දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළ දමා ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය සටහන් පළකර ඇති ආකාරය අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
‘බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළට. පුනරුදයට ජය වේවා’ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.
තවත් එවැනිම සටහන් සමජ මාධ්‍යයේ පළ කර තිබුණේ මේ අයුරින්.
සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් බැංකුවෙන් ලැබෙන පොලියේ බදු 10% දක්වා ඉහළ දැමීම පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීමක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
කරුණු පැහැදිලි කිරීම (Explanation)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පසුගිය රජය ඇතිකරගෙ තිබූ එකඟතාවලට ජනතාවට සහ සැලසෙන පරිදි යම් යම් සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් පසුගිය 18 වන දින, ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කළ අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, බැංකු තැන්පතු සඳහා රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බවයි.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මාසයකට රු 150,000 පොලියක් ලබන පිරිස් මෙම 10% රඳවා ගැනීමේ බද්දට යටත් වන බවයි.
මෙය තවදුරටත් පැහැදිලි කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සාමාන්‍යය ක්‍රමය යටතේ රු 150,000කට පහළ පොළියක් ලබාගන්නා පිරිසට පවා රඳවා ගැනීමේ බද්දක් පැනවීමේ හැකියාව තිබෙන බවයි.
එබැවින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නව අංශයක් විවෘත කරන බවත්,ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ බැංකු ගිණුමකින් මෙම බද්දට ඇතුළත් නොවේ කියලා තමන් උපකල්පනය කරනවා නම් ඔවුන්ට දේෂීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් තමන්ගේ බදු තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කර එම බද්දට අතුළත් වීම වලක්වා ගත හැකි බවයි.
මෙහි අපේක්ෂාව වන්නේ, විශ්‍රාමිකයන් වැනි මාසිකව රු 150,000ට වඩා බදු සීමාව අඩු ආදායමක් ඇති සහ සියයට 10ට බදු අනුපාතයට වඩා අඩු ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට තමන්ගේ රඳවා තබාගැනීමේ බදු අය නොකරන ලෙස සහ අඩු රඳවා තබාගැනීමේ බදු අනුපාතයන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම වන බවත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා.
එවැනි පුද්ගලයින්ට කඩිනමින් උපදෙස් ලබා දීමේ යාන්ත්‍රණයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන ශාඛාව සහ සියළුම පළාත් වල පවතින ශාඛාවල සැකසීමට නියමිත බවත්,එබැවින් කිසිවෙකුට අගතියක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදි පවසනු ලැබුවා. මෙමඟින් රජය අපේක්ෂා කරන්නේ, බදු දැල සඳහා බදු යාන්ත්‍රනය පුළුල් කිරීමේ හැකියාව පමණක් වන බවත්, අඩු ආදායම් ලබන අයට අතිරේක රැදවුම් බද්දක් අය කිරීමේ අවශ්‍යතාවයක් මෙහිදී පැන නොනඟින බවත් ජනපති අනුර පවසනු ලැබුවා.
