දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය වකවාණුවේදී පැවති අධික වර්ෂාපතනය හමුවේත්, විදුලි උත්පාදනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෞද්ගලික තාප බලාගාර වලින් විදුලිය ලබා ගත් බවටත්, එසේ කිරීමට හේතුව වන්නේ එම මණ්ඩලයට පත් වූ නව සභාපතිට අයත් තාප බලාගාරයකට ලාභ ලැබීමට බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මෙහි නිවැරදි කරුණු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ජලාශ වාන් දමන විටත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය අරගෙන” යනුවෙන් Newshub.lk හි පළ වූ පුවතක් දක්වමින් ඊට හේතුව වශයෙන් නව රජයේ විදුලි බල මණ්ඩලයේ නව සභාපති තිලක් සියඹලාපිටිය මහතාට අයත් ව ඇති RMA Energy නමින් පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති බවට ත් එම බලාගාරයෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කර ඇති බව ත් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.
එමෙන් ම සියඹලාපිටිය මහතාගේ බිරිඳගේ බලාගාරයෙන් විදුලිය මිලට අරන් යනුවෙන් සඳහන් කරමින් තව ත්, සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.
මේ අනුව බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුනේ RMA Energy යනු පෞද්ගලික විදුලි බලාගාරයක් බවත්, එය විදුලි බල මණ්ඩලයේ නව සභාපති තිලක් සියඹලාපිටිය මහතාට හෝ ඔහුගේ බිරිඳ ට අයත් බවත්, මේ හේතුවෙන් එම බලාගාරය හරහා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගන්නේ ද යන්නක්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන් RMA Energy නමැති එම ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගනු ලැබුවා.
RMA Energy
Resource Management Associates (Pvt) Ltd (RMA) යනු, 1999 වසරේ සිට මේ දක්වා බලශක්ති ක්ෂේත්‍රයේ බලශක්ති අංශයේ විවිධ උපදේශන සේවා සැපයීම සිදු කරන සමාගමක් මිස එය පෞද්ගලික විදුලි බලාගාරයක් නොවන බව එම ආයතන නිල වෙබ් අඩවියේ ද දක්වා තිබුණේ මේ අයුරින්.
එමෙන් ම එම ආයතනයේ LinkedIn ගිණුමේ ද, දක්වා තිබුණේ, බලශක්ති උත්පාදනය, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය, විදුලි උපයෝගිතා සැලසුම් කිරීම, බලශක්ති කළමනාකරණය සහ සංරක්ෂණය සහ බලශක්ති ප්‍රතිපත්ති ගැටළු විශ්ලේෂණය කිරීම යන ක්ෂේත්‍රවල උපදේශන සපයන බවයි.
එමෙන් ම මෙම ආයතනය එම ක්ෂේත්‍රයේ බලශක්ති උපදේශන සේවා සපයන ආයතනයක් බව ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අප කළ විමසා බැලීමකදී ඔවුන් ද, තහවුරු කරන ලදී.
කෙසේවෙතත් මෙම ආයතනයේ නිර්මාතෘ වන්නේ, විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බව ට දැක ගන්නට ලැබුණා.
ඒ අනුව පැහැදිලි වන්නේ, මෙම ආයතනය තිලක් සියඹලාපිටිය මහතාට අයත් ආයතනය පෞද්ගලික බලාගාරයක් නොව බලශක්ති ක්ෂේත්‍රයේ උපදේශන සේවා සපයන ආයතනයක් බවයි.
2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ, විදුලිය උත්පාදනය, විදුලිය සම්ප්‍රේශනය, විදුලිය බෙදාහැරීම හා සැපයුම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්‍ය කර තිබෙනවා. (කෙසේවෙතත් විදුලිය උත්පාදනය, බෙදාහැරීම හා සැපයුම සඳහා පහත කොන්දේසි යටතේ බලපත්‍ර නිදහස් කරනු ලබයි)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලපත්‍ර ලාභී ආයතන ලැයිස්තුවේ යාවත්කාලීන කර ඇත්තේ 2024 සැප්තැම්බර් 30 දක්වා ඇති ආයතන වල නම් පමණක් වන අතර එහිදී ද, ඉහත සඳහන් ආයතනයේ නම හෝ සභාපතිවරයාගේ නම සඳහන් වූ ආයතනය පෞද්ගලික බලාගාරවලට හෝ අයත් වී නොතිබුණි. එමෙන් ම 2023 Sales and Generation Data Book හි Pdf ගොනුවක් ද, පරීක්ෂා කළ ත්, එහිදී ද,එවැනි තොරතුරක් හමු නොවීය.
විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය
අප ඔහු වෙත යොමු කළ පළමු පැනය වූයේ ඔහු පෞද්ගලික බලාගාරයක නිර්මාතෘද යන්නයි. ඔහු සඳහන් කළේ, RMA Energy නමින් පුද්ගලික තාප විදුලි බලාගාරයක් නොමැති බවත්, RMA Energy යනු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි උපදේශන සමාගමක් බවත්, තමා එහි ආරම්භයේ කළමනාකාර අධ්‍යක්ෂකටයුතු කළ බවත්, නව ජනාධිපතිවරයා පත් වී දින 2කට පසු තමන්ට ලංවිම සභාපති ලෙස වැඩ භාර ගන්නා ලෙස ආරාධනා කළ අතර සැප්තැම්බර් 26 වැනිදා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරය භාර ගැනීමට පෙර, තමන් RMA Energy හි ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි.
කෙසේ වෙතත්, ලංවිම සභාපතිවරයාගේ තනතුර පූර්ණ කාලීන, විධායක නොවන තනතුරක් බැවින් ඉල්ලා අස්වීමට අවශ්‍යතාවක් නොමැති වුවත්, බොහෝ රාජ්‍ය ආයතනවල සභාපතිවරු පෞද්ගලික අංශයේ විධායක තනතුරු තවදුරට ත් දරමින් සිටියත්, ලංවිමේ ඇති කාර්ය බහුලත්වය හේතුවෙන් තමන් RMA ආයතනයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, සියඹලාපිටිය මහතා අපට දන්වා සිටියා.
එමෙන් ම සිය බිරිඳට හෝ පවුලේ කිසිවකුට කිසිදු බලාගාරයක් හෝ බලාගාර කොටසක් හෝ අයිතියක් නොමැති බව ත්, ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය
මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයෙන් සිදුකරන ලද විමසීමක දී ඔවුන් ද ඒ බව තහවුරු කරමින්, සභාපති තිලක් සියඹලාපිටිය මහතා, සභාපති ධුරය භාරගැනීමට පෙර, එනම් සැප්තැම්බර් 24 වැනිදා සිට RMA ආයතනයෙන් ඉල්ලා අස්වූ බවත්, එම ආයතනය විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන කටයුතුවලට යොදා ගන්නේ නැති බවත්, දන්වා සිටියා.
ඒ බව තොරතුරු දන ගැනීමේ පනත යටතේ සිදුකරන ලද විමසීමකට පිළිතුරු වශයෙන් ද ලබා දී තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.
පසුගිය වැසි සමයේ දී ජල විදුලි බලාගාර ඉහළ ධාරිතාවකින් ක්‍රියාත්මක කළ හැකිව තිබුණ ද , පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදු වීමට හේතු:
පසුගිය වැසි සමයේ ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් තිබිය දී ත්, නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරයේ ද යන්ත්‍ර තුනෙන් දෙකක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබියදී ත්, පෞද්ගලික තාප ඉන්ධන බලාගාරවලින් (IPP Thermal Oil) විදුලිය ජනනය කොට මිලට ගැනීමක් සිදු කර තිබෙන බවටත්, එසේ සිදුවන්නේ කාගේ උවමනාවකට ද යන්නත්, විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා පසුගිය දෙසැම්බර් 10 වන දා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණා.
