රාජ්‍ය සේවයේ ලක්ෂ 5කට වැඩි සේවක කප්පාදුවකට, ජනාධිපති අනුර උපදෙස් දුන්නා ද?

Misleading Political

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රටක සංවර්ධනයට පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයද එක සේ වැදගත්ය. නමුත් මෙරට රාජ්‍ය අංශය සම්බන්ධයෙන් පවතින මත විවිධාකාරය. රාජ්‍ය අංශය ඇතැම් විට ප්‍රශංසා ලැබුවද, බොහෝ අවස්ථාවන්හි දී රටට බරක් වී ඇති බවටත්, අකාර්යක්ෂම බවටත් දැක්වෙන කතාබහ අපට නිතර අසන්නට ලැබෙනවා. 

කලාපයේ රටවල් සමඟ සසඳද්දී ඉහළ ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ යෙදෙන රටක් ලෙස සැලකෙන ලංකාවේ රාජ්‍ය සේවය සීමා කිරීම සම්බන්ධයෙන් බලයට පත්වන බොහෝ ආණ්ඩු පවසන නමුත් එය නිසි ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වීමක් සිදුවුණේ නෑ. 

දැන් නව ආණ්ඩුවක් බලයට පත්ව ඇති මොහොතක ද රාජ්‍ය සේවය සම්බන්ධයෙන් කතා බහක් නැවත නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සටහනක කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

“රාජ්‍ය සේවය ලක්ෂ 5.5 ඉවත් කිරීමට ජනාධිපති උපදෙස් දෙයි. ලක්ෂ 7.5ක් අනිවාර්‍යෙන් ඉවත් කළ යුතුයි. IMF කියයි? – ඉන් ලක්ෂ 2ක් සංවර්ධන නිලධාරින් ද?” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ,රාජ්‍ය සේවය ලක්ෂ 5.5ක කප්පාදු කිරීමක් කිරීම පිළිබඳව ජනාධිපති උපදේශකවරු සාකච්ඡා කර ඇති බවයි. එහිදී සංවර්ධන නිලධාරීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව ද සඳහන් ය. 

එබැවින් ඉදිරියේදී පවතින අවනිශ්චිතතාවයට හිත හදාගන්නා ලෙසත්, එවැනි තීරණයක් ගන්නේ නම් ඒ වෙනුවෙන් සටන් කරන බවත් එහි සඳහන් වනවා. මෙය පළ කර තිබුණේ රාජ්‍ය සේවා ජාතික සංවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් බවයි එහි සඳහන් වන්නෙ. එම සටහනේ Daily Mirror වෙබ් අඩවියේ පළ වූ පුවතක් ද උපුටා දක්වා තිබුණා. එම සටහන පහතින්.

Fb|Archive

ඒ අනුව රාජ්‍ය සේවකයින් අඩු කිරීමක් පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණ්ඩුවේ ස්ථාවරයක් ප්‍රකාශ කර තිබෙනවා ද යන්න පිළිබඳව අප කරුණු සොයා බැලීමක් කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශණය)

අප මුලින් ම මෙම සටහනේ උපුටා දක්වා තිබූ ඩේලි මිරර් වෙබ් අඩවියේ පුවත පරීක්ෂා කර බැලීමක් සිදු කළා. එම පුවත සඳහා, BMICH හි පැවති ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සම්මාන උළෙලකදී, ජ්‍යේෂ්ඨ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව සිදුකළ ප්‍රකාශයක් පාදක වී තිබුණා. එම මහතා සිදුකළ ප්‍රකාශය මුල් කරගනිමින් තවත් ප්‍රධාන මාධ්‍ය කිහිපයක් ද එම පුවත වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.

ඩේලි මිරර් වෙබ් අඩවියේ පුවත ඇතුළු මෙම පුවත් ඔස්සේ වාර්තා කර තිබෙන්නේ, නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමට නොහැකි වනු ඇති අතර, නුදුරේදීම රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව ප්‍රකාශ කළ බවයි. එම මහතා සිදුකළ ප්‍රකාශය Asian Mirror සහ Daily Mirror වෙබ් අඩවි තුළ උපුටා දක්වා තිබුණේ මේ අයුරින්.

අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට අපට හැකියාවක් නෑ. නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවකයින් ගණන අඩුකර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,

අපට අවශ්‍ය වන්නේ මිලියන 1.3ක් වන සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කර කාර්යක්‍ෂමතාවය සඳහා ඉතිරි කාර්ය මණ්ඩලයේ තරඟකාරී වැටුප් ගෙවීමටයි. අපි මෙම සේවාවන් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ යුතු අතර බදු ගෙවන්නන්ගේ අරමුදල් ඵලදායි ලෙස භාවිතා කිරීමට වග බලා ගතයුතුයි.

රාජ්‍ය සේවකයන්ට අකාර්යක්ෂම සේවාවන් හඳුනා ගැනීමටත්, ඒවා වළක්වා ගැනීමට සහ කාර්යක්ෂම කිරීමටත් හැකි ආකාරය බැලිය යුතුයි. අපි කියන්නේ නැහැ පුද්ගලීකරණය කරන්න කියලා. අපි කියන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමටත් වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සමඟින් මහජනතාවට සේවය කරන්න කියලයි.”

අනුව ඉහත කිසිඳු පුවතක රාජ්‍ය සේවකයින් අඩු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවට හෝ සංවර්ධන නිලධාරීන් ඉවත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවට එම මහතා සඳහන් කළ බවක් වාර්තා කර නොමැති අතර එම මහතාගේ අදහස් දැක්වීමක් සිදුකර ඇති බව පැහැදිලිවනවා.

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපතිවරණයට පෙර ද මෙම රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එතුමාගේ අදහස දක්වා තිබුණේ මේ අයුරින්.

එසේම, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවකයින් ඉවත් කරන බවට ප්‍රකාශයක් සිදුකිරීමක් හෝ එවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේනම් එය මෙරට ප්‍රධාන මාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් ලෙස වාර්තා වනු ඇත. එමෙන් ම රාජ්‍ය සේවකයින් ඉවත් කිරීම තුළ සමාජ, ආර්ථික ප්‍රශ්න රැසක් උද්ගත වන බැවින් රාජ්‍ය සේවක විරෝධතා රටේ අනෝදෝලනයට තුඩු දෙන පුවත් වනු ඇත. නමුත් ප්‍රධාන මාධ්‍ය එවැන්නක් වාර්තා කර නොතිබුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනා අදහස් දක්වා තිබුණේ දුමින්ද හුලංගමුව මහතාගේ ප්‍රකාශය මුල් කර ගනිමින්. එවැනි සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින්,මෙතනින් සහ මෙතනින්.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව දැක්වෙන්නේ, රාජ්‍ය සේවක කප්පාදුවක් සිදු  නොකර රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

 

රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න

Daily Mirror වෙබ් අඩවිය කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කර ඇත්තේ, රාජ්‍ය සේවය කප්පාදු කිරීමට රජයට කිසිදු සැළසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.

Daily Mirror වාර්තා කිරීමට අනුව, එම මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජයේ ආදායම් ශක්තිමත් කිරීමේ ව්‍යායාමයක් ලෙස රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස විවිධ තැන්වලින් ඉල්ලීම් ඉදිරිපත් වුවද රැකියා කප්පාදු කිරීම තවත් අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වන බවයි. එබැවින් එවැනි ක්‍රියාමාර්ග නොගන්නා බවත් මෙම කරුණු පිළිබඳ සළකා බැලිය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම ඉදිරි බඳවාගැනීම් සිදුකිරීමේදී ඵලදායිතාව පිළිබඳ සොයා බලන බව ද ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අනුව මීට පෙර විවිධ රජයන් යටතේ ඵලදායිතා අංශය කෙරෙහි අවධානයක් යොමු නොකර තාවකාලික ක්‍රමවේදයකට උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බවත් එය පියවරෙන් පියවර නිවැරදි කරන බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය

රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේද යන්න, අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදුකළා. රැකියාවක් සිදුකරන පුද්ගලයෙක් රැකියාවකින් ඉවත් කිරීමක් සිදුනොවන බවත්, අකාර්‍යක්ෂම රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කර ඵලදායීතාව ඉහළ නැංවීමක් හෝ වැඩි සේවකයින් තවත් ස්ථානයකට අනියුක්ත කිරීමක් සිදුකිරීමක් මිස ‍රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමේ තීරණයක් ජනාධිපතිවරයා ගෙන නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කිරීමක් සිදුකරනු ලැබුවා. 

රැකියාවකින් සේවකයෙක් ඉවත් කිරීම සමාජ ආර්ථික ගැටලුවලට තුඩු දෙන කාරණයක් බැවින් ප්‍රතිපත්තිමය වශයෙන් එවැන්නක් සිදු නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (10) දිනයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව ද පැවති අතර එහිදී ද රජයේ එවැනි ස්ථාවරයක් පිළිබඳව දැනුම්දීමක් සිදු නොවීය.

අප රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් එම මහතා සම්බන්ධ කරගත නොහැකි විය. මේ සම්බන්ධයෙන් එම මහතාගේ ද අදහස සහිත මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අපි බලාපොත්තු වනවා.

ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල (IMF)

පසුගිය නොවැම්බර් මස පැවැත් වූ IMF මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සහාය දක්වන වැඩසටහනේ තුන්වන සමාලෝචනය යටතේ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය තක්සේරු කිරීම මෙහිදී සිදු වුණා. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Katya Svirydzenka ඒක් වී තිබුණා.

රාජ්‍ය අංශයේ කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය සහ බදු එකතු කිරීම සම්බන්ධයෙන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව IMF අවධාරණය කර ඇති හෙයින් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල මොනවාද යන්න සහ එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීමට රජය දක්වන කැපවීම ඔබ තක්සේරු කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහදී කොළඹ සිටින IMF නේවාසික නියෝජිතයා Martha Woldemichael විසින් පැනයක් යොමු කරනු ලබනවා.

මීට පිළිතුරු දෙමින් Katya Svirydzenka පවසන්නේ, විශේෂයෙන් රාජ්‍ය අංශයේ කළමනාකරණය, රජය සතු ව්‍යවසායන් සහ බදු එකතු කිරීම් යන ක්ෂේත්‍රවල, කිහිපයක් නම් කිරීමට, රජය විසින් දැනටමත් ප්‍රතිසංස්කරණ රාශියක් ගෙන ඇති බව ත්, නිදසුනක් වශයෙන්, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍යකරණයට යහපාලනය සහ විනිවිදභාවය පිළිබඳ මූලධර්ම ඇතුළත් කරනු ඇති බව ත් ය.

රාජ්‍ය ව්‍යවසායන් තවදුරටත් රාජ්‍ය මූල්‍ය සහ බදු ගෙවන්නන් මත බරක් නොවන බවට වග බලා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා IMF සහාය දක්වන වැඩසටහනේ වැදගත් අංගයක් බව ත්, එම අවදානම් තවදුරටත් අඩු කරමින් SOE හි උරුම ණය ද ආපසු ගෙවා විසඳනු ලැබේ. විවිධ බදු එකතු කිරීමේ ආයතනවල බදු එකතු කිරීම වැඩිදියුණු කිරීම සහ පාලනය වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු උත්සාහයක් ගෙන ඇති බව ත්, එබැවින් සමස්තයක් වශයෙන් ගත් කල, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ පාලනය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා රජයෙන් පැහැදිලි කැපවීමක් ඇති බවයි පෙන්වා දෙන්නේ. නමුත් මෙහිදී ද, රාජ්‍ය සේවක කප්පාදුවක් අනිවාර්‍යෙන්ම නිර්දේශ කරන බවක් පිළිබඳ අදහස් නොකරයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් අප IMF නේවාසික කාර්යාලයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන්ලේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclution):

අපගේ කරුණු විමර්ෂණය ඔස්සේ පැහැදිලිවන්නේ, රාජ්‍ය සේවක කප්පාදුවක් පිළිබඳව ජනාධිපතිවරයා උපදෙස් ලබාදීමක් සිදුකර නොමැති අතර නව ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමක් සම්බන්ධව සිය ස්ථාවරයක් ප්‍රකාශ කර නොමැති බවයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ද රාජ්‍ය සේවක කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවය කාර්‍යක්ෂම කිරීම කෙරෙහි අවදානය යොමු තිබෙනවා.



Avatar

Title:රාජ්‍ය සේවය ලක්ෂ 5.5ක් ඉවත් කිරීමට ජනාධිපති අනුර උපදෙස් දුන්නා ද?


Written By: Fact Crescendo Team  

Result: Misleading



Leave a Reply

Your email address will not be published. Required fields are marked *