පාසල් නිල ඇඳුම් චීනයෙන් ලබාදීමේ උත්සවයේදී අගමැතිනි,  ස්තූතියි කලේ චීනයට නෙවෙයි ද ?

Insight Political

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රජය විසින් පාසල් සිසුන් සඳහා විවිධ ප්‍රදානයන් සිදුකරමින් පාසල් අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට උත්සහ කරන අතර පාසල් නිල ඇඳුම් ලබාදීම ද එම ප්‍රදානයන් අතර ප්‍රමුඛ වී තිබෙනවා. 

ඒ අනුව චීන රජය විසින් 2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා දීම සඳහා අවශ්‍ය සම්පූර්ණ රෙදි ප්‍රමාණය නොමිලයේ මෙරටට ලබා දීම පසුගිය 10 වන දින සිදු වූ අතර එහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදුකළ කතාව පිළිබඳ දැඩි කතාබහට ලක්වී තිබෙනවා. එබැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට අප තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

පාසල් නිල ඇඳුම් නොමිලේ මෙරටට ලබාදීමේදී චීනයට ස්තූතියි කිරීම වෙනුවට චීනයේ සතුරා වන තායිවානයට හරිනි අමරසූරිය මහත්මිය ස්තූතියි කළ බවත්, Republic of China යනු තායිවානය බවත්, Public Republic China යනු චීනය බවත් අගමැති හරිනි නොදන්නා බවටත් චෝදනා කරමින් සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb

මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස අගමැති හරිනි අමරසූරිය මහත්මිය පාසල් නිල ඇඳුම් ලබාදීමේ උත්සවයේදී ස්තූති කළේ කෙසේ ද? ඒ පිළිබඳ පැහැදිලි කිරීම මෙසේ ය.

කරුණු පැහැදිලි කිරීම (Explanation):

2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා දීම සඳහා අවශ්‍ය සම්පූර්ණ රෙදි ප්‍රමාණය නොමිලයේ මෙරටට ලබා දීමට චීන රජය එකඟ වී ඇති බව 2024.11.06 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී  හිටපු මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා මෙසේ සඳහන් කරනු ලැබුවා.

කෙසේනමුත් නිල ඇඳුම් මෙසේ නොමිලයේ ලබාදීමට කටයුතු සියල්ල සුදානම් කලේ වත්මන් රජය නොව පසුගිය රජයේ තමන් අධ්‍යාපනික ඇමතිව සිටි අවධියේ බව එවකට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෑතක දී ප්‍රකාශයක් සිදුකරන ලද අතර ඒ බව අධ්‍යාපනික අමාත්‍යංශයේ නිල ෆේස්බුක් පිටුව හරහා, ජනතිපතිවරණ මැතිවරණයට දින කිහිපයකට පෙර පළකර තිබු මෙම නිවේදනය හරහා ද දැක ගන්නට පුළුවන්.

නිල ඇඳුම් ලබාදීමේ නිල උත්සවය

2025 වසර සඳහා නිල ඇඳුම් රෙදි ලෙස පාසල් සිසුන් සඳහා ලබාදීමට අවශ්‍ය රෙදි මීටර් මිලියන 11.28ක ප්‍රදානය ශ්‍රී ලංකාවට මහජන චීන සමූහාණ්ඩුවෙන් හිමි වුණා. ඒ පිළිබඳව ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශය මෙතනින්.

පසුගිය(10) දින කොළඹ වරායේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong විසින් මෙම රෙදිපිළි ප්‍රදානය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත නිල වශයෙන් භාර දීම සිදු වුණා.

ඉහත සඳහන් කළ සමාජ මාධ්‍ය සටහන්වලට පාදක වී තිබුණේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම රෙදි පිළි ප්‍රදාන උත්සවයේදී චීනයට ස්තූතියි කරමින් සිදු කළ කතාවයි.

සමාජ මාධ්‍ය සටහන්වල Sunday Times වෙබ් අඩවිය වාර්තා කළ පුවතක් උපුටාගෙන තිබූ බැවින් අප එය පරීක්ෂා කළ අතර එහි සඳහන් වුණේ, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ පරම සතුරා වන තායිවානයට “ඇදහිය නොහැකි තරම් ත්‍යාගශීලී පරිත්‍යාගයක්” ලබා දීම ගැන ස්තුතිය ප්‍රකාශ කිරීමත් සමඟ විශාල රාජ්‍ය තාන්ත්‍රික දෝෂයක් ඇති වූ බවයි.