මෙහිදී පවසන්නේ, ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන, විදුලිය ජනනය කර ගැනීමට භාවිතා වූ විධික්‍රම දැක්වීමට නිකුත් කර ඇති වාර්තාවේ IPP(Individual Power Plants) ඔස්සේ තාප ඉන්ධන ඔස්සේ (Thermal Oil) විදුලි ජනනය කොට පද්ධතියට යම් යම් ප්‍රමාණවලින් එක් කර ඇති බවයි.
අප මෙම වාර්තාව සකස්කළ දිනට පෙර දිනයේ, එනම් දෙසැම්බර් 27 වන දා දින විදුලිය ජනනය කර ඇති දෛනික බලශක්ති දත්ත වාර්තාව පිරික්සීමේදී ද පෞද්ගලික තාප බලාගාර වලින් (IPP Thermal Oil) ගි1.57GWhක් මිලදී ගෙන තිබූ බවත් එය 3.38%ක ප්‍රතිශතයක් ලෙසට දක්වා තිබෙනු දක්නට ලැබුණා. එසේම එදිනම ලංවිම Thermal oil ඔස්සේ ද 5.60GWhක් නිපදවා ඇති බව දැකගන්නට ලැබුණා.
cebcare.ceb.lk | Archived Link
එමෙන් ම පසුගිය දෙසැම්බර් 1 වන දා දෛනික දත්ත වාර්තාව පිරික්සීමේදී පෞද්ගලික තාප බලාගාරවලින් මිලදී ගැනීම් සිදු නොකළ අවස්ථාවක් ද, දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.
cebcare.ceb.lk | Archived Link
2020-2039 කාලයේ ලංකාවේ විදුලි බල මණ්ඩලයේ ඉදිරි සැලැස්ම පිළිබඳ නිකුත් කළ 2019 වසරේ වාර්තාවක ද, ලංවිම සතු තාප ජනන ධාරිතාව හැරුණු විට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ පෞද්ගලික තාප බලාගාර වලින් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවකද, දක්නට ලැබුණු අතර ඉන් කුමන ප්‍රමාණයකින් ජාතික විදුලිය නිෂ්පාදනයට දායක වී ඇත්දැයි වාර්තා කර තිබුණා. එම වාර්තාව මෙතනින්. (Page 2-10)
2022 වසරේ දෛනික විදුලි අවශ්‍යතාවය 43.68 GWh වන අතර 2023 වසරේ දෛනික විදුලි අවශ්‍යතාවය 42.67 GWh ක් බව 2022 /23 වසර සඳහා වන පහත සඳහන් උත්පාදන වාර්තා පරික්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබෙනවා. පසුගිය දෙසැම්බර් 26 වන දින දෛනික විදුලි උත්පාදනය කර තිබුණේ 43.08 GWhකි. Archived Link
මෙරට දෛනික විදුලි අවශ්‍යතාවයට ජල විදුලි බලාගාර වලින් පමණක් උපරිම ධාරිතාව ලබා ගත්තත් සමස්ථ විදුලි ඉල්ලුමට සැපයුම ලබා දීම තනිව සිදු කළ නොහැකි බව දැක ගන්නට ලැබේ. මේ හේතුවෙන් අදාළ විදුලි උත්පාදනය කිරීමට මේ සියලු ප්‍රබවයන්ගේ අවශ්‍යතාව පවතින බව 2023 දත්ත පරීක්ෂා කිරීමේදී ද තවදුරටත් තහවුරු වේ.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2023 වසරේදී සමස්ථයක් ලෙස 11,585GWh විදුලිය නිපදවූ අතර සියලුම පෞද්ගලික බලාගාර වලින් නිපදවා තිබුණේ, 3,991 GWh (25%) වේ. එසේ නම් විදුලිය නිපදවීමට වැඩි වශයෙන් දායක වන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට අයති ප්‍රභවයන් වේ.
කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වූ තොරතුරු වල නිවැරදි දත්තයන් සමගින් නිවැරදි හා සම්පූර්ණ තොරතුරු දැන ගැනීමට අප විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතාගෙන් විමසීමක් කළා.
විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය
විදුලි උත්පාදනය සිදුවන ප්‍රබවයන් මොනවාද?
