිරීමෙන් පසුව එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කිරීම සඳහා ගණනය කරනු ලැබේ. 

එක් එක් ඡන්ද ප්‍රදේශයේ සහ දිස්ත්‍රික්කවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නේ ඒවා මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් සමාලෝචනය කර වලංගු කර අනුමත කිරීමෙන් පසුව පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ඡන්ද පත්‍රිකාවල ඡායාරූප හෝ වීඩියෝ පට ගැනීමෙන් වළකින ලෙසත්, ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේදී අවි ආයුධ රැගෙන යාම හෝ බීමත්ව සිටීම සපුරා තහනම් බවත්, රාජකාරියේ යොදවා සිටින ආරක්ෂක නිලධාරින් එය භාර ගන්නා ලෙසත් මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙනවා. 

මැතිවරණ නීති කඩ කරන එවැනි පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම, මැතිවරණ දිනය තුළ සහ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන කාලසීමාව තුළ රතිඤ්ඤා භාවිතා කිරීම සහ ඕනෑම ආකාරයක රැස්වීම් පැවැත්වීම සපුරා තහනම් බවත් එය මැතිවරණ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ මෙලෙසින්.

මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තම සේවකයන්ට නිවාඩු ලබාදීම අනිවාර්ය බවත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවකයන්ට ගමන් කිරීමට අවශ්‍ය දුර ප්‍රමාණය අනුව නිවාඩු තීරණය කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙලෙසින්.

කිසියම් ඡන්ද මධ්‍යස්ථානයක් ආශ්‍රිතව කිසියම් විනාශකාරී සිදුවීම් වාර්තා වුවහොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය අවලංගු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.

පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවරදිව ඡන්දය සලකුණු ආකාරය මෙතනින් සහ මෙතනින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මැතිවරණ සමයේ ආරක්ෂක තොරතුරු පැහැදිලි කළ අතර ජංගම මුර සංචාර සඳහා නව අන්තර්ජාල යෙදවුමක් ද භාවිත කරන බව පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් 20කට අධික පිරිසක් සහභාගී වන අතර මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි ඔවුන් මේ වනවිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් කළේ.

එම ඡන්ද පෙට්ටි මැතිවරණ නිලධාරීන් සමඟ අද (13) අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට නොවැම්බර් 13 සහ 14 යන දිනවල නිවාඩු ලබා දී ඇති අතර නොවැම්බර් 18 වනදා පාසල් යළි විවෘත කෙරේ.

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මනාපයෙන් නියෝජිතයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් නියෝජිතයන් 29ක් තෝරා පත් කර ගැනීමටත්, නව 10 වැනි පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් 225ක් තෝරා ගැනීමටත් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත. බහු ආසන 22ක් හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් මිලියන 17.1ක් සුදුසුකම් ලබා තිබෙනවා. එම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *