
වාමාංශික නැඹුරුවක් සහිත පක්ෂයක් මෙරට බලයට පත්වීමත් සමඟ එම රජය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් සහ පුවත් පළ වීම නිරන්තරයෙන් සිදුවනවා. මේ දිනවල ද උතුරු පළාතේ පැවති උද්ඝෝෂණයක් මුල් කරගනිමින් නොමඟ යවන සුළු සටහනක් සහිතව වීඩියෝවක් සංසරණය වනවා අපට නිරීක්ෂණය වුණා. ඒ නිසාම එම වීඩියෝව සම්බන්ධව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
“අපේ ඉඩම අපට දියව්.. මිනී මරු හමුදාව අපට එපා” යනුවෙන් සටන් පාඨ කියමින් සුළු පිරිසක් විසින් කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණයක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. එම වීඩියෝවේ “පුනරුදය උතුරින් ඇරඹේ. නැවතත් හමුදාවට මිනීමරු ලේබලය අලවයි. – කන්කසන්තුරේ බෞද්ධ විහාරය ඉවත් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණය කරයි” යනුවෙන් ද සඳහන්වී තිබුණේ මේ අයුරිනි. එහි “දවස් දෙකෙන් පුනරුදය..” යනුවෙන් ද සඳහන්ව තිබෙනවා.
මෙම උද්ඝෝෂණය සම්බන්ධව තවත් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරිනි.
මෙම ප්‍රවෘත්තිය දමිළ බසින් ද සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණේ මෙලෙසිනි.
කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට සිදු වූ මෙම උද්ඝෝෂණය කුමක් ද? එය මහ මැතිවරණයෙන් පසු පැවැත්වුණු එකක් ද? අපි මෙහි සත්‍යතාවය පිළිබඳ පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරිනි.
Fact Checked (කරුණු විමර්ශණය):
කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට මැතිවරණයෙන් පසු කාලයේ මෙවන් උද්ඝෝෂණයක් සිදු වූ බවට ප්‍රධන මාධ්‍ය වාර්තා කිරීම් සිදු වී සිදුව තිබුණේ නෑ. නමුත් Tamil Guardian නම් වෙබ් අඩවියේ මෙම සිදුවීම වාර්තා කර තිබුණා. එහි සඳහන් වන්නේ, ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) සමඟ එක් වූ දෙමළ විරෝධතාකරුවන් දෙමළ පවුල් 14 කට පුද්ගලිකව අයත් ඉඩම්, ශ්‍රී ලංකා හමුදාව විසින් අල්ලාගෙන එහි නීති විරෝධී ලෙස ඉදිකරන ලද විහාරස්ථානය ඉවත් කර සිය ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් විහාරය ඉදිරිපිට කළු කොඩි ඔසවාගෙන උද්ඝෝෂණය කරනු ලැබූ බවයි. මෙම පුවත පළ කර තිබෙණේ 2024 නොවැම්බර් 15 වන දින ය.
2023 මැයි මාසයේ සිට දෙමළ ජනතාව විහාරය ඉවත් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණවල නිරත වූ බව එම පුවතේ වැඩි දුරටත් සඳහන්වනවා. යූ ටියුබ් නාලිකාවක ද එම උද්ඝෝෂණයේ රූප රාමු පළ කර තිබුණේ මේ අයුරිනි.
කන්කසන්තුරේ පොලිස් කොට්ඨාසය
ඒ අනුව මෙලෙස පසුගිය 15 වන දින මෙවන් උද්ඝෝෂණයක් සිදුවුණේ ද යන්න තහවුරු කරගැනීම සඳහා කන්කසන්තුරේ පොලිසියෙන් විමසීමක් සිදු කළා.
කන්කසන්තුරේ පොලිසිය පැවසුවේ 15 වන දින තිස්ස විහාරය ඉදිරිපිට එම විහාරයේ ඉඩම සම්බන්ධව උද්ඝෝෂණයක් සිදු වූ බවයි. එය අලුතෙන් සිදු වූවක් නොවන අතර පන්සලේ ඉඩම සම්බන්ධව බොහෝ කලක සිට මෙම උද්ඝෝෂණයන් දිගින් දිගටම සිදු වූ බවත්, එම උද්ඝෝෂණ දෙමළ ජාතික ජනතා පෙරමුණ මැදිහත්ව සිදුවන බවත් පොලිසිය පවසනු ලැබුවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් උසාවිය තුළ නඩුවක් විභාගවන බැවින් ඒ සම්බන්ධ පොලිසියේ අදහස් දැක්වීමක් සිදුකළ නොහැකි බවයි පොලීසිය අප වෙත පැවසුවේ. නමුත් උද්ඝෝෂණය සාමකාමීව සිදුවන එකක් බැවින් ඉන් කිසිඳු පාර්ෂවයකට බාධවක් නොවන බව පොලීසිය පවසනවා.
දෙමළ ජාතික ජනතා පෙරමුණ
දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් ද අප මේ පිළිබඳව විමසීමක් සිදුකරනු ලැබුවා. එහිදී ඔවුන් පැවසුවේ මෙම උද්ඝෝෂණය මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ඊට අදාළව සිදුකරන ලද්දක් නොවන බවයි. පක්ෂය මැදිහත්ව මෙම උද්ඝොෂණ සිදුකරන්නේ, අසාධාරණයට ලක්ව ඉඩම් අහිමි වූවන් වෙනුවෙන් බවත් එය එක් දිනයක සිදු වූවක් නොව පසුගිය වසරේ සිටම මෙම උද්ඝෝෂණය සෑම මසකම එම විහාරය ඉදිරිපිට අදාළ ජනතාවට සාධාරණය ඉෂ්ඨ වන තෙක් සිදුකරනු ලබන බවය.
ඉඩම් අහිමි වූ බව පවසන පාර්ශව
මෙම විහාරස්ථානය හේතුවෙන් සිය ඉඩම් අහිමි වූ බව පවසන පාර්ශ්වකරුවන් ද්විත්වයකින් අප මේ පිළිබඳව විමසීමක් සිදුකරනු ලැබුවා. එහිදී ඔවුන් පැවසුවේ පසුගිය 15 වන දින තිස්ස විහාරය ඉදිරිපිට ඔවුන් උද්ඝෝෂණයක් සිදුකරනු ලැබූ බවයි. මෙම සාමකාමී උද්ඝෝෂණය සෑම මසකම පොහෝ දිනයේ සිදුකරනු ලබන බවයි ඔවුන් අප වෙත පැවසුවේ. ඔවුන්ට උසාවියෙන් ද මේ සඳහා අවසර ලබාදී ඇති බවත් ඔවුන් අප වෙත පැවසුවා. උසාවියෙන් අවසර දී ඇත්තේ කිසිඳු පාර්ශවයකට හෝ විහාරස්ථානයේ ආගමික කටයුතු වලට බාධා නොවන ලෙස මෙම උද්ඝෝෂණ පැවැත්වීමට බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව තමන්ට සාධාරණය ඉෂ්ඨ වන තෙක් දිගටම මෙම උද්ඝෝෂණ සිදුකරන බවයි එම පිද්ගලයන් අප වෙත පැවසුවේ.
වසරක වැනි කාලයක සිට මෙම උද්ඝෝෂණ මාලාව සිදුවන බැවින් අප මෙම සිදුවීමේ පසුබිම පිළිබඳව සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.
කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට කාලයක සිට උද්ඝෝෂණය කරන්නෙ ඇයි ?
කන්කසන්තුරේ වලිකාමම් උතුරේ තයියිට්ටි ප්‍රදේශයේ යුද හමුදාව විසින් ඉදි කර තිබෙන තිස්ස විහාරස්ථානය සමීපයේ මාර්ගය අයිනේ වසරක පමණ කාලයක සිට සෑම පුර පසළොස්වක් දිනකම දෙමළ ජනයා විරෝධතාවයන් දියත් කරනු ලබනවා.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාව විසින් තිස්ස විහාරස්ථානය ඉදිකර තිබෙන බවයි.