ලංවිම ජලවිදුලි බලාගාර 15 ක්, ලංවිම තාප බලාගාර 10 ක්, පුද්ගලික තාප බලාගාර 2 ක්, පුද්ගලික පුනර්ජනනීය බලශක්ති බලාගාර 400 ක් (මිනිහයිඩ්‍රෝ, සුළං, සූර්ය, ජෛව ස්කන්ධ) සහ පුද්ගලික නිවාස වහලවල් වල සූර්ය ඒකක 70,000 ක් පමණ තිබෙනවා. මහවැලි ජලාශවලින් (කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, උකුවෙල, බෝවතැන්න) මෙන්ම සමනලවැව ජලාශවලින් ජලය මුදා හැරීම, පහළ වාරිමාර්ග අවශ්‍යතා අනුව තීරණය වේ.
ඇතැම් මහවැලි ජලාශවලින් සහ කැලණි ජලාශවලින් ජලය මුදා හැරීම තීරණය වන්නේ මහනුවර සහ කොළඹ පානීය ජල අවශ්‍යතා අනුවය. අතිරේකව, වලාකුළු පෑයීම මත පදනම්ව සූර්ය බලය උච්චාවචනය වේ.
පුනර්ජනනීය බලශක්තිය මත පුද්ගලික ආයෝජන දිරිගැන්වීම කර ඇති බැවින් ඒ හරහා 1966 වසරේ සිට විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම් ගත ව ඇති බලශක්තිය නිපදවන පෞද්ගලික ආයතන ඇති අතර එම ගිවිසුම්වලට අනුව අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව ත්, ඒ මහතා පෙන්වා දෙනවා.
තව දුරටත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළහොත්, ජල විදුලිය උපරිම මට්ටමේ තිබුණත්, ඉතිරි අවශ්‍යතාවය සඳහා විදුලිය නිපදවීමට, පෞද්ගලික අංශයට අය ත්, පුනර්ජනනීය බලාගාර( සූර්ය බලාගාර, සුළං බලාගාර,කුඩා ජලවිදුලි බලාගාර, වහල උඩ ඇති සූර්ය කෝෂ)සමගින් ගිවිසුම්ගතව ඇති අයුරින් ඒවා වල නිෂ්පාදනය කර ඇති විදුලිය, සියලුම ප්‍රමාණය, සෑම වේලාවකදීම විදුලි බල මණ්ඩලය මිලදී ගත යුතුයි.
අධික වර්ෂාපතනය වැඩි වශයෙන් විදුලි උත්පාදනයට දායක වනවා ද?
අධික වර්ෂාපතනයක් ඇති වූ විට, තවත් සංකීර්ණ තත්ත්වයකට ලංවිම මුහුණ දෙන බව ත්, අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි විසන්ධි වීම්, බිඳ වැටීම්, විදුලි රැහැන් කඩා වැටීම්, අකුණු සැර වැදීම හේතුවෙන් සම්ප්‍රේෂණ මාර්ග පහත වැටීම, වර්ෂාපතනය හේතුවෙන් ජලාශ පිටාර ගැලීමේ තර්ජනයක් එල්ල වන අතර, එම ජලය ජලාශයේ රඳවා තැබුවහොත් විභව විදුලි උත්පාදනය අපතේ යන බව ත් ඔහු පෙන්වා දෙනවා.
ලංවීම හි Nation System Control Center හි පැය 24 පුරා සැලසුම් සහ අධීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින සෑම විටම, බලාගාර වෙත උපදෙස් නිකුත් කිරීම, ඒවායේ නිමැවුම වැඩි කිරීමට හෝ අඩු කිරීමට, වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ බාධා නැවත ක්‍රියාත්මක කිරීම වැනි කාර්ය පටිපාටින් සිදු කිරීමට ඇති බවත් පෙන්වා දුන්නා.
පෞද්ගලික බලාගාර වලින් විදුලිය උත්පාදනයේ දායකත්වය?
