
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වුණා. මෙය ලංකාවේ නව ජනාධිපතිවරයාගේ දෙවන නිල සංචාරය වන අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එය චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට වැදගත් විය.
ඒ අනුව ජනාධිපතිවරයා චීන සංචාරය අවසන් වීමෙන් පසු හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහනක් කෙරෙහි අපගේ අවදානය යොමු වුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
චීනයෙන් සුඛෝපභෝගී බස් රථ මෙරටට නොමිලේ ලැබුණ බවත්, ඩොලර් මිලියන 400ක දඩ පොලී කපා හැරුණු බවටත් සමාජ මාධ්‍ය සටහනක දැක්වුණේ මෙලෙසින්.
තවත් එවැනි බොහෝ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණු අතර ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වුණේ, ශ්‍රී ලංකාවට චීනයෙන් සුඛෝපභෝගී බස් රථ 100ක් ලැබුණු බවයි. තවත් ඇතැම් සටහන්වල සුඛෝපභෝගී බස් රථ 500ක් නොමිලේ ලැබුණු බවටත් සටහන්ව තිබුණා.
සියලු සමාජ මාධ්‍ය සටහන් ජනාධිපති අනුරගේ චීන නිල සංචාරයෙන් පසුව පළ වී තිබුණු බැවින් එම නිල සංචාරයේදී ශ්‍රී ලංකාවට බස් රථ නොමිලේ ලබාදීමක් සහ දඩ පොලී කපාහැරීමක් පිළිබඳව ගිවිසුම්ගත වීමක් හෝ එකඟතාවයක් ඇති වී තිබුණේ ද යන්න පිළිබඳව අප පරීක්ෂා කර බැලීමක් සිදුකළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ජනාධිපති අනුරගේ චීන නිල සංචාරයට පෙර ජනවාරි මස 06 වැනිදා කැබිනට් තීරණ දැනුම් දීමේ නිවේදනයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුම් පිළිබඳව කරුණු දක්වීමක් සිදුකර තිබුණා. එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර අතර අත්සන් කිරීමට නියමිතව තිබූ කැබිනට් අනුමැතිය හිමි වූ ගිවිසුම් සඳහන් කර තිබුණේ මෙලෙසින්,
- චීන මාධ්‍ය සමූහයේ නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් අතර ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම.
- මේ අතර චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුළු මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියට අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරික්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීම.
- මීට අමතරව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනි පරිපාලනය අතර අවබෝධතා ගිවිසුම.
- සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ චීනයේ ෂින්හුවා පුවත්පත් ආයතනය සමග අවබෝධතා ගිවිසුම.
- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ චීනයේ ෂින්හුවා පුවත්පත් ආයතනය සමග සහයෝගීතා ගිවිසුම.
- ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම යන ගිවිසුම්වලට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.
එම කැබිනට් තීරණ දැනුම් දීමේ නිවේදනය මෙතනින්.
මීට අමතරව හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට එළැඹ ඇති බව ද, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවා. එම නිවේදනය මෙතනින්. Archived Link
නමුත් මෙම කරුණු තුළ චීනයෙන් ශ්‍රී ලංකාවට නොමිලේ සුඛෝපභෝගී බස් රථ ලබාදීමේ ගිවිසුමක් පිළිබඳව හෝ චීනයෙන් මෙරටට ලබාදී ඇති ණයවල පොලී කපා හැරීමක් සිදුකරන ගිවිසුමක් පිළිබඳව කරුණු ඉදිරිපත් කර නොතිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය, මහජන චීන සමූහාණ්ඩුව
චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ද, චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර එකඟ වූ කරුණු සහ සාකච්ඡා සම්බන්ධයෙන් මෙලෙසින් සඳහන් කර තිබුණු අතර එහි දීද, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි චීනයේ සුඛෝපබෝගි බස් බස් රථ ගෙන්වීම සම්බන්ධයෙන් හෝ දඩපොලී කපා හැරීමක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොවිණි. Archived Link
එමෙන් ම එරට මාධ්‍ය හෝ එවැනි තීරණයක් සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳ ව ද, අප පරීක්ෂා කළ ත්, එවැනි තීරණයක් සම්බන්ධයෙන් එරට මාධ්‍ය ධාරා හෝ වෙනත් කිසිදු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් වාර්තා කර නොතිබුණි.