මෙරට සියලුම ප්‍රධාන මාධ්‍ය ද මෙම පුවත වාර්තා කර තිබූ අතර එම මාධ්‍ය වාර්තා කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදියෙක් මෙම රැඳවුම් බද්ද සම්බන්ධයෙන් විමසා සිටියේ මාසිකව ලක්ෂ 150,000කට වඩා අඩු පොලියක් ඇති සාමාන්‍ය අයගෙනුත් 10%ක් කැපෙනවා නේද යනුවෙනි. එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා නැවත පවසා සිටියේ, රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩි කළ බවයි. කවර හෝ තැන්පතුකරුවෙක්, විශ්‍රාමිකයෙක් මාසිකව ලක්ෂ 150,000කට වැඩියෙන් පොළියක් ලබාගන්නේ නම් ඔහු එම බද්දට යටත්වන බවයි. මන් ද ඔහු අවුරුද්දට ලක්ෂ 18ක් පොලී ආදායම ලැබීම හේතුවෙන් බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
නමුත් යම් අයෙක්ට තමන් ලක්ෂ 18ක ආදායමක් උපයන්නේ නැති නම්, එම නිසා මෙම රඳවා ගැනීම තමාගෙන් අය නොකළ යුතුයි යනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ ලියකියවිලි ඉදිරිපත් කර තහවුරු කර ගැනීමෙන් පසු, එම අයගෙන් මෙම 10% රඳවා ගැනීමේ බද්ද අය නොකරන බව ජනාධිපතිවරයා පවසනවා. එබැවින් විශ්‍රාමිකයින්, වැඩිහියන් යම් මුදල් ප්‍රමාණයක් බැංකුවේ යොදවා එම පොලියෙන් ජීවත්වනවා නම් මෙම රැඳුවුම් බද්ද වැඩි කිරීමෙන් ඔවුන් කිසිසේත් අසීරුතාවයකට පත් නොවන බව ජනාධිපතිවරයා පවසනවා.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම
රැඳවුම් බද්දේ සීමාවන් සංශෝධනය කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා ද පැහැදිලි කිරීමක් සිදුකරමින් පැවසුවේ,
මෙම රඳවා ගැනීමේ බද්ද අවසාන බද්දක් නොවන බවයි. ඕනෑම බදු ගෙවන්නෙකුට තමන්ගේ අඩු කරපු රඳවා ගැනීමේ බද්ද එක්ලක්ෂ පනස්දහේ ආදායම් බද්දෙන් නිදහස් කරපු සීමාවෙන් ඉහළට යන ප්‍රමාණයක් තිබෙනවානම් එම අමතර බදු ගෙවීමේදී රඳවා ගැනීමේ බද්ද ගෙවපු ප්‍රමාණය අඩු කරවා ගැනීමට හැකියාවක් තිබෙන බව අමාත්‍යවරයා පවසනවා. එමෙන් ම අපහසුතා තිබෙන ජ්‍යේෂ්ට පුරවැසියන්ට එක්ලක්ෂ පනස්දහ දක්වා මේ තුළින් බද්දක් ගෙවීමට අවශ්‍ය නොවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. 150,000 ට වඩා අඩු බදු සීමාවේ නම් යම් ජ්‍යේෂ්ට පුරවැසියෙක් සිටින්නේ, ඔවුන්ට මෙම රැඳවුම් බද්දෙන් සහනයක් ලබාගැනීමට සම්පූර්ණ අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
මහාචාර්ය වසන්ත අතුකෝරල
මෙම රැඳවුම් බද්ද අයකිරීම පිළිබඳව පැහැදිලි කරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කරන්නේ මෙවැන්නක්.
මහාචාර්යවරයා පවසන්නේ, මෙය සෑම පුද්ගලයෙකුටම නොවන බවයි.එනම්, මාසික පොලී ආදායම 150,000 වැඩි ප්‍රමාණයක් පවතින අයට පමණක් මෙය අදාලවන බව මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
මාසයකට 150,000කට වඩා වැඩි පොලී අනුපාතයක් ලබාගන්නට නම් සාමාන්‍යයෙන් දෙකෝටි විසිපන් ලක්ෂයක පමණ හෝ මිලියන 22.5 තැන්පතු ප්‍රමාණයක් තිබෙන්නට අවශ්‍යබවත් පෙන්වා දෙමින් මහාචාර්ය වසන්ත පවසන්නේ, මෙයින් සාමාන්‍ය ජනතාවට බලපෑමක් සිද්දවන බවක් තමන් නොසිතන බවයි. මෙහිදී රජයේ පාර්ශවයෙන් කිසියම් වැඩ පිළිවෙලක් ඉදිරිපත්ව ඇති බවත්, එහිදී කිසියම් පුද්ගලයෙකුගේ ආදායම 150,000ට වඩා අඩු මට්ටමක පවතින්නේනම් ආදායම් බදු දෙපාර්තමේන්තුවත් සමඟ සාකච්ඡා කර ඒ තුළින් ක්ලියරන්ස් එකක් ගෙන එම මුදල් අඩු නොකර සිටින තත්වයක් කරා යෑමට පුලුවන් බවයි.
එය කොතරම්දුරට කාර්යක්ෂමව ක්‍රියාත්මකවනවා ද යන කාරණය මත සාමාන්‍ය ජනතාවට මෙය බලපාන්නේ කෙසේද කියන එක තීරණය වන බවයි එම මහතා පවසන්නේ. පුද්ගලයන්ට තමන්ගේ ආදායම් පිළිබඳ සත්‍ය වාර්තාවන් ඉදිරිපත් කර මෙම රැඳවුම් බදුවලට තමන් අදාළ නොවන බව පැහැදිලි කර එය අඩු නොකර සිටීම සඳහා ක්‍රියා කිරීමට හැකියාව පවතින බව එම මහතා පෙන්වාදෙනවා. මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමෙන් විශ්‍රාමිකයන්ට හෝ අමාරුවෙන් ජීවත්වන පිරිසට වාසියක් වන බවත්, පොඩි ආදායමක් ලබන අයට මේ තුළින් ලොකු බලපෑමක් වෙනවා කියන කතාවේත් කිසිඳු පදනමක් නොමැති බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කරනවා.
සියලු තැන්පත් ගිණුම්වලින් 10% රැඳවුම් බද්ද කැපෙනව ද?
සාමාන්‍ය ක්‍රමවේදය යටතේ, සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපා ගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (26දා) ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවති ජනමාධ්‍ය හමුවේදී පිළිගනු ලැබුවා.
එසේ කපා ගැනීම සිදු වුවත්, බදු නොගෙවිය යුතු අයට එම මුදල් නැවත ලබාදෙන යාන්ත්‍රණය රජය විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන බවද එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රනාන්දු කියා සිටියා.
එවැනි යාන්ත්‍රණයක් හදන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවත් ඒ සහනය ලබාගන්නා ක්‍රමවේදය සකසන බවත් බදු නොගෙවිය යුතු අයට මේ සියයට 10ක රැඳවුම් බද්ද කපා ගැනීමෙන් අසාධාරණයක් වීමට ඉඩ නොතියන බවටත සහතික වන බවත් ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියා.
මේ අනුව ඇමැතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනාවරණය වුණේ, රු. 150,000 ක මාසික පොලී ආදායමක් ලබන අයට පමණක් වැඩි කළ සියයට 10ක රැඳවා ගැනීමේ බද්ද අදාළ වුවත් එම බද්ද බැංකුවලින් කපා ගන්නා එහෙත් බද්දට යටත් නොවන අයගෙන් එම කපා ගත් මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නැවත අදාළ තැන්පත්කරුවන්ට ලබා ගැනීමේ ක්‍රමවේදය කුමක්ද යන්න මෙතෙක් තීරණ කර නොමැති බවයි.
මේ අනුව රු. 100ක මාසික පොලී ආදායමක් ලැබුණත් බැංකුවලින් සියයට 10ක රැඳවුම් බද්දක් කපා ගන්නා නිසා අදාළ මුදල නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ලබා ගැනීමට බස් ගාස්තු වශයෙන්ම ඊට වැඩි මුදලක් දැරීමට සිදුවෙනවා නොවේදැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇමැති ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේදී ඒ සියල්ලටම උත්තරය ගෙනෙන බවයි.
මේ පිළිබඳව මාධ්‍ය වාර්තා කිරීම් මෙතනින් සහ මෙතනින්.