ලංවිම වෙබ් අඩවියේ පසුගිය දෙසැම්බර් 20 වන දා විදුලිය ජනනය වූ ආකාරය පිළිබඳ දක්වා ඇති වාර්තාව පදනම් කර ගනිමින් විදුලිය නිෂ්පාදනය ක්‍රියාවලිය පිළිබඳ සියඹලාපිටිය මහතා කළ පැහැදිලි කිරීම පහතින්.
CEBCare-12-28-2024_09_37_PMනිවෙස් වල වහලවල් වල ඇති Solar පද්ධති 70,000කින් ලබා ගන්නා සූර්ය විදුලි බලය නිෂ්පාදනය වු බවට නොපෙන්වයි.
එදින දවසේ ආරම්භයේදී විදුලිය ලබා දීමෙ ආරම්භ වූයේ නොරොච්චෝලේ එකම තාප බලාගාරය මගිනි. එමෙන් ම මාධ්‍ය සිතන්නේ තාප යනු තෙල් යනුවෙන්. එය වැරදියි. තාප යනු ඉන්ධනයකින් ලබාගත් තාපය විදුලිය නිපදවීමට භාවිතා කිරීමයි. නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් (ලක්විජය ලෙසද හැඳින්වේ) ඒවායේ සම්පූර්ණ ධාරිතාවයෙන් එනම් 2×270 MW බැගින් = 540 MW ලෙස ක්‍රියාත්මක වෙයි.
ලංවීම ජල විදුලිය (Hydropower) තද නිල් පැහැයෙනුත්, පුද්ගලික ජල විදුලිය ලා නිල් පැහැයෙනුත් මෙම ප්‍රස්ථාරය හරහා දැක ගන්නට ලැබෙන අතර, තද නිල් පැහැයෙන් පෙන්වන්නේ විදුලිය ගබඩා කළ හැකි වන අතර ලා නිල් පැහැයෙන් දිස්වන්නේ ගබඩා කළ නොහැක. තද නිල් පාටින් පෙන්වන ජල විදුලිය උත්පාදන ක්‍රියාවලිය සිදු වීමට හෝ නැවැත්වීමට නිෂ්කාශනය මහවැලි අධිකාරියේ අවසරය අවශ්‍ය වේ. එයට හේතු වන්නේ, මහ වගාව සඳහා සීසෑමේ කාලය අවසන් වෙමින් පවතින බැවින් පහළ වාරිමාර්ග අවශ්‍යතාවයි.
පාරිභෝගික ඉල්ලුම රාත්‍රී 12 පමණ වන විට අවම වන අතර එවිට ලංවිම ජල විදුලි උත්පාදනය රාත්‍රී 12ට පමණ 900 MW සිට පාන්දර 3.30ට පමණ 820 MW අඩු කරනු ලැබේ. නොරොච්චෝලේ එහි සම්පූර්ණ තාප බලය රාත්‍රී 12 ට 540 MW සිට 445 MW දක්වා පාන්දර 3.30ට අඩු කරනු ලැබේ. කුඩා ජලවිදුලි (ලා නිල් පැහැයෙන් දිස්වන) ඔවුන්ට ජලාශ නොමැති හෙයින් ජලය භාවිතා කළ යුතු නිසා, කුඩා ජලවිදුලි බලාගාර වල විදුලි උත්පාදනය අඩු කළ නොහැක.
දිවා කාලයේ වැඩිවන ඉල්ලුම සපුරාලනු ලැබුවේ විදුලිබල මණ්ඩලයේ ජලවිදුලිය සහ නොරොච්චෝලේ මගින් ජාලකය ස්ථාවරව තබා ගැනීමෙනි. එවිට සූර්යයා බැස ගිය විට, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට තෙල් දහනය කරන තාප බලාගාරයක් ආරම්භ කිරීමට සිදු වනු ලැබේ.