ජනාධිපති අනුර දිසානායක
ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයෙන් පසුව සහභාගී වූ පළමු ජන හමුව කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ජනවාරි 19 වන දා පැවති අතර එහිදී ද චීනය සහ ශ්‍රී ලංකාව අතර එළඹුනු ගිවිසුම් සහ එකඟතාවයන් පිළිබඳව ජනාධිපතිවරයා යම් යම් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. එම කතාවේ සම්පූර්ණ වීඩියෝව මෙතනින්.
එම කතාවේ එක් අවස්ථාවකදී ජාධිපතිවරයා මෙරට බස් රිය අනතුරු පිළිබඳව කතා කරන අතර රටේ ජනතාවගේ ආරක්ෂාව රජයේ වගකීම බව දක්වනවා. ඒ අනුව ජනතාවගේ ආරක්ෂාව උදෙසා වාහන නවීකරණය විය යුතු බව දක්වන ජනාධිපතිවරයා පවසන්නේ, නගරාබධව එනම් කොළඹ, මහනුවර වැනි ප්‍රදේශවල මඟීන්ට ඇතුල් වීමට පහසු පහත දොරවල් ඇති බස් මෙරටට ගෙන්වීමට බලාපොරොත්තු වන බවයි. චීනය අලුත් බස් නිෂ්පාදනය කර ඇති බවත්, ලංකාවට බස් ගෙන්වීම පිළිබඳව චීන රජය සමඟ සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
එමෙන් ම ලංගම බස් සේවයට අලුත් ප්‍රමිතියෙන් යුතු බස් මෙම වසරට බස් 1000ක් ඇනවුම් කිරීමට බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා පවසනවා.
නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ චීන සංචාරය තුළ මෙරටට බස් නොමිලේ ගෙන්වීමේ ගිවිසුමකට හෝ එකඟතාවයකට පැමිණි බවක් ප්‍රකාශ නොවන අතර මෙරටට බස් ඉදිරියේදී ගෙන්වීම පිළිබඳව සාකච්ඡා කළ බවයි අදහස් වනුයේ.
එමෙන් ම ජනාධිපතිවරයාගෙ කතාවේ කිසිඳු ස්ථානයක දඩ පොලී කපා හැරීමකට චීන රජය එකඟ වූ බවක් හෝ ගිවිසුමගත වීමක් වූ බවට සඳහන් නොකරයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් හර්ෂ බණ්ඩාර
ජනාධිපතිවරයාගේ චීන නිල සන්චාරයට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් හර්ෂ බණ්ඩාර එක්ව සිටි බැවින් අප එම මහතාගෙන් ද මේ පිළිබඳව විමසීමක් සිදුකරනු ලැබුවා.
ඔහු අප වෙත පැවසුවේ ජනාධිපතිවරයා විසින් මෙරටට බස් රථ ලබා ගැනීම පිළිබඳව ඉල්ලීමක් කළ බවත් ඉදිරියේදී ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකරන බවට චීන රජය පවසා ඇති බවයි. නමුත් එවැනි බස් රථ ගෙන්වීමකට හෝ නොමිලේ ලබාදීමකට ජනපතිගේ චීන සංචාරයේදී ගිවිසුම්ගතවීමක් හෝ එකඟතාවයකට පැමිණීමක් සිදු නොවූ බව හර්ෂ බණ්ඩාර මහතා පවසනවා. බස් රථ ලබාදීමක් පිළිබඳව චීන රජයෙන් ඉදිරියේදී සලකා බැලීමක් සිදු වේ යැයි ඔහු පවසන අතර ජනපතිගේ චීන නිල සංචාරය පිළිබඳ රජයෙන් නිල ප්‍රකාශයක් ඉදිරියේදී කරනු ඇති බවත් ඔහු අප වෙත පැවසුවා.