තවත් වෙබ් අඩවි කිහිපයක් එම පුවත වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.

මෙම පුවත්වල සඳහන්වන ලෙස අගමැති හරිනි අමරසූරිය නිල රෙදි ලබාදීම පිළිබඳව තායිවානයට ස්තූති කිරීමක් කළේ ද යන්න අප පරීක්ෂා කර බැලුවා. එහිදී පැහැදිලි වුණේ ඇය සිය ස්තූතියි කතාවේදී ස්තූතිය පළ කරන්නේ Republic of China යනුවෙන් සඳහන් කරමින් බව අපට පැහැදිලි වුණා.

එනම් තායිවානයේ නිල නාමය වන්නේ Republic of China (ROC) යි. මහජන චීන ආණ්ඩුව හැදින්විය යුත්තේ People’s Republic of China (PROC) යනුවෙනි. 

විශේෂයෙන් චීනය සහ තායිවානය අතර ඉතිහාසගත ගැටුමක් පවතින අතර එවැනි පසුබිමක තායිවානයේ නිල නාමය ප්‍රකාශ කිරීම මෙලෙස ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇතැමුන් ප්‍රකාශ කර තිබුනේ, චීන ප්‍රදානයකදී චීන තානාපති ඉදිරියේ ම තායිවානයේ නම භාවිතා කරමින් ස්තූතියි කිරීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් යම් දෝශ සහගත තත්වයක් බවයි.

අගමැති හරිනිගේ එම කතාව පහතින්,

 

අගමැති හරිනි අමරසූරිය

දෙසැම්බර් 17 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙම චීනය විසින් නිල ඇඳුම් ප්‍රදානයේදී වූ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ අතර එම මහත්මිය කියා සිටියේ, විපක්ෂය ප්‍රමුඛ ඔවුන්ගේ මාධ්‍ය අදාළ චීන ප්‍රදානය පිළිබඳ වාර්තා නොකර එහි සිදු වූ සිදුවීම වැරදි ලෙස සමාජගත කිරීමට උත්සහ ගන්නා බවයි. 

එහිදී ROC ලෙස චීනය හඳුන්වා තිබුණ ද එහිදී තමා ඇතුළු රජය පැහැදිලිවම අදහස් කලේ චීන රජය ලබාදුන් ප්‍රධානය ට කෘතගුණ දැක්වීම බවත්, චීන තානාපතිවරයා ද මෙසේ ඇතිවූ තත්වය ඉස්මතු කරමින් ජනගත කරන්නේ දේශපාලනික වුවමනා මත බව තේරුම් ගෙන තිබෙන බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර කිසිලෙසකත් අර්බුධයක් නොමැති බවත්, චීනය සමඟ රාජතාන්ත්‍රික සබඳතා එලෙසම පවතින බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙහිදී කියා සිටියා.

ඒ අනුව නව ආණ්ඩුවේ රාජතාන්ත්‍රික සම්බන්ධතා දුර්වල බව කියා පෑමට ව්‍යර්ථ උත්සයන් ඇතැම් පාර්ශවයන් ගන්නා බවයි එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, ක්වින් බොයෝන්ග් (Qin Boyong) මහත්මිය පසුගිය දෙසැම්බර් 18 වැනිදා  පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  හමු වී තිබුණා. 

ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය අගයමින් කථානායකවරයා  ක්වින් බොයෝන්ග් මහත්මිය ඇතුළු දූත පිරිස සඳහා දිවා භෝජන සංග්‍රහයක් මෙහිදී පවත්වා තිබූ අතර 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා චීන රජය කටයුතු කිරීම පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කර තිබුණා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය මෙතනින්.

ඒ් අනුව පෙනී යන්නේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර මෙම සිදුවීම හේතුවෙන් රාජතාන්ත්‍රික සම්බන්ධතා  දුර්වල වී ඇති බවට දක්වමින් පළ වන සටහන් නොමග යන සුළු බවයි. 

ලෝකයේ වෙනත් රටවල නායකයින් විසිනුත් මෙම වරද සිදු වී තිබෙනවා ද?

ලෝක දේශපාලනය දෙස අවදානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ, මීට පෙර වෙනත් රටවල නායකයින් විසිනුත් මෙම වරද එනම් චීනය Republic of China නම් තායිවානයේ නිල නාමයෙන්, චීන සමුහාණ්ඩුව හැඳින්වීම සිදු වී ඇති බවයි.

නිදසුනක් ලෙසක් G20  සමුළුවේදි 2017 වසරේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂින් ජින් පින් හමුවීමෙන් පසුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් හඳුන්වා තිබුණේ “චීන ජන රජයේ ජනාධිපති” ලෙසයි.

මෙය ලිඛිතව ම සිදු වූ රාජ තාන්ත්‍රිකව සිදු වූ වරදක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

A document with text on it

Description automatically generated

 

එම පුවත මෙතනින්. නමුත් පසුව අමෙරිකාව චීනයෙන් එලෙස චීන ජනාධිපතිවරයාව “චීන ජන රජයේ ජනාධිපති” ලෙස හැඳින්වීම පිළිබඳව සමාව ඉල්ලා තිබෙනවා. එම පුවත මෙතනින්.

Republic of China සහ People’s of China අතර වෙනස

People’s of China (මහජන චීන සමූහ ආණ්ඩුව) චීනය ලෙසත් Republic of China (චීන ජන රජය) තායිවානය ලෙසත් හඳුන්වනු ලබනවා. මෙම නම් තුළ යම් සමානාත්මතාවක් පවතින බව ඔබට අනිවාර්‍යයෙන් ම පෙනෙනවා.

එසේ වන්නේ මෙම රාජ්‍යයන් හවුල් ඉතිහාසයක් සහිත වෙනම රාජ්‍යයන් වන බැවිනි. මෙම චීනය සහ තායිවානය අතර ඉතිහාසගත ගැටුමක් පවතින අතර චීනය තායිවානය දකින්නේ තම රටෙන් බිඳී ගිය ‘පළාතක්’ ලෙස වන අතර, එය නැවතත් තමරටෙහි පාලනයට යටතට වනු ඇති බව චීනයේ විශ්වාසයයි. 

චීනය විසින් තායිවානය අත්පත් කර ගත්තේ නම්, බටහිර පැසිෆික් කලාපයේ බලය පැතිරවීමට ඉඩ ලැබෙන අතර, ගුවාම් සහ හවායි තරම් දුරින් පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරුවලට ද එය තර්ජනයක් විය හැකි බව ඇතැම් බටහිර විශේෂඥයින් පවසනවා.

People’s of China (මහජන චීන සමූහ ආණ්ඩුව) එනම් චීනය සහ Republic of China (චීන ජන රජය) හෙවත් තායිවානය අතර වෙනස සහ දෙරට අතර ගැටුමේ වර්ධනය පැහැදිලි කරගන්නනම් අපට මෙහි ඉතිහාසය අනිවාර්යෙන් ම පැහැදිලි කරගන්න වෙනවා.

නිල වශයෙන් චීන භූමියේ පවතින රජය චීන සමූහ ආණ්ඩුව ලෙසත්, තායිවානයේ පවතින රජය චීන ජනරජය ලෙසත් හඳුන්වනු ලබනවා. තායිවානය යනු, ගිනිකොනදිග චීන වෙරළේ සිට සැතපුම් 100 ක් පමණ දුරින් පිහිටි දූපතක්. මෙම දූපත සහ ප්‍රධාන භූමිය අතර ෆෝමෝසා නම් සමුද්‍ර සන්ධිය පිහිටා තිබෙනවා. 

Why China Would Struggle to Invade Taiwan

 

මෙම දෙරට අතර ගැටුමට දිගු ඉතිහාසයක් තිබෙනවා.

1911 දී අවසන් චීන අධිරාජ්‍යයා සිහසුන අතහැරීමෙන් පසු චීනය ජන රජයක් බවට පත්වුණා. මුල් කාලීනව මෙහි විවිධ කණ්ඩායම් බලය ස්ථාපිත කරගත්තා. මේ අතර මතු වූ එක් කණ්ඩායමක් වුණේ, ගුවොමින්ඩා හෙවත් චීන ජාතිකවාදී පක්ෂය (KMT) යි. එහි පළමු නායකයා වූයේ සුන් යත් සෙන්. ඔහුගේ මරණයෙන් පස්සේ, එහි නාය්කත්වයට චියැං කායි ශෙක් පත්වුණා. මේ අතර 1921 දී චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවනු ලැබුවා. 

