දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඊයේ (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ හේතුව සම්බන්ධයෙන් පළ වී තිබුණු ඇතැම් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් හේතුවෙන් අප යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media)
“තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට යෝෂිත අත්අඩංගුවට- පුනරුදය වැඩ අල්ලයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ තාජුඩීන් ඝාතන සිද්ධියට ද? අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙය මෙරට මාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් වූ අතර එවැනි මාධ්‍ය වාර්තා කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
ඒ අනුව ඊයේ(25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන විත් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.
ඉන් අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කෙරුණා. යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.එහෙත් ඊට එරෙහිව කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධියට අදාළ විමර්ශන කරන බැවින් ඇප ඉල්ලීමට තරයේ විරෝධය පළ කර ඇත. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.
යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ ඇයි ?
ඊයේ (25) යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේ, නීති විරෝධී ලෙස උපයාගත් ආදායම් වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂයට එරෙහිව විමර්ශනයක් පැවැත්වූ අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත් අඩංගුවට ගනු ලැබුවා.
මේ පිළිබඳව ඊයේ දිනයේ මෙම පුවත වාර්තා කළ සෑම පුවතකම සඳහන්වන අතර එවැනි වාර්තා කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ද යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණු අතර එහි ද සඳහන් වන්නේ,
ඔහු විසින් රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසක් හා ඉඩමක් රුපියල් මිලියන 34 ක මුදලකට මිලදී ගැනිමට කටයුතු කර ඇති අතර, එසේ මිලදී ගැනිමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාල උදෘත ගොනු නීතිපතිතුමා වෙත යොමු කිරීමෙන් පසු එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවට අනාවරණය වීමෙන් පසු ගරු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ මේ අයුරින්.
යෝෂිත රාජපක්ෂ නීතියට පටහැනිව බලය හා නීතිය අයුතු ලෙස යොදාගනිමින් තහවුරු කළ නොහැකි අති විශාල මුදලක් භාවිත කරමින් තම මිත්තනියක වූ ඩේසි ෆීරියස් වික්‍රමසිංහ නැමති කාන්තාවත් දඩමීමා කරගනිමින් සිදුකරන ලද වංචනික ගණුදෙනුවක් මෙලෙස ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුවී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට පදනම් වූ නඩුවට නිමිතිවන සම්පූර්ණ කතාව මෙතනින්.
අත්අඩංගුවට පත් යෝෂිත රාජපක්ෂ බැලීම සඳහා ඔහුගේ සොහොයුරා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි අතර අතර ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටින්නේ මේ මොහොතේ රජයේ වැරදි අඩුපාඩු වසා ගැනීම සඳහාත් දේශපාලනික පලිගැනීමක් ලෙසත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවයි. එම අදහස් දැක්වීම මෙතනින්.
කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රකාශය
කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ පසුගිය 3 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි අතර පැය කිහිපයක් ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඉන් පිටව ගියා.
එසේම, එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා. එම පුවත් මෙතනින් සහ මෙතනින්.
තාජුඩීන් ඝාතන සිද්ධිය
දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුදින් 2012 වසරේ මැයි 17 වැනි දින අභිරහස් ලෙස මිය යාමත් සහ ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට චෝදනා එල්ල වීමෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
වසීම් තාජුඩීන් සිය මෝටර් රථය තුළ පිළිස්‌සී මියගොස් සිටියේ කිරුළපන ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයේදීය.
ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ තාජුදින් දක්‍ෂ රගර් ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධව සිටියා.2008 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්‌ඩායම නියෝජනය කළ ඔහු 2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගෙන තිබු ඔහු ප්‍රසිද්ධ රගර් ක්‍රීඩා සමාජ කිහිපයක්ම නියෝජනය කළ ක්‍රීඩයෙක්.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ සිටි යුද හමුදා නිලධාරීන් අටදෙනකු විසින් තාජුඩීන් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඔහු ඝාතනය කර සිරුර මෝටර් රථයට දමා පුළුස්‌සා ඇති බවට සාක්‍ෂි රැසක් මේ වන විට පොලිසිය වෙත ලැබී ඇති බවට එවක පුවත්පත් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ අතර තාජුඩීන් ඝාතනය මෙහෙයවා ඇත්තේ ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්‌තව සිටි රියදුරෙකු ලෙස කටයුතු කළ හමුදා නිලධාරියකු විසින් බව ද අනාවරණය වී ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සිද්ධිය සිදුවූ අවස්ථාවේදී එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය දරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ තරයේ ප්‍රකාශ කර සිටියේ මෙම මරණය වේගයෙන් රිය පැදවීම නිසා සිදුවූ රිය අනතුරක් බවයි. ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් මතු කළ සැක සංකා පොලිසිය ප්‍රතික්ෂේප කළේ එය මිනීමැරුමක් නොවන බවට පොලිසියට තහවුරු වී ඇති බව පවසමින්.
මරණයට පත්වූ වසීම්ගේ මුදල් පසුම්බිය එම ස්ථානයට කිලෝමීටර් 1.5ක දුරකින් දින කිහිපයකට පසු හමුවුවත් පොලිසිය ඒ ගැන පරීක්ෂණ කිරීමට උත්සුක නොවීම මෙම මරණයට දේශපාලන ප්‍රභූවරයෙකුගේ සම්බන්ධතාව තහවුරු කරන කාරණයක් බව ඇතැම් විපක්ෂයේ දේශපාලනඥයන් එවකට ප්‍රකාශ කළා.
තාජුඩීන්ගේ මෙම මරණය රිය අනතුරක් බවට පිළිගත නොහැකි බව පැවසූ ඔහුගේ ඥාතීහු ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේ මේ පිළීබඳව විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බවට ඔවුහු චෝදනා කරමින්.
මෙම පසුබිම යටතේ 2015 දී නව රජය බලයට පත්වීමෙන් පසුව යළිත් පරීක්ෂණය ආරම්භ වුණා.
තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය 2015 ජුලි 27 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
එවක හැව්ලොක් රගර් කණ්‌ඩායමේ සුපිරිම තරුව බවට පත්ව සිටි තාජුඩීන් එම ක්‍රීඩා සමාජයේද ප්‍රබල චරිතයක් බවට පත්ව සිටි අතර එම ක්‍රීඩා සමාජය රාජපක්ෂ පුතුන්ගේ අතට පත්වීමේ බාධකය වූ වසීම් තාජුඩීන් ඉන් ඉවත් කිරීමේ අරමුණින් මෙම ඝාතනය සිදුවූ බවටත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් අදවනතුරු තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටු වී නොමැත. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙතනින් සහ මෙතනින්. මෙම ඝාතනයේ මහ මොළකරු යෝෂිත රාජපක්ෂ බවට ඇතැම් පාර්ෂව චෝදනා කරන බැවින් ඔහුව මෙවර අත්අඩංගුවට ගැණුනේ තාජුඩීන් ඝාතන සිදුවීමට බවට ඇතමුන් අදහස් පළ කර තිබෙන නමුත් ඔහුව අත්අඩංගුවට ගැණුනේ රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙනි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, ඊයේ (25) දිනයේ අත්අඩංගුවට ගැණුනු යෝෂිත රාජපක්ෂ එලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතු වී ඇත්තේ, ඔහු විසින් රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසක් හා ඉඩමක් රුපියල් මිලියන 34 ක මුදලකට මිලදී ගැනිමට කටයුතු කර ඇති අතර, එසේ මිලදී ගැනිමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාලව වන බවයි.