දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මැති ඇමතිවරුන්ගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව දැඩි කතා බහක් ඇති වී ඇති පසුබිමක, හිටපු දේශපාලනඥයන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙනුත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙනුත් මේ දිනවල විවිධ අදහස් පළවෙන බැවින් ඒ පිළිබඳව පැහදිලි කිරීමක් කිරීමට අප තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
ආචාර්ය උපාධි කතා අතරේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙන් ද ඇතමුන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ කර තිබුණේ, රනිල් වික්‍රමසිංහ මහතා සිය නිහතමානිත්වය හේතුවෙන් ආචාර්ය රනිල් වික්‍රමසිංහ ලෙස තමාව හැඳින්වීමට ඔහු අකමැති බවයි.
Facebook | Archived Link Fb|Archive
එම තේමාවෙන් පළ වූ තව ත් සටහන් කිහිපයක් පහතින්.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ආචාර්ය උපාධිය කුමක් ද? කුමන විශ්ව විද්‍යාලයෙන්, කුමන ක්ෂේත්‍රයක් උදෙසා ලබාගත්තක් ද යනුවෙන් තව ත් පිරිසක් මේ සම්බන්ධයෙන් මෙලෙසින් උනන්දු වී තිබුණා.
මේ හේතුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආචාර්ය උපාධිය පිළිබඳව අප කරුණු විමර්ශණයක් සිදුකිරීමට පියවර ගනු ලැබුවා.
කරුණු පැහැදිලි කිරීම (Explanation)
දශක හතරකට අධික දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා දේශපාලනයෙහි නිල පදවි විශාල සංඛ්‍යාවක් දැරූ, බහුල දේශපාලනික අත්දැකීම් සහිත දේශපාලන චරිත කිහිපය අතරින් එක් අයෙකි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ දේශපාලන කරුණු මත වැඩියෙන්ම විවේචනයට ලක්වෙන දේශපාලඥයන් කිහිපදෙනා අතරත් රනිල් වික්‍රමසිංහ මුල්තැනක් ගන්නවා.
නමුත් උසස් අධ්‍යාපනයක් ලබා ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ඉතිහාසය තුළ ඔහුගේ නම භාවිතා කිරීමේදී වෘත්තීය සුදුසුකම් නාමයක් හෝ අධ්‍යාපනික සුදුකම් නාමයක් සිය නම සමඟ භාවිතා කිරීමක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඔහුව දේශපාලනික තනතුර සමඟ රනිල් වික්‍රමසිංහ යනුවෙන් හැඳිවීම පමණක් දේශපාලනය තුළ සිදුවිය.
පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළ ද ඔහුව හඳුන්වා ඇත්තේ, ගරු රනිල් වික්‍රමසිංහ යන නාමයෙන් පමණි.
නමුත් පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළ ඔහු වෘත්තීමය වශයෙන් නීතිඥයෙක් වන බව දක්වා තිබෙනවා. එමෙන්ම අධ්‍යාපනික සුදුකම් ලෙස ඔහු නීති උපාධිය හදාරා ඇති බව සඳහන්.
එහෙත් පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළ ඔහුගේ ‘ආචාර්ය’ උපාධියක් පිළිබඳව සඳහන්ව නොමැත.
2024 ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අපේක්ෂකයන්ගේ අධ්‍යාපනික සුදුකම් සම්බන්ධයෙන් BBC සිංහල ලිපියක රනිල් වික්‍රමසිංහ මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් දැක්වෙන්නේ මේ අයුරින්.
ඒ තුළ ද ඔහු නීති උපාධිය හදාරා ඇති බවත්, නීතිඥයෙක් ලෙස වසර පහක් සේවය කළ බවත් සඳහන් වනවා.
විශේෂයෙන් ම 2017 වසරේදී ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමුනු බව එහි සඳහන් කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහගේ ආචාර්ය උපාධිය
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ආචාර්ය උපාධියක් 2017 වසරේදී ලැබී තිබෙනවා ද යන්න අප පරීක්ෂා කළ අතර අපට පැහැදිලි වුණේ, ඔහුට එවැනි ආචාර්ය උපාධියක් ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයෙන් පිරිනමා ඇති බවයි.
ඒ සම්බන්ධව 2017 වසරේ පුවත් රැසක් වාර්තා වී තිබුණු අතර ඉන් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
එම පුවත්වල දැක්වෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින්, එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සම්මාන ආචාර්ය උපාධියක් (Honorary Doctorate in Law) පිරිනමා තිබෙන බවයි.
2017 වසරේ 14 වන දා ඩීකින් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි කුලපති මහාචාර්ය ජෝන් ස්ටැන්හෝප් (Prof. John Stanhope) මහතා විසින් මෙම සම්මාන ආචාර්ය උපාධිය පිරිනමා තිබෙනවා.