මෙය ටික කලක් KMT පක්ෂය සමඟ එක්ව කටයුතු කළා. නමුත් 1927 දී KMT පක්ෂය විසින් කොමියුනිස්ට්වාදීන් මර්ධනය කළා. කොමියුනිස්ට්වාදීන් ග්‍රාමීය ප්‍රදේශවල කඳවුරු බැඳගත්තා 1937 සිට 1945 දක්වා ජපානය සමඟ යුධ වදින සමයේ ජාතිකවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අතර සටන් අවසන් වී තිබුණා. නමුත් 1945න් පසු දෙපාර්ශවය යළි ගැටුම් ඇති කරගත්තා.

මෙහිදී කොමියුනිස්ට්වාදින්ට සෝවියට් දේශයේ සහය ලැබුණා, ජාතිකවාදීන්ට අමෙරිකානු සහය ලැබුණා. 1949 වන විට කොමියුනිස්ට් හමුදා චීනයේ බලය ස්ථාපිත කරගත්තා. ඒ අනුව චියැං කායි ශෙක් තායිවාන දූපතට පලා ගියා. 

1949 ඔක්තෝම්බර් 1 වන දින කොමියුනිස් නායක මාඕ සේතුං විසින් මහජන චීන සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කළා. තායිවානයට පලාගිය පක්ෂයේ සේනාංක ලුහු බැඳීමට කොමියුනිස්වාදීන්ට හැකියාව තිබුණේ නෑ. අමෙරිකානු නාවික යාත්‍රා ෆෝමෝසා සමුද්‍ර සන්ධියේ මුර සංචාරය කිරීමත් ඊට හේතු වුණා. 

මුල් කාලීනව එක්සත් ජාතින්ගේ සංවිධානය ආදී අන්තර්ජාතික සංවිධාන බොහෝමයක් නිල චීන රජය ලෙස පිළිගත්තේ තායිවානයයි. එනම්, චීන ජන රජයයි (Republic of China). නමුත් 1971 දී එක්සත් ජාතීන් විසින් මහජන චීන සමූහාණ්ඩුව සිය නිල චීන නියෝජිතයා ලෙස පිළිගනු ලැබුවා. එයින් පසුව මහජන චීනයට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම වර්ධනය වූ අතර චීන ජනරජයට තිබූ පිළිගැනීම අඩු වුණා. මහජන චීනයේ අරමුණ තායිවාන දූපත යළි චීනයට සම්බන්ධ කරගැනීමයි.

තායිවානය මුල සිටම චීනයේ පළාතක් බව පැවසීමට චීනය මෙම ඉතිහාස තොරතුරු යොදාගන්නා නමුත් තායිවානය තර්ක කරන්නේ ඔවුන් කිසි විටෙකත් 1911 විප්ලවයෙන් පසු පිහිටුවන ලද නූතන චීන රාජ්‍යයේ හෝ 1949 දී මාඕ යටතේ පිහිටුවන ලද මහජන චීන සමූහාණ්ඩුවේ කොටසක් නොවූ බවයි.

දැනට තායිවානය ස්වාධීන රටක් ලෙස පිළිගනු ලබන්නේ වතිකානුව හැරුණු විට රටවල් 13ක් පමණක් වන අතර තායිවානය ස්වාධීන රටක් ලෙස හඳුනා නොගන්නා ලෙස හෝ එය ස්වාධීන රටක් ලෙස පිළි ගන්නා කිසිවක් නො කරන ලෙසට චීනය වෙනත් රටවලට සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් ද  කරමින් සිටිනවා.

(මූලාශ්‍ර මෙතනින්, මෙතනින් සහ මෙතනින්)

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

 

 

 

Avatar

Title:පාසල් නිල ඇඳුම් චීනයෙන් ලබාදීමේ උත්සවයේදී අගමැතිනි, ස්තූතියි කලේ චීනයට නෙවෙයි ද ?

Written By: Piumika Lakshani 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *