පසුගිය දිනවල ඩේටා පැකේජ් මිල වැඩි වුණා ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දුරකතන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වී තිබෙනවා. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Fb|Archive

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් දුරකතන පැකේජවල මිල ඉහළ යාමක් සිදුව තිබෙනවා ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

“නව පැකේජ හඳුන්වා දීම හරහා දුරකතන සමාගම් පාරිභෝගිකයින්ගේ මුදල් ‘ගසා කනවා’ ද?” යන ශීර්ෂ පාඨය ඔස්සේ BBC සිංහල සේවය පසුගිය ජනවාරි 6 වන දින ලිපියක් පළ කර තිබූ අතර එම ලිපියේ දැක්වුණේ පාරිභෝගිකයින් නව පැකේජ ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් මැසිවිලි නඟන බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදාළ දුරකතන සමාගම්වලින් ද BBC සිංහල සේවය විමසීම් සිදුකරමින් එම ලිපිය පළ කර තිබුණා. 

එම ලිපියම පාදක කරගනිමින් දේශය පුවත්පත ද මෙම පුවත වාර්තා කර තිබූ අතර එය රූපවාහිනියේ පුවත්පත් කියවීම් සිදුකරන උදෑසන වැඩසටහනක ද විකාශය වී තිබුණේ මේ අයුරින්.

මෙම පුවත්වල තොරතුරුවලට අනුව ඇතැම් දුරකතන සමාගම් නව පැකේජ හඳුන්වාදීමත්, ඇතැම් පැකේජ සංශෝධනය කර ඇති බවත් පෙනී යනවා.

අප විසින් ද එක් එක් දුරකතන සමාගම්වල බොහෝදෙනා මිල වැඩි වී ඇති බවට චෝදනා කරනු ලබන පැකේජ කිහිපයක එම මිල වැඩිවීම්, සශෝධනයන් සිදුව ඇත්තේ, කෙසේ ද යන්න පිළිබඳව විමසා බැලීමක් කළා.

මොබිටෙල් සමාගම

මොබිටෙල් දුරකතන ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය සහ දුරකතන ඇමතුම්, SMS, යන සේවාවන් එකම පැකේජයකින් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී ඇති අතර ප්‍රධාන වශයෙන් එවැනි පැකේජ දෙකක් පවතිනවා. ඒ අනුව මේ වන විට රු.379ට එක් පැකේජයක් පවතින අතර අනෙක් පැකේජය රු. 1298ක මිලකට පවතිනවා.

පාරිභෝගිකයන් මැසිවිලි නගන්නේ, මෙම රු. 379ට පවතින පැකේජය පෙර පැවතියේ රු.288 වන බවයි. එමෙන් ම රු.1298ට අද වන විට පවතින පැකේජය පෙර පැවත ඇත්තේ රු.988ක මිලකටයි.

අප මේ පිළිබඳව මොබිටෙල් පාරිභෝගික සේවයෙන් විමසීමක් සිදුකළ අතර ඔවුන් පැවසුවේ රු.288ට සහ රු.988කට පැවති පැකේජ වසරක කාලයක් Promotional Period එකකට පැවති අතර එම පැකේජ 2024 ඔක්තෝම්බර් 5 වන දින සිට වෙනස් කර ඇති බවයි. එනම් රු.288ට පැවති පැකේජය රු.379ක් ලෙසත්, රු.988ට පැවති පැකේජය රු.1298ක් ලෙසත් මිල ඉහළ නංවා තිබෙනවා. පැරණි සිම්පත් ඇති අයෙක්ට හෝ පැරණි මිල ගණන් යටතේ එම පැකේජ සක්‍රීය කර ගැනීමට මොබිටෙල් සේවාව ඔස්සේ අවස්ථාවක් නෑ.

පැරණි මිලනව මිල

මෙම පැරණි මිල ගණන් සහ නව මිල ගණන් සංසන්දනාත්මකව බැලීමේදී පෙනී යන්නේ පැකේජවල ගාස්තු වැඩි කිරීමක් සිදුකළ ද ලබාදෙන සේවාවන්හි වෙනසක් සිදුව නොමැති බවයි. කෙසේ වෙතත් මෙම පැකේජවල මිල ගණන් වැඩි කර ඇත්තේ 2024 ඔක්තෝම්බර් 5 වන දිනයි. 

ඩයලොග් සමාගම

ඩයලොග් සමාගමෙන් ද සමාජ මාධ්‍ය පරිශීලනයට, දුරකතන ඇමතුම් සහ SMS සඳහා ප්‍රධාන වශයෙන් පැකේජ දෙකක් හඳුන්වා දී තිබෙනවා. එහි එක් පැකේජයක් රු.797කට පවතින අතර අනෙක් පැකේජය පවතින්නේ රු.1599කටයි.

බොහෝදෙනා චෝදනා කරන්නේ රු.547ට පැවති පැකේජයේ මිල රු.797 දක්වාත්, රු.1299ට පවතින පැකේජය රු.1599 දක්වාත් ඉහළ දැමීමක් සිදුකර ඇති බවයි. 

මෙම පැකේජවල සිදුවන සංශෝධනය සිදුව ඇත්තේ, 2024 සැප්තැම්බර් 25 වන දින සිටය. පැකේජවල සිදුවන සංශෝධනය පිළිබඳව දැනුවත් කරමින් පාරිභෝගිකයන්ට ලැබී තිබුණු දැනුවත් කිරීම් මෙසේ ය.

මෙම දැනුම්දීමට අනුව රු.547ට පැවති පැකේජය 2024 සැප්තැම්බර් 25 වන දා සිට ලබාගත නොහැකිය. 

නමුත් ඩයලොග් ඇප් එකෙහි පැකේජ පිළිබඳ පවතින තොරතුරුවල අද (14) දින වන විටත්, රු.547 පැකේජය දැකගත හැකිවනවා.

අප ඩයලොග් පාරිභෝගික සේවයෙන් මේ පිළිබඳව සිදුකළ විමසීමේදී අප වෙත පැවසුවේ ඔක්තෝම්බර් 31ට පෙර මාස 6ක් ඇතුළත රු.547 පැකේජය කවුරුන් හෝ සක්‍රීය කර තිබේනම් කමිනිකේෂන් එකක් ඔස්සේ රීලෝඩ් කර හෝ එසේත් නොමැතිනම් බැංකු ක්‍රමයකින් හෝ MY Dialog ඇප් එක ඔස්සේ රු.547ක් ලබාදී එම පැකේජය සක්‍රීය කරගත හැකි බවයි.

එමෙන් ම ඔක්තෝම්බර් 31ට පසු මෙම පැකේජය සක්‍රීය කිරීමට කැමති පාරිභෝගිකයෙක් සිටිනවානම් බැංකු ක්‍රමයකින් හෝ MY Dialog ඇප් එක ඔස්සේ රු.547ක් ලබාදී එම පැකේජය සක්‍රීය කරගත හැකි බවයි. ඔවුන්ට කමිනිකේෂන් එකකින් රු.547ක් රීලෝඩ් කර එම පැකේජය සක්‍රීය කරගත නොහැකි බවයි ඩයලොග් පාරිභෝගික සේවයෙන් පවසන්නේ.

නමුත් රු.1299ට පැවති පැකේජය සම්පූර්ණයෙන් ම ඉවත්කර ඇති බව ඩයලොග් පාරිභෝගික සේවය පවසනවා. පැරණි දුරකතන අංකවලට පමනක් ඔක්තෝම්බර් 31ට පෙර ඔවුන් මෙම පැකේජය සක්‍රීය කර තිබේනම් පමණක් කමිනිකේෂන් එකක් ඔස්සේ රීලෝඩ් කර හෝ බැංකු ක්‍රමයක් මඟින් මුදල් දමා එම පැකේජය සක්‍රීය කිරීමට අවස්ථාව තිබෙන නමුත් නව දුරකතන අංක සඳහා එම අවස්ථාව නොමැති බව පවසනවා.

ඒ අනුව ඩයලොග් ආයතනය රු.547 පැකේජයේ මිල රු.797ක් දක්වා ඉහළ දැමීමක් සිදුව නොමැති අතර රු.797ක නව පැකේජයක් හඳුන්වාදීමක් පමණක් සිදුව ඇති බව පැහැදිලි වනවා. එමෙන් ම රු. 547 පැකේජය සඳහා ලබදී නොතිබූ ඉන්ස්ටෙර්ග්‍රෑම් පරිශීලන අවස්ථාව සහ විනාඩි 100ක Unlimited දුරකතන ඇමතුම් අවස්ථාවක් රු.797 පැකේජයට ඇතුළත් කර තිබෙනවා.

නමුත් 1299 පැකේජය සම්පූර්ණයෙන් ඉවත්කර ඇති අතර ඒ වෙනුවට රු.1599ක පැකේජය හඳුන්වා දී ඇත. නමුත් එම මිල වැඩි කිරීමේදී රු.1299 පැකේජයේ නොමැති Viber සහ IMO යන සමාජ මාධ්‍ය ජාලවලට ප්‍රවේශ වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් ඩයලොග් සමාගමේ මෙම පැකේජ සංශෝධනයන් සිදුව ඇත්තේ, 2024 සැප්තැම්බර් 25 වන දින සිට ය.