තව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ,
සාධාරණය බදු ක්‍රමයකට යාම අවශ්‍ය බවත් බදු දැල පුළුල් කර කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම අවශ්‍යබවත්, එහිදී ප්‍රභවයේදී බදු අයකර්ගැනීම කාර්යක්ෂම ම ක්‍රමය වන බවයි. නමුත් මෙම ප්‍රභවයේදී බදු අය කරගැනීමේදී තිබෙන ගැටලු හේතුවෙන් බදු ගෙවන්න අවශ්‍ය, බදු ගෙවීමේ හැකියාවක් තිබෙන, ගෙවිය යුතු අයත් පවතින යම් යම් නීති රීති යටතේ ඒවායින් මඟ හැරෙමින් යන තත්වයක් තිබෙන බව අමාත්‍යවරයා පවසනවා. ඊට උත්තේජනයක්, මඟ පෙන්වීමක් ලෙස මෙම 10% ඇති කළවිට බදු ගෙවිය යුතු අයගෙන් බදු අයකරගත හැකි බව පෙන්වාදෙන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ,
පොලී ආදායම හෝ තමන්ගේ සමස්ත වාර්ශික ආදායම රු.150,000ට වඩා අඩු වෙන අයට රජයෙන් යෝජනා කර අදාළ උපදෙස් ලබාදී ඉදිරියේදී ආදායම් බදු දෙපාර්තමේන්තුවට මෙම රැඳවුම් බදු නොගෙවා සිටීමට අවස්ථාව සලසන බවයි.
බදු නොගෙවිය යුතු එහෙත් ගෙවන කෙනාටත් සහනයක් ලැබෙමින් ගෙවිය යුතු එහෙත් අඩුවෙන් ගෙවන පිරිස හෝ නොගෙවා සිටින පිරිසව බදු දැලට ගෙන එමින් බදු අය කරගැනීම කාර්යක්ෂම කරගැනීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.
බදු පිළිබඳ උපදේශක සුමුදු විතනගේ මහතා
අප බදු පිළිබඳව උපදේශක සුමුදු විතානගේ මහතාගෙන් මෙම රැදවුම් බදු අයකරගැනීම පිළිබඳව විමසීමක් සිදුකළ අතර එම මහතා පවසා සිටියේ දැනට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව පවතින්නේ, සෑම බැංකු තැන්පත් කරුවෙක්ගෙන් ම දැනට පවතින රැඳවුම් බඳු අය කර ගැනීමේ ක්‍රමවේදය වන බවයි.
නමුත් ඉදිරියේදී එනම් 2025 වසරේ අප්‍රේල් මස සිට දැනට පවතින 5%ක රැඳවුම් බඳු 10% දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති නිසා සහ එහිදී බැංකු පොලී ආදායම 150,000ට වැඩි අයගෙන් පමණක් මෙම 10% රැඳවුම් බදු අයකර ගැනීම සහ ඊට අඩු පොලී ආදායම් අයගෙන් මෙම 10%ක රැඳවුම් බද්ද අයකර නොගැනීමක් සිදුකරන බව රජයෙන් යෝජනා වී ඇති බව එම මහතා පෙන්වාදෙනවා.
ඒ අනුව එම 150,000ට අඩු බැංකු පොලී ආදායම් සහිත අයගෙන් මෙම වැඩි කරන 10%ක රැඳවුම් බදු අයකර නොගන්නා ලෙස හෝ තමන්ගේ අය නොවිය යුතු නමුත් අයකරගත් බදු නැවත ලබාදෙන ලෙසත්, තමාව ඉන් නිදහස් කරන ලෙසත් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අදාළ ලියකියවිලි ගෙනවිත් බැංකුවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් දැනුම්දිය යුත්තේ, ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බවත් එම උපදෙස් අනුව බැංකු කටයුතු කරන බවත් එම මහතා පවසනවා.