ඒ සඳහා හේතු පාඨ දක්වමින් විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය ජේන් ඩෙන් හොලැන්ඩර් (Prof. Jane Den Hollander) මහත්මිය පවසා තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ නාමය අන්තර් ජාතික වශයෙන් ඔසවා තැබීම, ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් මුල්‍ය සහය ලබා ගැනීමට පදනම සැකසීම, යහ පාලනය ස්ථාපිත කරලීමට කැපවීම යනාදී කරුණු ගණනාවක් ද මෙහිදී සැලකිල්ලට ගත් බවය.
අප ඕස්ට්‍රේලියාවේ Deakin University වෙබ් අඩවියත් පරීක්ෂා කළ අතර එහි ද 2017 වසරේදී එම විශ්ව විද්‍යාලයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමූ මෙම ආචාර්ය උපාධිය පිළිබඳව සඳහන්වනවා.
ඒ අනුව මෙම ආචාර්ය උපාධිය ඔහු ආචාර්ය උපාධියක් හදාරා ලැබුණු එකක් නොව රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරවයක් ලෙස ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු එකක් බව පැහැදිලි වනවා.
ඉහත පුවත්වල සඳහන් විශේෂ කරුණක් වන්නේ, මෙම උත්සවයෙන් අනතුරුව එවක අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගෞරව උපාධි නාමය කිසි විටෙකත් තමාගේ රාජකාරී හෝ පුද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකරන බවට උපදෙස් ලබා දී ඇති බවයි. එහිදී අදහස් වන්නේ ඔහු ආචාර්ය යන නාමය භාවිත කරන්නට එපා යනුවෙන් පැවසුවේ, ඔහුගේ නිහතමානිත්වය පිළිබිඹු කිරීමට බව බොහෝ දෙනා අදහස් දරා තිබුණා. නමුත් සත්‍ය වශයෙන් ම වික්‍රමසිංහ මහතාට ලැබුණු ආචාර්ය නාමය ඔහුට සාමාන්‍ය ජීවිතයේදී භාවිත කිරීමට අවසර හිමි වනවාද අපි ඒ ගැනත් විමසා බැලීමක් සිදු කළා.
ගෞරව උපාධි පිළිබඳව ඩිකින් විශ්වවිද්‍යාලයේ සඳහන් වන්නේ කෙසේ ද ?
ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය විසින් ඔවුන් පිරිනමන ගෞරව උපාධි පිළිබඳව සඳහන් කර ඇති අතර එහි විශේෂයෙන් දක්වන්නේ, එම ආචාර්ය උපාධිය ඕස්ට්‍රේලියානු සුදුසුකම් රාමුවේ (AQF) කොටසක් නොවන අතර එය ගෞරවනීය ප්‍රදානයක් ලෙස පමණක් ලබාදෙන බවයි.
එනම් විශ්වවිද්‍යාලයේ අරමුණුවලට අනුකූලව ප්‍රජාවට කරන ලද දායකත්වය පිළිබඳව ගෞරව කරමින් මෙම ගෞරව උපාධි පිරිනමනු ලබනවා.
එමෙන් ම ගෞරව ආචාර්ය උපාධි සඳහා සම්මානලාභියෙක්ගේ එම ආචාර්ය උපාධිය ඩීකින් විශ්වවිද්‍යාලයට සීමාවන අතර එය බාහිර සමාජය තුළ භාවිතා කළ නොහැකි බව දක්වා තිබෙනවා. ඔවුන් දක්වන්නේ එය විශ්වවිද්‍යාලයෙන් පිටත පිළිගත් විධිමත් සුදුකමක් නොවන බවයි. එම විස්තර මෙතනින්.
ඩිකින් විශ්ව විද්‍යාලය මඟින් ගෞරව සම්මාන ලබාදෙන ක්‍රියාපිළිවෙල සිය නිල වෙබ් අඩවියේ දක්වා තිබෙන්නේ මෙලෙසින්.
ලෝකයේ ගෞරවයට පාත්‍රවන චරිත සඳහා විවිධ විෂයන් ඔස්සේ මේ ආකාරයට සම්මාන ආචාර්ය උපාධි ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයෙන් සෑම වසරකම පිරිනමන බව එහි වෙබ් අඩවියේ ඇති තොරතුරු වලින් පැහැදිලි වනවා.
එබැවින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ආචාර්ය උපාධිය ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ගෞරවනීය පිරිනැමීමක් ලෙස ලැබී ඇති අතර එය සාමාන්‍ය භාවිතාව තුළ අධ්‍යාපනික සුදුසුකම්ක් ලෙස භාවිතා කළ නොහැකි බව පැහැදිලි වනවා.
2024 වසරේ දී මේ දක්වා එසේ පිරිනැමූ සම්මාන ආචාර්ය උපාධි ලාභීන් 5 දෙනෙකු ගැන සඳහන් වන අතර 2017 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා සම්මාන උපාධිය ලද වසරේ ද ඔහුට අමතරව තවත් 7 දෙනෙක් මේ ආකරයෙන් විශ්ව විද්‍යාලයේ ගෞරවයට පාත්‍ර වී තිබුණා. එම විස්තර සියල්ල මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