එයාටෙල් සමාගම

එයාටෙල් සමාගමේද බොහෝදෙනා අතර ජනප්‍රිය පැකේජයක් වී තිබුණේ, රු.769 පැකේජයයි.එම පැකේජය සඳහා ඕනම ජාලයකට Unlimited දුරකතන ඇමතුම්, දවසකට 1GB බැගින් මාසයකට 30GB ක් බලාදීමක් සිදුව තිබෙනවා. 

අප එයාර්ටෙල් පාරිභෝගික සෙවාවෙන් සිදුකළ විමසීමේදී පැවසුවේ රු.769 පැකේජය දීර්ඝ කාලීනව භාවිත කළ පාරිභෝගිකයන්ට පමණක් පිරිනැමීමක් (Offer) වශයෙන් එය දිගටම සක්‍රීය කිරීමට හැකියාව පවතින බවයි. මාස 6ක්  රු.769 පැකේජය දිගට ම භාවිතා කළ පාරිභෝගිකයන්ට පමණක් මෙම පැකේජය දිගටම සක්‍රීය කරගැනීමේ හැකියාව පවතින බවත්,එක් මාසයක් හෝ එය මඟහැර තිබේනම් එය සක්‍රීය කරගත නොහැකි බවයි. එමෙන් ම මීට පෙර එම පැකේජය භාවිත නොකළ අයට ද එම පැකේජය සක්‍රීය කරගත නොහැකි බව එයාර්ටෙල් පාරිභෝගික සෙවාව පවසනවා.

මේ වන විට රු.1188කට නව පැකේජයක් එයාර්ටෙල් වෙතින් හඳුන්වා දී තිබෙන අතර එහි මාසයට ම ලබාදෙනේ 12GB කි. එය නව දුරකතන අංකවලට මෙන් ම පැරණි දුරකතන අංකවලට සක්‍රීය කර ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව එයාර්ටෙල් සමාගමේ ද රු.769ට පැවති පැකේජය සංශෝධනය කර ඇති අතර ඒ වෙනුවට හඳුන්වා දී ඇති නව පැකේජයේ ගාස්තු ද වැඩි කර ඇති අතර ලබාදෙන 30GB ක ප්‍රමාණය GB 12 දක්වා අඩු කිරීමක් සිදුකර තිබෙනවා.

එමෙන් ම එම සංශෝධනය ද සිදුව ඇත්තේ 2024 සැප්තැම්බර් මාසයේදී ය.

එමෙන් ම අප කළ විමසීම්වලදී පැහැදිලි වුණේ කිසිඳු සමාගමක් 2024 නොවැම්බර්, දෙසැම්බර් සහ 2025 ජනවාරි මාසය අතර දුරකතන පැකේජවල මිල වැඩි කිරීමක් සිදුකර නොමැති බවයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ

නව පැකේජ ගාස්තු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩගෙන් සිදුකළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ,

මේ වන විට ක්‍රියාත්මක වන පැකේජ ගාස්තු සංශෝධනය කර නොමැති නමුත් දුරකතන සමාගම් අලු‍තින් “Tariff plans” (අයක්‍රම සැලසුම්) අනුමත කරගෙන ඇති බවයි. ඉන් පවතින අයක්‍රම සැලසුම්වල මිල වැඩි කිරීමක් හෝ පවතින ප්‍රතිලාභ අඩු කිරීමක් ඉන් සිදු නොවන්නේ යැයි ඔහු ප්‍රකාශ කර ඇත. අයක්‍රම සැලසුමක් ඉදිරිපත් කළ පසු එම පැකේජය භාවිත කරන පුද්ගලයකුට දුරකතන සමාගම අවම වශයෙන් වසරක කාලයක් සේවාව සැපයිය යුතු බවද වසරකට පසු  සංශෝධනයකට යෑමට හැකි බවද සඳහන් කර තිබෙනවා. දුරකතන සමාගම්වල අවශ්‍යතාව පරිදි නව පැකේජ වෙළෙඳපොළට හඳුන්වා දීමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉල්ලු‍ම් කරන බවද ඔහු සඳහන් කර ඇත. 