විදේශ අමාත්‍ය විජිත හේරත්
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ජනවාරි 23 වන දින දෙරණ 360 වැඩසටහනට සහභාගී වූ අතර ඔහුගේන් නිවේදකයා ජනපතිගේ චීන නිල සංචාරයේදී අත්සන් තැබුණු ගිවිසුම් 15 පිළිබඳව විමසීමක් සිදුකරනු ලබනවා. එහිදී අත්සන් තැබුණු ගිවිසුම් පිළිබඳව අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කරන අතර එහිදී කිසිඳු ස්ථානයක චීනයෙන් නොමිලේ මෙරටට බස් රථ ලබාදීමක් හෝ දඩ පොලී කපා හැරීමේ එකඟතාවයක් හෝ ගිවිසුම්ගත වීමක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමක් සිදු නොවීය. එම සම්පූර්ණ වැඩසටහන මෙතනින්.
ජනපති අනුරගේ චීන නිල සංචාරය පිළිබඳව විදේශ අමාත්‍ය විජිත හේරත් ඉදිරිපත් කළ නිල තොරතුරු
කෙසේ වෙතත් ඊයේ දිනයේදී (22) ජනපතිගේ චීන නිල සංචාරය පිළිබඳව නිල කරුණු ඉදිරිපත් කිරීමක් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔස්සේ සිදුකෙරුණු අතර එහිදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා චීනය සමඟ අත්සන් කළ ගිවිසුම් 15 පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව සමස්තයක් ලෙස ජනපතිගේ චීන නිල සංචාරයේදී අත්සන් කෙරුණු ගිවිසුම්, ද්විපාර්ශවීය සාකච්ඡා සහ එකඟතා පිළිබඳ තොරතුරු මෙසේ ය.
ද්විපාර්ශවීය සාකච්ඡා
- චීනයේ චෙන්දු නගරයේ ශ්‍රී ලංකාවේ Consular නව කාර්‍යාලයක් ඉදිකිරීමට ඉඩකඩ පහසුමකම් නොමිලේ ලබාදීමට එකඟවීම.
- පසුගිය කාලයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන විවිධ ආර්ථික සහ ආයෝජන ව්‍යාපෘති සඳහා තවදුරටත් උදව් උපකාර කිරීමට එකඟතාවයන්ට පැමිණිම.
- කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස්, කොළඹ වරාය ආශ්‍රිතව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට එකඟතාවලට පැමිණීම.
- දෙරට අතර ඇති වූ ආරක්ෂක, ආර්ථික සහයෝගීතාවන් පිළිබඳව කරුණු ඉදිරිපත්වන ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම. ඒ තුළ එක් චීනයක් ප්‍රතිපත්තිය දිගටම ඉදිරියට ගෙන යාම, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් කැපවන බවට දැනුම්දීම. එමෙන් ම ශ්‍රී ලංකාවේ සවෛරීත්වය, භෞමික අඛණ්ඩතාවයටත් හානිවන ආකාරයකට කටයුතු කෙරෙනවනම් කුමන හෝඅවස්ථාවකදී එය වැළැක්වීම සඳහා චීන ආණ්ඩුවේ සහයෝගය ලබාදීම
අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි
අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15 ක් අත්සන් තබා ඇත. ඒවා මෙසේ ය.
- යුවාන් මිලියන 500ක මූල්‍ය ප්‍රධානයක් ලබාදීම. එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් බිලියන 20ක මූල්‍ය ප්‍රමාණයකි.
- වරාය නගර ව්‍යාපෘතිය තුළ නව ජාත්‍යන්තර රැස්වීම් සහ සමුළු පැවැත්වීම සඳහා හැකියාව තිබෙන දැනට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට වඩා ඉඩ පහසුකම් තිබෙන සම්මන්තරණ ශාලාවක් ප්‍රධානයක් ලෙස ඉදිකර දීමට එකඟ වීම.
- 2026 වසර සඳහා පාසල් සහ පිරිවෙන් නිල ඇඳුම් සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීමට එකඟ වීම.
- ලංකාවේ නිශ්පාදිත කුකුළු මස් කොටස් අපනයනය කිරීමට මෙරට කුකුල් මස් නිෂ්පාදකයින්ට අවස්ථාව ලබාදීමට එකඟ වීම.
- තිරිඟු නිවුඩු පොතු චීනයට අපනනය කිරීමට මෙරට කෘෂිකර්ම අමාත්‍යංශය සහ චීන රජය අතර ගිවිසුමකට අත්සන් කිරීම.
- චීන මාධ්‍ය සමූහයේ නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් අතර ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම.
- හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම කඩිනම් කිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් කිරීම.
- ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මකවන චීන ව්‍යාපෘති ගණනාවක් තිබෙන අතර එම ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ඇති කරගැනීමට එකඟතාවයකට පැමිණීම.
- දැනටමත් ශ්‍රී ලංකාවට ලබාදෙන වියළි ආහාර එනම් හාල්, ධීවරයින් සඳහා දැල් ආම්පන්න,නිවාස සඳහා යුවාම් මිලියන 37.5ක් සහ ඒ සමඟ අදාල භාණ්ඩ ලබාදීමේ ප්‍රධානයකට එකඟ වීම.
- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක්හවුස් යන මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතන සහ චීනයේ ෂින්හුවා පුවත්පත් ආයතනය සමග සහයෝගීතා ගිවිසුම් 5කට අත්සන් කිරීම.මෙම ගිවිසුම් 5 හරහා මෙරට මාධ්‍යවේදීන්ට පුහුණු අවස්ථාවන්ට එක්වීමට අවස්ථාව හිමිවීම, අන්‍යෝන්‍යතා සහයෝගයෙන් මාධ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සැලසීම.
- චීනය සහ ලංකාව අතර පවතින ආර්ථික ආයෝජන ප්‍රවර්ධනය කිරීමට සිදුකළ සාකච්ඡා ගෙනයාම සඳහා සිදුකරන යාන්ත්‍රණයට අදාළ ගිවිසුමට අත්සන් තැබීම.
ඒ අනුව ජනපතිගේ චීන නිල සංචාරයේ නිල තොරතුරු තුළ ද මෙරටට නොමිලේ බස් රථ ප්‍රධානයක් ලබාදීමක් හෝ දඩ පොලී කපා හැරීමක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමක් හෝ ගිවිසුම්ගත වීමක් සිදු නොවී ඇති බව පැහැදිලිවනවා.
ශ්‍රී ලංකාවේ චීන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් සිදුවුණා ද?
චීනය මෙරටට ලබාදී ඇති ණයවල දඩ පොලී කපා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ චීන රජය සමඟ සිදුවුණා ද යන්න පිළිබඳව, එනම් චීන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ යම් වෙනසක් පිළිබඳව සාකච්ඡාවක් සිදුවුණේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විදේශ කටයුතු අමාත්‍යශයේ, මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව මහතා සම්බන්ධ කරගත් අත එම මහතා සඳහන් කළේ චීනයෙන් මෙරටට ලබාදී ඇති ණයවල දඩ පොලී කපා හැරීමක් සිදුව නොමැති බවයි. එවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබඳව ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයේදී සාකච්ඡා සිදු නොවූ බව ඔහු තහවුරු කරනු ලැබුවා.
අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද මේ පිළිබඳව විමසීමක් සිදුකළ අතර ජනාධිපති මාධ්‍ය අංශය ද සඳහන් කළේ එවැනි චීන දඩ ණය පොලී කපාහැරීමක් පිළිබඳව සාකච්ඡාවක් සිදුවූයේනම් එය ඊයේ (22) දිනයේ විදේශ අමාත්‍යවරයා චීන සංචාරයේ නිල තොරතුරු දැනුම්දීමේදී සිදුකරන බවයි. කෙසේ වෙතත් එවැනි තීරණයක් පිළිබඳ නිල රජයේ තොරතුරක් වාර්තා නොවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙලෙස චීනයේ ණය ගෙවීමට සහන කාලයක් මෙරටට හිමි වූ නමුත් ණය පොලී කපා හැරීමක් පිළිබඳව නිල තොරතුරක් චීන මාධ්‍ය හෝ ශ්‍රී ලංකා මාධ්‍ය තුළ වාර්තා නොවීය. විශේෂයෙන් චීන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ එවැනි වෙනසක් සිදු වූයේනම් හෝ සාකච්ඡාවක් සිදුවූයේනම් එය ජනපතිගේ චීන සංචාරයෙන් පසු නිල තොරතුරු ඔස්සේ ඉදිරිපත් කෙරෙනු ඇත. නමුත් එවැනි නිල තොරතුරක් චීන මාධ්‍යයෙන් හෝ මෙරට රජයෙන් නිකුත් කර නොමැත.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා තම සහය ලබා දෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරිය ප්‍රකාශ කිරීමෙන් පසු ( 2023 ජනවාරි 24) චීනය ද ශ්‍රී ලංකාවට ණය සහනයක් දෙන බවට පසුව නිවේදනයක් නිකුත් කළා.
ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබා දෙන බවට චීන අපනයන-ආනයන බැංකුව (Exim Bank of China) එහිදී ලිපියකින් මෙරටට දැනුම් දී තිබුණා.
ඒ අනුව, වසර දෙකක කාලයක් ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වූ අතර එම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමග අවසන් එකඟත්වයකට පසුගිය වසරේදී අත්සන් තැබුණේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ය.එම පුවත මෙතනින්.
මෙලෙස චීනයේ ණය ගෙවීමට සහන කාලයක් මෙරටට හිමි වූ නමුත් ණය පොලී කපා හැරීමක් පිළිබඳව නිල තොරතුරක් චීන මාධ්‍ය හෝ ශ්‍රී ලංකා මාධ්‍ය තුළ වාර්තා නොවීය. විශේෂයෙන් චීන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ එවැනි වෙනසක් සිදු වූයේනම් හෝ සාකච්ඡාවක් සිදුවූයේනම් එය ජනපතිගේ චීන සංචාරයෙන් පසු නිල තොරතුරු ඔස්සේ ඉදිරිපත් කෙරෙනු ඇත. නමුත් එවැනි නිල තොරතුරක් චීන මාධ්‍යයෙන් හෝ මෙරට රජයෙන් නිකුත් කර නොමැත.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, ජනපති අනුරගේ චීන නිල සංචාරයේදී මෙරටට නොමිලේ බස් රථ ප්‍රධානයක් ලබාදීමක් හෝ දඩ පොලී කපා හැරීමක් පිළිබඳව නිල එකඟතාවයකට පැමිණීමක් හෝ ගිවිසුම්ගත වීමක් සිදු වී නොමැති බවයි.
නමුත් මෙරටට චීනයෙන් බස් රථ ගෙන්වීමට සාකච්ඡා කර ඇති අතර එය ඉදිරියේදී චීන රජයේ සලකා බැලීමට අනුව සිදුවීමට ඉඩ ඇති බවයි පෙනී යන්නේ.

Title:චීනයෙන් සුඛෝපභෝගී බස් රථ නොමිලේ ලැබීමක් සහ දඩ පොලී කපාහැරීමක් සිදුවුණා ද ?
Fact Check By: Piumika LakshaniResult: False