මෙම අරගලයට නායකත්වය සපයන්නේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාජා ගජේන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයායි. විහාරස්ථානය ඉදිකරතිබෙන භුමියේ ඉඩම් වලට අයිතිය කියන දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් අක්කර 6.2 වඩා වැඩි භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි. විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියද හිමිව නොමැති බවටද ඔවුන් සඳහන් කරනවා.
වස් පින්කම්, ඇසළ පෝය දින මෙන් ම යුධ හමුදාව විසින් විහාරස්ථානයේ සෑයේ සර්වඥ ධාතුන් තැන්පත්කරන අවස්ථාව ආදී අවස්ථා ගණනාවකදීම සෙල්වරාජා ගජේන්ද්‍රන් ප්‍රමුඛ සුලු පිරිසක් මෙම උඩම් ආරවුල සඳහා පාරවල් අවහිර කරමින් ද විරෝධතා දක්වා තිබෙනවා. වරක් උසාවි නියෝග කඩකිරීම මත සෙල්වරාජා ගජේන්ද්‍රන්ව අත් අඩංගුවට ද ගෙන තිබෙනවා. ඒ පිළිබඳ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්
කෙසේ වෙතත් මව්බිම පුවත්පතෙන් සිදු කර ඇති සාකච්ඡාවකදී තිස්ස විහාරාධිපති ගිංතොට නන්දාරාම හිමියන් පවසා ඇත්තේ මෙම උද්ඝෝෂණ සඳහා සාමාන්‍ය දෙමළ ජනයා සම්බන්ධ නොමැති බවයි.මෙය සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ ක්‍රියාවක් බවයි. දෙමළ ජනයා සහ පන්සල අතර ඉතා හොඳ සබඳතාවක් පවතින බවත් උන් වහන්සේ පවසා ඇති බව වාර්තා වනවා.
කන්කසන්තුරේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ ජනතාව මෙම විහාරසථානය ඉදිකිරීම සම්බන්ධව විරෝධයක් නොමැති බව දක්වමින් විහාරස්ථානය ආරක්ෂා කර ගැනීමට විශාල දමිළ ප්‍රජාවක් පෙරහැරකින් විහාරස්ථානය වෙත ගොස් බුද්ධ පූජාවක් ද පවත්වා තිබෙනවා. එම තොරතුරු මෙතනින්.
කෙසේ වෙතත් මේ සම්බන්ධව නඩුවක් විභාගවන අතර දිගින් දිගටම සෑම මසකම සාමාන්‍ය පරිදි මෙම උද්ඝෝෂණ සිදුකරනු ලබනවා.
තිස්ස විහාරය යනු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේව සංඝමිත්තා තෙරණින් වහන්සේ අනුරාධපුරය දක්වා වැඩම කරවීමේදී වඩා හිඳුවන ලද පූජනීය ස්ථානයක්වනවා. විහාරස්ථානයේ ඓතිහාසික වැදගත්කම මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion) :
මෙම කරණු ඔස්සේ පැහැදිලි වන්නේ කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට සිදුකෙරෙන විරෝධතා කාලයක් පුරාම සිදුවන්නක් බවයි. විහාරස්ථානය ඉදිකර තිබෙන ඉඩම සම්බන්ධ ආරවුලක් හේතුවෙන් මෙම විරෝධතා පැවැත්වෙනු ඇති. ඒ අනුව නොවැම්බර් 15 වන පොහෝ දිනයේදී ද සුපුරුදු පරිදී මෙම විරෝධතාවය පැවති අතර එය නව ආණ්ඩුව හෝ මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු නොවූවක් බව පැහැදිලිවනවා.

Title:කන්කසන්තුරේ බෞද්ධ විහාරයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් සිදු කරනලද උද්ඝෝෂණයේ ඇත්ත කතාව!
Written By: Fact Crescendo TeamResult: Misleading
