දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පාසල් උපකරණ මිල සම්බන්ධයෙන් වැඩියෙන් දැනෙන්නේ, පාසල් යන දුවා දරුවන් සිටිනා දෙමව්පියන්ටයි. විශේෂයෙන් අලුත් වසරක නව පාසල් වාරයක් ආරම්භයේදී පාසල් සිසුන් අලුත් පොත් පත් රැගෙන ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සූදානම්වනවා. ඉතින් මේ එලඹ තිබෙනේ 2025 වසර සඳහා නව පාසල් වාරයක්. මේ දිනවල පොත් මිල බොහෝ ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ නිසා ම අප ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකිරීමට තීරණ කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
පසුගිය දෙසැම්බර් 30 වන දින, පාසල් උපකරණ මිල ඉහළ ගොස් ඇති බව සඳහන් කරමින්, පාසල් උපකරණ මිල සම්බන්ධයෙන් දෙමව්පියන් දක්වන අදහස් ද ඇතුළත් පුවතක් වාර්තා කර තිබුණේ මේ අයුරින්.
එහි අදහස් දක්වමින් එක් පුද්ගලයෙක්,“හැමදේම මිලයි නෙ. වෙනදා 150ට තිබ්බ එකනේ දැන් 300යි 400යි කියන්නේ” යනුවෙන් පවසන අතර ඔහු එම මිල ගණන් සඳහන් කරන්නේ කුමන පාසල් උපකරණ පිළිබඳව ද යනුවෙන් සඳහන් නොකරයි.
මෙම අදහස පාදක කරගනිමින්, මෙම වීඩියෝව ද උපුටා දක්වමින් පාසල් උපකරණ මිල සම්බන්ධයෙන් පුවතක් වාර්තා වී තිබුණේ මේ අයුරින්. එම පුවතේ සිරස්තලය ලෙස සඳහන්ව තිබෙන්නේ, “පාසල් උපකණ මිල අහසේ! වෙනදා 150ට තිබ්බ පොත් දැන් 300යි 400යි!” යනුවෙන්.
ඒ අනුව මෙම පුවතේ දැක්වෙන ලෙස අභ්‍යාස පොත් මිල රු.300ත් 400ත් දක්වා ඉහළ ගොස් තිබේ ද යන්න අප පරීක්ෂා කිරීමක් සිදුකළා.
කරුණු විමර්ශණය (Fact Check)
පාසල් සිසුන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා අභ්‍යාස පොත් යනු අත්‍යවශ්‍ය පාසල් උපකරණයකි. එබැවින් ඒවායෙහි මිල ගණන් ඉහළ යාම පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සැලකියයුතු බලපෑමක් සිදුකරන බව සබෑවකි.
මේ දිනවල බොහෝදෙනා අභ්‍යාස පොත්වල මිල ගණන් ඉහළ ගොස් ඇති බවටත් අදහස් දැක්වුව ද අප කළ කරුණු විමර්ශණයේදී පෙනී ගියේ 2024 වසරේ මෑත කාලීනව අභ්‍යාස පොත් මිල ඉහළ ගිය බවට පුවත් වාර්තා වීමක් සිදුවී නොතිබුණු බවයි.
කෙසේ වෙතත් අප පාසල් උකරණ මිලදී ගැනීමට ඇති දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළඳසැල් කිහිපයකින් ම අභ්‍යාස පොත් මිල පරීක්ෂා කර බැලීමක් සිදු කළා. පිටු ප්‍රමාණයන් අනුව මිල වෙනස් වීම් සිදුවන අතර එම මිල ගණන් සඳහන්ව තිබුනේ මේ අයුරින්, මෙම මිල ගණන් අදාළ ලිපි ද්‍රව්‍ය වෙළඳ සැල්වල 2024 දෙසැම්බර් මාසයේ දක්වා තිබූ මිල ගණන් ය.
මීට අමතරව වෙබ් අඩවි කිහිපයක ද අභ්‍යාස පොත් මිල ගණන් පරීක්ෂා කර බැලූ අතර එම්.ඩී ගුණසේන පොත් හලේ විවිධ සන්නාමවල අභ්‍යාස පොත් මිල ගණන් දැක්වුණේ මේ අයුරින්.
තවත් වෙබ් අඩවි කිහිපයක අභ්‍යාස පොත් මිල ගණන් සඳහන්ව තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.