එමෙන් ම ඊයේ (13) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ සඳහන් කළේ, දුරකතන පැකේජ සඳහා ගාස්තු වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා ප්‍රතික්ෂේප කරමින් කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ පැවසුවේ කිසිදු විදුලි සංදේශ සේවා සපයන්නකුට තම ගාස්තු ඉහළ නැංවීමට කිසිදු බලයක් ලබා දී නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තාවලින් පසුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වහාම සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ගෙන් විමසීමක් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් එම සියලුම සැපයුම්කරුවන් ලිඛිතව සහතික වී ඇත්තේ තම පැකේජ සඳහා ගාස්තු වැඩි කර නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු මගින් නොමඟ නොයන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එවැනි නොමඟ යවන පුවත් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව පවතින නීතිවලට අනුකූලව කොමිසම නීතිමය පියවර ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කරනවා.

ඊට අමතරව, සේවා සපයන්නන් විසින් අනවසර ලෙස සිදුකරන පැකේජ මිල වැඩි කිරීම් ඇත්නම් ඒ පිළිබඳ ඕනෑම සාක්ෂියක් කොමිසමට වාර්තා කරන ලෙස අධ්‍යක්ෂවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියා. එනම් යම් කිසි පාරිභෝගිකයෙක් තමන් සක්‍රීය කරගෙන ඇති පැකේජයක මිල ඉහළ යාමකට මුහුණ දී සිටීනම්, ඒ පිළිබඳව සත්‍ය තොරතුරු සාධක සහිතව කමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස ඔහු පවසනවා. ඔහු පවසන්නේ එවැනි ක්‍රියාමාර්ග කොමිසම විසින් නියම කර ඇති බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමක් වන බැවින් ඊට එරෙහිව පියවර ගත හැකි බවයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඔබේ පැමිණිලි ඉදිරිපත් කරන්නේ කෙසේ ද ?

ඔබ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසුනු පසු ‘පැමිණිලි’ ලෙස සඳහන් කර යොමුවක් තිබෙනවා. 

එම යොමුවට පිවිසි විට ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන ස්ථානය ඔබට දැකගත හැකි ය.

“Submit Your Complaints” ලෙස සඳහන් කර ඇති ස්ථානය Click කළ විට ඔබට එහි ඔබේ තොරතුරු කිහිපයක් සහ හැඳුනුම්පතේ කොපියක් ඇතුළත් කිරීමටත්, පැමිණිල්ල ලියූ ලිපියක් ඇතුළත් කිරීමට ස්ථානයක් පවතිනවා. ඔබේ අත්සන සහිතව අදාළ පැමිණිල්ල සහිත ලිපිය සහ ඔබේ හැඳුන්පතේ කොපියක් ඉදිරිපත් කර ඔබට ඔබේ පැමිණිල්ල ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ යොමු කිරීමේ හැකියාව පවතිනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අප කළ විමර්ශනයේදී පැහැදිලි වන්නේ, විවිධ සමාගම් 2024 වසරේ සැපැත්ම්බර්, ඔක්තෝබර් යන මාසවලදී පැවති දුරකතන පැකේජයන්වල මිල ගණන් මෙන් ම පැකේජවලට ලබාදෙන  යම් යම් සේවාවන්ගේ සශෝධනයන් සිදුකර ඇති බවයි. සමස්තයක් ලෙස මෙම සංශෝධනවලදී පැකේජයන්හි මිල ගණන් ඉහළ ගොස් ඇති බව පැහැදිලිවනවා.

දුරකතන සමාගම් අලු‍තින් “Tariff plans” (අයක්‍රම සැලසුම්) අනුමත කරගෙන ඇති බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ පවසන්නේ. අයක්‍රම සැලසුමක් ඉදිරිපත් කළ පසු එම පැකේජය භාවිත කරන පුද්ගලයකුට දුරකතන සමාගම අවම වශයෙන් වසරක කාලයක් සේවාව සැපයිය යුතු බවද වසරකට පසු  සංශෝධනයකට යෑමට හැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා.

නමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස 2025 ජනවාරි මාසයේ කිසිඳු පැකේජවල මිල වැඩිවීමක් සිදුව නෑ.

නමුත් ඔබ සක්‍රීය කරගත් දුරකතන පැකේජයක මිල අයතා ලෙස ඉහළ දැමීමක් සිදුකර ඇති බව ඔබ සිතන්නේ නම්, නිසි සාක්ෂි සමඟ ඔබට විදුලි සංදේශ කොමිෂන් සභාවට ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි ය.

Avatar

Title:පසුගිය දිනවල ඩේටා පැකේජ් මිල වැඩි වුණා ද?

Written By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply