දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වත්මන් රජය විසින් ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක් වුණා. එවන් පසුබිමක සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර සඳහා බලහත්කාරයෙන් ජාතික ජන බලවේගයේ පුද්ගලයෙකු පත් කළ බවට පළවන සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සම්ප්‍රදායට පිටින් සබරගමු මහ සමන් දේවාලයට බලහත්කාරයෙන් මාලිමාවෙන් බස්නායක නිලමේවරයෙක් පත් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.
මේ පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
පසුගිය දෙසැම්බර් 31 වන දා සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර බණ්ඩාර මහතාගේ ධුර කාලය අවසන් වීම හේතුකොට ගෙන පත් කළ නව බස්නායක නිලමේවරයා සම්බන්ධයෙන් සමාජ විරෝධයක් ඇති ව තිබුණා. ඒ එම පත් වීම වත්මන් ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දරන පුද්ගලයෙකුට ලබා දුන් බව ත් සහ එම පත් වීම නීති විරෝධි බව ත්, දක්වමින්.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා
මෙම පත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආර්.එම්.පී.රත්නායක මහතා ඊයේ(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පත්වීම සිදු කළේ, පනතට අනුව බවයි.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ, සබරගමුව සමන් දේවායේ බස්නායක නිලමේ තනතුරු 2023 ජූලි මාසයෙන් අවසන් වූ අතර පනත ප්‍රකාරව බස්නායක නිලමේ තනතුර සඳහා නැවත වසරක්, දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කළ හැකි බව ත්, ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු බස්නායක නිලමේවරයාගේ කාලය වසරකට දීර්ඝ කළ බවයි.
වසරක කල් අවස් වීමෙන් පසුත්, බස්නායක නිලමේවරයෙකුගේ තනතුර දෙවතාවක් ජනාධිපතිවරයෙකුට දීර්ඝ කිරීමේ හැකියාව පවතින හෙයින් හිටපු ජනාධිපතිවරයා විසින් මැතිවරණ කාලසීමාව ද, සැලකිල්ලට ගනිමින් මිගාර ජයසුන්දර බණ්ඩාර මහතාගේ ධුර කාලය තව ත් මාස 06කට පමණක් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම ධුර කාලය ද, පසුගිය දෙසැම්බර් 31 වන දා අවසන් වූ බැවින්, ඔහු නැවත වරක් තව ත් මාස 6කට එම ධුරය දැරීම සඳහා ඉල්ලා සිටියත් පනත ප්‍රකාරව දෙවතාවකට වඩා බස්නායක නිලමේ තනතුර දීර්ඝ කිරීමට නොහැකි බැවින් වත්මන් ජනාධිපතිවරයාට ඒ සඳහා ඉල්ලීමක් නොකළ බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.
ඒ අතර තව ත් පාර්ශවයකින් මෙම තනතුර සඳහා ඉල්ලීමක් පැමිණි අතර ඔහු සුදුසුකම් සපුරා තිබූ නිසා ත්, ඔහුට වයස අවුරුදු 70 ඉක්මවා ඇති බැවින් නැවත වරක් බස්නායක ධුරය හෙබවීමට අවස්ථාවක් නොමැති හෙයින් ද, තාවකාලිකව ලබන පෙබරවාරි 11 වන දා තෝරාගැනීමේ රැස්වීමෙන් නව බස්නායක නිලමේවරයෙකු තෝරා ගන්නා තෙක් තාවකාලික ව බස්නායක නිලමේ තනතුරු සඳහා පත් කළ බව ත්, සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පත්වීම සිදු කළේ, පනතට අනුව බව ත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අප බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත ට අනුව බස්නායක නිලමේවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් දැක්වෙන තොරතුරු වෙත අවධානය යොමු කළා.
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතට අනුව, දේවාල වල භාරකාර තැන බස්නායක නිලමේ හෝ අන් කෙනෙකු විය හැකි අතර සියලු ම දේවාල වල භාරකාරයෝ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරනු ලබන අය විය යුතුයි යන්න සඳහන් වන්නේ මෙලෙසින්.
සම්ප්‍රදායක්ලෙස බස්නායක නිලමේ වරයෙකු පත් කල දේවාලවල භාරකරුවන්නේ බස්නායක නිලමේය.එබඳු දේවාලයක බස්නායක නිලමේ තනතුරේ පුරප්පාඩුවක් ඇතිවූ විට මාස තුනක් ඉක්ම යන්නට පෙර බෞධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් උඩරට පලාතක දේවාලයක් නම් ඒ දේවාලය පිහිටි දිස්ත්‍රික්කයේ බෞධ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරු , උඩරට නොවන පලාත්වල දේවාලයක් නම් ඒ දිස්ත්‍රික්කයේ බෞධ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරු හා ග්‍රාම නිලධාරීන්, එම දිස්ත්‍රික්කයේ දේවාලවල බස්නායක නිලමේවරු, දේවාලය පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සියලුම විහාරස්‍තානවල ගිහි භාරකරුවන්, මසක කල්දීමකින් කැඳවා පවත්වන සභාවකදී නව බස්නායක නිලමේ වරයෙකු තෝරාගත යුතුවේ. මේ සභාවේදී බස්නායක නිලමේ ධුරය සඳහා එක් නාමකට වැඩියෙන් යෝජනා වුවහොත් රහසිගත ඡන්දයකින් වැඩිම ඡන්ද ලබාගන්නා තැනත්තා බස්නායක නිලමේ ලෙස තෝරා ගත යුතුය.මීට අදාල විධිවිධාන සලස්වා ඇත්තේ බෞධ විහාර දේවාලගම් ආඥා පණතේ 8(2)වගන්තිය ප්‍රකාරවය.මෙසේ පත්කල හැකි භාරකරුවෙකු නැත්නම් බස්නායක නිලමේ කෙනෙකුගේ සුදුසුකම් ආඥා පණතේ 14වගන්තියේ දැක්වේ.
බස්නායක නිලමේවරුන් සඳහා සුදුසුකම්
එමෙන් ම එහි 14 වන වගන්තියේ, බස්නායක නිලමේවරුන් සඳහා සුදුසුකම් දක්වා තිබුණේ මෙලෙසින්.
බොහෝ දෙනෙකු තාවකාලිකව පත් කළ බස්නායක නිලමේගේ වයස සම්බන්ධයෙන් ප්‍රශ්න ගත කර තිබූ අතර පනතේ වයස අවුරුදු 70 ඉක්මවූ අයෙකු බස්නායක නිලමේ ලෙස පත් වීමට නොහැකි ලෙස දක්වා ඇති බව ද, සඳහන් කරනු ලැබුවා නමුත් මෙම වගන්තියේ (ඊ) කොටසේ වයස අවුරුදු 70 ඉක්මවා ඇත්නම්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුමතය ඇතුව එම තනතුරට පත් කිරීමේ හැකියාව පවතින බව සඳහන් වේ.
බස්නායක නිලමේවරයෙකුගේ ධුර කාලය
බස්නායක නිලමේවරයෙකුගේ ධුර කාලය සම්බන්ධයෙන් එම පනතේ දැක්වෙන්නේ, ධුර කාලය අවුරුදු 5ක් වන අතර ඒ කාලයෙ අවසානයේදී නැවත පත් කරනු ලැබීමට යෝග්‍යව සිටී නම්, ජනාධිපතිවරයා විසින් බස්නායක නිලමේවරයෙකුගේ ධුර කාලය එක් වරකට අවුරුද්ද බැගින් වූ කාලයකට දීර්ඝ කිරීමේ හැකියාව පවතින අතර එහෛත් එසේ දීර්ඝ කරනු ලබන කාලය සමස්තය අවුරුදු දෙකක් නොඉක්මව විය යුතු බවයි.
ඒ අනුව පැහැදිලි වන්නේ මෙහිදී ජනාධිපතිවරයෙකු විසින් අවුරුද්දට එක බැගින් දෙවතාවකදී බස්නායක නිලමේවරයෙකුගේ ධුරය දීර්ඝ කල හැකි බවයි. නමුත් මෙහිදී මිගාර ජයසුන්දර බණ්ඩාර මහතා අවුරුදු 5 ක ධුර කාලය හෙබවීමෙන් අනතුරුව ජනාධිපතිවරයෙකු විසින් එක් අවුරුද්දක ධුර කාලය දීර්ඝ කිරීමක් සහ තව ත් මාස 6ක ධුරය දීර්ඝ කිරීමක් කර ඇති බව ත් නමුත් එය සමස්තය අවුරුදු දෙකක් සම්පූර්ණ වී නොමැති බව ත් ය. එමෙන් ම මෙහි ජනාධිපතිවරයෙකු විසින් දෙවතාවකදී තනතුර දීර්ඝ කිරීමක් සිදු කර තිබුණු අතර එය ද, මෙම පනත ප්‍රකාරව නිවැරදි වේ.