ඒ අනුව ඉහත සඳහන් අභ්‍යාස පොත් මිල ගණන් දෙස අවදානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ, CR පිටු 200 සහ 400 පොත් පමණක් මිල රුපියල් 300සිට 400 අතර මිලකට අලෙවි වන බවයි. නමුත් සාමාන්‍ය කුඩා අභ්‍යාස පොත් එවැනි මිලකට අලෙවි නොවන බව මිල ගණන් දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වනවා.
2023 දෙසැම්බර් සහ 2024 වසරේ මුල් මාසයන්ට සාපේක්ෂව මේ දිනවල අභ්‍යාස පොත්වල මිල වැඩිවීමක් සිදුව තිබේ ද?
අප තෝරාගත් ලිපි ද්‍රව්‍ය අලෙවි සැලක 2023 වසරේ දෙසැම්බර් මාසයේ සහ 2024 මුල් මාසවල මිල ගණන් මෙන් ම 2024 දෙසැම්බර් මාසයේ මිල ගණන් සසඳා බැලීමක් සිදුකළා.
2023 දෙසැම්බර් | 2024 පෙබරවාරි | 2024 දෙසැම්බර් |
මෙම සසඳා බැලීමේදී පැහැදිවන්නේ, 2023 දෙසැම්බර් මාසයේ සහ 2024 පෙබරවාරි මාසයේ පවතින අභ්‍යාස පොත් මිල ගණන් සමාන බවයි. ඒ අනුව 2023 දෙසැම්බර් මාසය සහ 2024 පෙබරවාරි මාසයේ අභ්‍යාස පොත් මිල ගණන්වලට සාපේක්ෂව 2024 දෙසැම්බර් මාසය වනවිට අභ්‍යාස පොත් මිල අඩු වී ඇති බව පෙනීයනවා.
මෙම මිල ගණන්වල වෙනස වැඩිදුරටත් අප මෙසේ පැහැදිලි කර ගනිමු.
EX පොත් (Atlas)
පිටු ගණන | 2023 දෙසැ./2024 පෙබ. -රු. | 2024 දෙසැ.- රු. | වෙනස -රු. |
80 | 67.50 | 60 | 7.5 |
120 | 104 | 97 | 7 |
160 | 180 | 150 | 30 |
200 | 218 | 180 | 38 |
CR පොත් (Atlas)
පිටු ගණන | 2023 දෙසැ./2024 පෙබ. -රු. | 2024 දෙසැ.- රු. | වෙනස -රු. |
80 | 143 | 135 | 8 |
120 | 210 | 202 | 8 |
160 | 295 | 280 | 15 |
200 | 360 | 345 | 15 |
මෙම සංසන්දනය ඔස්සේ පෙනී යන්නේ, 2023 වසරට සහ 2024 මුල් මාස වලට සාපේක්ෂව 2024 දෙසැම්බර් මාසය වන විට අභ්‍යාස පොත්වල මිල ගණන් අඩු වී ඇති බවයි.
එනම් බොහෝදෙනා මේ දිනවල අභ්‍යාස පොත් මිල ඉහළ ගොස් ඇති බවට අදහස් දැක්වුව ද සංසන්දනාත්මකව බැලීමේදී එවැනි වැඩීවීමක් සිදුව නොමැතිබව පැහැදිලිවනවා.
2025 වසරේ අභ්‍යාස පොත් මිල අඩුවීම
2025 වසරේ මුල සිට පාසල් අභ්‍යාස පොත් මිල සහ ලිපි ද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළඳපොළට මුදා හැරීමට පියවර ගන්නා බව කර්මාන්ත සහ ව්‍යවසාය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පසුගිය දෙසැම්බර් 25 වනදින වාලච්චේන කඩදාසි කම්හලක නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවක පැවසූ බව දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණේ මේ අයුරින්.
ඊයේ (2) වාර්තා වූ පුවතක් වුණේ, ඩොලරයේ වටිනාකම අඩු වෙමින් තිබෙන නිසා අහ්‍යාස පොත් ඇතුළුව පාසල් උපකරණවල මිල 20%කින් අඩු කිරීමට කටයුතු කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කර තිබෙන බවයි.
අභ්‍යාස පොත් මිල අඩු කිරීම යටතේ පසුගිය කාලයේදී රුපියල් 80 ට අලෙවි කළ පොතක් රුපියල් 60 දක්වාත්, රුපියල් 120කට අලෙවි කළ පොතක් රුපියල් සියයක් දක්වාත් මේ වන විට අඩු කර තිබෙන බවත්, මේ ආකාරයට සියලුම පොත් වර්ගවල මිල අඩු වන බවද ඔවුන් සඳහන් කර ඇති බව වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.
නමුත් අප ඊයේ(2) සහ අද(3) දිනයේ සිදුකරනු ලැබූ අභ්‍යාස පොත් මිල පරීක්ෂාවේදී එවැනි පොත් මිල අඩුවීමක් 2025 වසරේ මෙම දින 3 තුළ නිරීක්ෂණය නොවුණි. එනම් පසුගිය නොවැම්බර්, දෙසැම්බර් මාසයේදී පැවති මිල ගණන් අනුව තවමත් පොත් මිල පවතින බව අපට නිරීක්ෂණය විය.
පාසල් උපකාරණ මිලදී ගැනීමට දීමනාවක් ලබාදෙන්නේ, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට පමණ ද?
ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් අවදානමට ලක් වූ, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට නව රජය තීරණය කළ අතර මේ වනවිට පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම් වෙත නිකුත්කර තිබෙනවා.
මෙලෙස අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල දරුවන් සඳහා පමණක් පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබාදීම මේ දිනවල කතාබහට යොමුව තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභී නොවන තෝරාගත් පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රු.6000ක දීමනාව ලබාදීමට කටයුතු කරන බවත් පසුගිය 31 වනදා පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනම් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
එවැනි දරුවන් තෝරාගැනීම පාසල් මට්ටමෙන් සිදුකරන බවත්, තම පාසලේ සිටින මෙම සහනය ලැබිය යුතු දරුවන් සම්බන්ධයෙන් සොයාබලා ලේඛන සකස් කරන ලෙසත් පාසල් විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබාදී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනු ලැබුවා.
එමෙන් ම එහිදී හිමිවන්නේ, වවුචර් පතක් ද නැතහොත් ගිණුමකට මුදල් බැර වන්නේ ද යන්න මුදල් අමාත්‍යංශය ඉදිරියේදී දැනුම්දෙන බව ද කැබිනට් ප්‍රකාශකවරයා මෙහීදී පවසනු ලැබුවා.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
අප පරීක්ෂා කර බැලූ තොරතුරු අනුව පැහැදිලි වන්නේ මිල රුපියල් 300ත්, 400ත් අතර මිලකට අලෙවිවන්නේ, CR පොත් පිටු 200 සහ 400 පොත් පමණක් බවයි. සාමාන්‍ය අභ්‍යාස පොත් එවැනි මිලකට අලෙවි නොවන බව අප කළ නිරීක්ෂණයන් තුළින් පැහැදිලි වුණා.
එමෙන් ම 2023 වසරේ දෙසැම්බර් සහ 2024 පෙබරවාරි මාසයවන විට පැවති අභ්‍යාස පොත් මිල ගණන්වලට සපේක්ෂව 2024 නොවැම්බර්, දෙසැම්බර් මාසයන්හි අභ්‍යාස පොත් මිල අඩුවී ඇති බවත් අපට පෙනී යනවා.
නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අභ්‍යාස පොත් මිලෙහි වැඩිවීමක් සිදු නොවූ අතර පැවති මිල ගණන් ද අඩු වී ඇති බව නිරීක්ෂණය වනවා.
ඊයේ දිනයේදී(2) අභ්‍යාස පොත් මිල තවත් 20%කින් අඩු කිරීමට කටයුතු කරන බවට පුවත් වාර්තා වී තිබුණ ද මෙතෙක් එම මිල අඩුවීම් ක්‍රියාත්මක වී නොතිබූ අතර නොවැම්බර්, දෙසැම්බර් මාසයන්හි පැවති සාමාන්‍ය මිල යටතේ අභ්‍යාස පොත් මිල පවතින බවත් අපට නිරීක්ෂණය විය.

Title:අභ්‍යාස පොත් මිල රු.300ත් – 400ත් දක්වා ඉහළ ගිහින් ද?
Written By: Fact Crescendo TeamResult: Misleading