රාත්‍රී 6ට පමණ උපරිම පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිබල පද්ධතියට 400 MW ක ධාරිතාවක් අවශ්‍ය වනු ඇති බවට ගණන් බලා රාත්‍රී 7:00 ට වැඩිවන පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි නොරොච්චෝලේ විදුලි උත්පාදනය සඳහා අදාළ යන්ත්‍ර දෙකම ක්‍රියාත්මක වේ. ඒ වන විට පුද්ගලික බලාගාර වලින් උත්පාදනය කරන 270 MW ප්‍රමාණවත් නොවීම නිසා ලංවිමේ තෙල් බලාගාර රාත්‍රියට අවශ්‍ය ඉල්ලුම ලබා දීම සඳහා සම්පූර්ණයෙන් 130 MW ආරම්භ වන අතර රාත්‍රී 09:30 වන විට පාරිභෝගික ඉල්ලුම පහත වැටීම නිසා සියලුම තෙල් බලාගාර නවතා දමා තිබේ. නොරොච්චෝලේ රාත්‍රී 10.00 ට 463 MW දක්වා අඩු කිරීමත් සමඟ දවස අවසන් වන අතර සම්පූර්ණයෙන් 540MWක් ලබා දීමට සමත් වූයේ පුනර්ජනනීය බලශක්ති භාවිතය උපරිම කිරීම මගිනි.
ඉහත සඳහන් දින ලංකා විදුලි බල මණ්ඩලයට අයත් තාප බලාගාර වලින් නිපදවූ විදුලිය සහ පෞද්ගලික තාප බලාගාර වල නිපදවූ විදුලිය පහතින්.
පුද්ගලික බලාගාර ආරම්භ කළේ ඇයි? ලංවිමේ බලාගාර නැද්ද?
ඔව් තියෙනවා. නමුත් මේ පෞද්ගලික බලාගාරය එම වකවාණුවේ තිබුණු ලාභම බලාගාරයි. කොටින් ම ලංවිමේ බලාගාරවලට වඩා අඩු මිලට. අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ ස්ථාපනය කළ පසු පුද්ගලික හෝ ලංවිම තාප බලාගාර කියා වෙනසක් නැති බව. පුද්ගලික බලාගාර සඳහා, ඒවා ධාවනය කළත් නැතත් ස්ථාවර පිරිවැය ගෙවනු ලැබේ. ලංවිම බලාගාර සඳහා ණය සහ ස්ථාවර වියදම් ගෙවනු ලැබේ. ඔවුන්ගේ එදිනෙදා ආරම්භය සහ ක්‍රියාකාරිත්වය දැඩි ලෙස තීරණය වන්නේ ඔවුන්ගේ මෙහෙයුම් පිරිවැය මත මිස ඔවුන්ගේ හිමිකාරිත්වය හෝ ස්ථාවර පිරිවැය මත නොවේ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය තේරුම් ගැනීමට අපොහොසත් වන ලොව පුරා භාවිතා වන ප්‍රතිපත්තිය මෙයයි.
2010 වසරේ සිට සියලුම රජයන්ගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ සියලුම බලාගාර පෞද්ගලික අංශයේ ආයෝජනය කර ඉදි කිරීමය. නොරොච්චෝලේ (2014) යනු ලංවිමේ අවසන් තාප බලාගාරයයි. ලංවිම තවමත් විශාල ජලවිදුලි බලාගාර (බ්‍රෝඩ්ලන්ඩ්, මොරගොල්ල, උමා ඔය) ඉදිකරන්නේ ඒවා පුද්ගලික ආයෝජනවලට වඩා විශාල හෝ අවදානම් නිසා යි. සියලුම පුනර්ජනනීය බලශක්තිය පුද්ගලික ආයෝජන වේ.
පසුගිය 12 වන දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සියඹලා පිටිය මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබුණේ, ලංවීම තුළින් ක්‍රියාත්මක කෙරෙන ජල විදුලි බලාගාරත්, කුඩා පෞද්ගලික පුනර්ජනනීය බලාගාරත් ක්‍රියාත්මක වූවත්, තව ත් විදුලි අවශ්‍යතාවයන් හිඟව පවතින බැවින්, ඒ අවශ්‍යතාවය සඳහා ප්‍රථමයෙන් ම ගල් අඟුරු බලාගාර වලින් නිපදවන විදුලිය ලබා ගත යුතු වන බවයි. ඊට හේතුව වන්නේ තිබෙන තාප බලාගාර වලින් මිල අඩුම බලාගාර වන්නේ ගල් අඟුරු බලාගාර බවයි.
ගල් අඟුරු බලාගාර තිබියදී තෙල් බලාගාර භාවිත කරනු ලබන්නේ ඇයි?
ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3ක් තිබෙනවා. ඒ ජනන යන්ත්‍ර වලින් ඒකක් දීර්ඝ කාලීනව නඩත්තු කිරීම සදහා නවත්වා තිබෙනවා. ඒ නඩත්තුව සඳහා යාදා ගනනේ ජලය වැඩිපුර තියෙන කාල වකවාණුවයි. අනෙක් කාලවලදී සම්පූර්ණයෙන් ම ගල් අඟුරු බලාගාරයේ අවශ්‍ය වන බැවින්.ඒ හේතුවෙන් නොවැම්බර් දෙසැම්බර් කාල වකවාණුවේ ඒම යන්ත්‍ර නඩත්තුව සඳහා නිදහස් කර තිබුණා.
ඉතිරි ජනන යන්ත්‍ර දෙක සඳහා 500MWක් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් පද්ධතියට. නමුත් දහවල් කාලයට සූර්ය බලය ලැබෙන නිසා මේ ජනන යන්ත්‍ර දෙකෙන් එකක් එහි ධාරිතා අඩු මට්ටමෙන් ක්‍රියාත්මක කරන්නේ. ඒ ජනක යන්ත්‍රයේ ගල් අඟුරු ඇඹරීමේ යන්ත්‍රවල තාක්ෂණික සේවාවවක් තියෙන නිසා ඉන් නිෂ්පාදනය කරන විදුලිය දහවලට අඩු කිරීමටත් රාත්‍රියේ වැඩි කිරීමටත් සීමාවන් තිබෙනවා. ඒ සීමාවට යටත් වීම නිසා ඇතැම් අවස්ථාවල තෙල් බලාගාරයක් ක්‍රියාත්මක කිරීම කළ යුතු වනවා ගල් අඟුරු බලාගාරයේ තව ධාරිතාවක් ඉතුරු වෙලා තියෙනවා නම්.
තෙල් බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුනා ම තෙල් බලාගාරවල විවිධ ධාරිතාවේ වර්ග කිහිපයක් තියෙනවා. ඒ් හැම තෙල් බලාගාරයක් ක්‍රියාත්මක කිරීමටත්, රාත්‍රියේ ඒය නිවා දැමීමටත් යම් කිසි වියදමක් යනවා. (Start up cost-shut down cost)මේ සියලුම කරුණු සැලකිල්ලට ගෙන පාලන පද්ධති ම්‍යඨස්ථානය ගණනය කිරීම් සියල් සිදු කර අවසානයේ තීරණයක් ගන්නේ අද දවසේ මේ මේ කාල වකවාණුව සඳහා මේ බලාගාරය හෝ මේ බලාගාර දෙක ක්‍රියාත්මක කළොත්, තමයි අඩුම මිලය මේ තිබෙන සීමාවන් යටතේ විදුලිය ලබා ගනන් පුළුවන් කියලා.
<iframe frameBorder=’0′ width=’640′ height=’360′ webkitallowfullscreen mozallowfullscreen allowfullscreen src=”https://www.awesomescreenshot.com/embed?id=35046513&shareKey=aed7109197f35e24c1a419857f1068ce”></iframe>
ජලාශ පිටාර ගලා යන අවස්ථා වල ත්, උපරිම ඉල්ලුම ඇති අවස්ථාවන් වල තෙල් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට හේතුව සම්බන්ධයෙන් ඉංජිනේරු හා තාක්ෂණ ආයතනයේ (IET) ජාත්‍යන්තර වෘත්තීය ලියාපදිංචි උපදේශක බුද්ධික විජයවර්ධන මහතා විසින් සිදු කළ පැහැදිලි කිරීමක් මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:අධික වර්ෂාපතනය හමුවේත් ලංවිම පෞද්ගලික බලාගාර වලින් විදුලිය ගන්නේ ඇයි?
Written By: Pavithra SandamaliResult: Insight