ඒ අනුව දැනට එවැනි ක්‍රමවේදයක් නොමැති බවත්, දැනට පවතින උපදෙස් අනුව පොලී ආදායම කීය වුවත් මෙම බද්ද අයකෙරෙන බවත්,නමුත් ඉදිරියේදී පවතින යෝජනා අනුව මෙම රැදවුම් බදු පොලී ආදායම අඩු අයගෙන් අය කර නොගැනීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කෙරෙනු ඇති බවත් සුමුදු විතනගේ මහතා පවසනවා.
කෙසේ වෙතත් මෙම ක්‍රමවේද ලබන වසරේ අප්‍රේල් මාසයෙන් පසු ක්‍රියාත්මක වීමක් වේ යැයි එම මහතා අප වෙත පැවසුවා.
ඒ අනුව මෙම සියලු කරුණු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මෙම රැදවුම් බදු සියලු තැන්පත්කරුවන්ගෙන් අයවන බවයි. නමුත් රැඳවුම් බදු 10% දක්වා වැඩි කිරීම 2025 අප්‍රේල් මාසයේ සිට සිදුවන බවත්, එහිදී මාසික පොලී ආදායම 150,000 වැඩි ප්‍රමාණයක් පවතින අය පමණක් මෙම 10%ක රැඳවුම් බදු අය කර ගැනීම අදාළවන බවත් රජය පවසනවා
නමුත් මාසික පොලී ආදායම රුපියල් 150,000කට වඩා අඩු බවට තොරතුරු ඉදිරිපත් කර මෙම 10%ක රැඳවුම් බද්දෙන් නිදහස් විය හැකි බවත් ඊට අදාළ නිසි ක්‍රමවේදයක් ඉදිරියේදී සකස්කරන බවත් පවසන අතර ඉන් තැන්පතුවලින් ජීවත්වන කිසිවෙකුට අගතියක් නොව වාසි දායක තත්වයක් ඇති වන බවත් රජය විසින් පවසනවා.
නමුත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මීට නිසි ක්‍රමවේදයක් සකස් කිරීම මත පමණක් මෙම වාසිය බැංකු තැන්පත්කරුවන්ට ලබාගත හැකිවන බවත් මෙතෙක් ඊට නිසි ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බවත් පැවසිය යුතු ය.
නමුත් ඉදිරියේදී මෙම රැඳවුම් බදු අය නොවිය යුතු අයගේ අයකරගත් රැඳවුම් බදු ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරන බවයි රජය පෙන්වාදෙන්නේ.
කෙසේ වෙතත් මෙතෙක් ක්‍රියාත්මක වෙන්නේ රඳවා ගැනීමේ බද්ධ 5%ක් සියලුම තැන්පතු වල පොලි ආදායමෙන් අය කරන වැඩපිළිවෙළක් වන අතර ලබන අප්‍රේල් මස දී ඉදිරිපත් වීමට නියමිත වන්නේ, පොලී ආදායම රුපියල් 150,000කට වැඩි තැන්පත්කරුවන්ගේ පමණක් 10%ක් බද්ධක් අය කර ඊට අඩු පොලී ආදායමක් ඇති පිරිසකගෙන් බදු අය කර නොගැනීමේ වැඩපිළිවෙළක්.
නමුත් එලෙසින් ආදායමක් නොලැබෙන තැන්පතුකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් තමන්ගේ තැන්පතු පොලී අනුපාතය අඩු බවට පෙන්වාදී තහවුරු කර ගැනීමේ ක්‍රමවේදය සහ එය කොතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වූ තොරතුරු නොමැති අතර රජය විසින් එම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
සැ.යු : මෙම ලිපිය මගින් අප මේ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ තහවුරු වූ තොරතුරු ඇතුළත් කළ පැහැදිලි කිරීමක් වන අතර කිසිදු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත කිරීමකට ලක් නොවනු ඇත.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:බැංකුවෙන් ලැබෙන සියලු පොළි සඳහා බදු 10% දක්වා ඉහළ දැම්ම ද?
Fact Check By: Piumika LakshaniResult: Misleading