එමෙන් ම කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉහත මාධ්‍ය සාකච්ඡාවේදී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ (06) ‘දිනමිණ’ පුවත්පතේ දැන්වීමක් පළ කර ඇති බවට සඳහන් කළ අතර අප ඒ පිළිබඳව ද, පරීක්ෂා කළ අතර පෙබරවාරි 11 වන දා බස්නායක නිලමේ වරයෙකු තෝරා පත් කිරීමට කටයුතු යොදා ඇති බවට දැක ගන්නට ලැබුණා.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
කෙසේ වෙතත් අප මේ පිළිබඳ ව රත්නපුර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, සබරගමුව මහ සමන් දේවාලයේ අනුයුකුත්ව වැඩ කරන පිරිස මෙම පත්වීම සඳහා වැඩිවශයෙන් අකමැත්ත ඇත්තේ, පනතට වඩා සම්ප්‍රදායිකව සංස්කෘතිකව පිළිගන්නා විශ්වාසයන් මත බව ත් සඳහන් කළා.
තවදුරටත් මේ පිළිබඳ පැහැදිලි කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, වත්මන් බස්නායක නිලමේගේ ‘කුලය’ සම්බන්ධයෙන් මෙහිදී ගැටලුවක් පැන නැගී ඇති බවයි. දේවාලවල තනතුරු හොබවන පිරිස කුලයෙන් වැඩි අය බැවින් වත්මන් බස්නායක නිලමේවරයාගේ කුලය සම්බන්ධ පැනනැගී ඇති ගැටලුව හේතුවෙන් එවන් අයෙක් තමන්ගේ ඉහල තනතුරකට පැමිණීම ත්, ඒ සඳහා ගරු බුහුමන් දැක්වීමට ඇති අකමැත්තත් ඔවුන් පෙන්වා දෙනවා.
ඇතැම් මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ, වත්මන් රජය යටතේ වංචාව, දූෂණය අහෝසි කිරීම වැනි පරමාර්ථයන්, පාඨයන් පෙරදැරිව කටයුතු කරන බවට පැවසීම හේතුවෙන් ඔවුන්ට විශ්වාසවන්ත අයෙකු, පවතින තනතුරු වෙනස් කිරීමේ අවශ්‍යතාව මත මෙලෙසින් පත් කර ඇති බව ත් ය.
එමෙන් ම තවත් පිරිසක් පෙන්වා දුන්නේ, ජාතික ජන බලවේගයට උදව්කළ . චන්ද්‍රසිංහ මහතාට මෙම තනතුර ලබා දී ඇති බව ත්, ඔහු අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයෙකු බැවින් පනතට අනුව එසේ නොකළ හැකි බවයි.
කෙසේ වෙතත් පනතේ දැක්වෙන්නේ අවුරුදු 70 ඉක්මවා ඇති පුද්ගලයෙකු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය අනුව පත් කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව එක් ව විරෝධතිවය දැක්වු අවස්ථාවක් පහතින්.
සබරගමුව මහ සමන් දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා පත්කිරීම සමබන්ධයෙන් බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අද(07) පාර්ලිමේන්තුවේදී මේ ගැන අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
කපු මහතුන් දේවාලය වසා දමමින් විරෝධය දැක්වූ අතර ඒ හේතුවෙන් සබරගමුව මහ සමන් දේවාලය වසා තිබූ අතර එය අද(07) සිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් වැඩබලන නව බස්නායක නිලමේ වන එස්.වී. චන්ද්‍රසිංහ මහතා ට සුබ පතා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර රැසක මේ වන විට සුබ පැතුම් බැනර ප්‍රදර්ශනය කර ඇති බවට ඇතැම් පුවත් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප සටහන් ද, පළ කර තිබුණේ මේ අයුරින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:සම්ප්‍රදායට පිටින් සබරගමු මහ සමන් දේවාලයට බලහත්කාරයෙන් මාලිමාවෙන් බස්නායක නිලමේවරයෙක් පත් කරයි?
Fact Check By: Pavithra SandamaliResult: Insight
