දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
EAP ජාලයට අයත් ව තිබූ ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය අල්ලිරාජා සුභාෂ්කරන් නම් ව්‍යාපාරිකයෙකු විසින් මිලදී ගත් අතර නැවත එම පුද්ගලයා විසින් ස්වර්ණවාහිනිය හිරු මාධ්‍ය ජාලයේ අයිතිකරු රෙනෝ ද සිල්වා මහතා මිලදී ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් පුවතක් වූ අතර මෙහි නිරවද්‍යතාවය සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අලිරාජාගේ ස්වර්ණවාහිනිය. රෙනෝ ද සිල්වා මිලදී ගැනීමේ සූදානමක” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.
ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් පළ වී තිබුණේ මේ අයුරින්.
එමෙන් ම මේ සටහන් වලට දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, මෙය සත්‍යක් බව ට බොහෝ දෙනෙක් උපකල්පනය කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පළවූ වෙබ් වාර්තාවක සඳහන් වූයේ,
ලයිකා මොබයිල් ව්‍යාපාරයේ හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන් 2014 වසරේදී Lyca Productions ආයතනය ආරම්භ කළ බව ත්, ශ්‍රී ලංකාවේ Lyca සමාගම සතුව ස්වර්ණවාහිනී ඇතුළු EBC මාධ්‍ය ජාලය සහ SKY Media Network යන සමාගම් පවතින බව ත්, පසුගිය මැතිවරණයේදී සුබාෂ්කරන් සහය දැක්වූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයට බලාපොරොත්තු වූ ජයග්‍රහණයක් හිමි නොවීමත් සමඟ ඔහුට අයත් මාධ්‍ය ආයතන තවදුරටත් පවත්වාගෙන යාමේ අර්බුදයක් ඇතිව තිබෙන බවයි.
ඒ අනුව ඔහුට අයත් ද්‍රවිඩ පුවත්පතක් වන ‘ඔරුවන්’ පුවත්පත පසුගිය සතියේ සිට සිය මුද්‍රණ කටයුතු නවතා දමා ඇති බව ත්, ස්වර්ණවාහිනී ආයතනයද බලාපොරොත්තු වූ ප්‍රමාණයට ආදායම් උපදවන ස්ථානයක් නොවූ බැවින් එම නාලිකාවද විකුණා දැමීමට සූදානම් වන බව ට වාර්තා වන බවට ත් දක්වා තිබෙනවා.
එම නාලිකාව මිලදී ගැනීමට මේ වන විට හිරු නාලිකාවේ හිමිකරු වන රේනෝ සිල්වා මහතා සූදානමින් සිටින බවටද තොරතුරු වාර්තා වන බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස පාඨකයන් වෙතින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
හිරු නාලිකාවේ හිමිකරු වන රේනෝ සිල්වා මහතා විසින් ස්වර්ණවාහිනිය මිලදී ගැනීම සම්බන්ධයෙන් හෝ ස්වරණවාහිනි නාලිකාව විසින් එහි වත්මන් අයිතිකරු වන අල්ලිරාජා සුබාෂ්කරන් මහතා විසින් විකුණන බවට හෝ කිසිදු නිල මූලාශ්‍රයක් පුවතක් දැක ගන්නට නොලැබුණි.
ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි අල්ලිරාජා සුබාෂ්කරන් මහතාට අයත්, ‘ඔරුවන්’ දමිළ පුවත්පත සති දෙකකට පමණ ඉහතදී එහි මෙහෙයුම් කටයුතු නවත්වා ඇති බවට ත් සඳහන් කර තිබූ බැවින් අප ඒ පිළිබඳව ද, පරීක්ෂා කරනු ලැබුවා.
ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ අද(28) වන විට ත්, ‘ඔරුවන්’ දමිළ පුවත්පත මුද්‍රණය වන බවයි.
එමෙන් ම එහි පුවත් වෙබ් අඩවිය ත් ක්‍රියාත්මක වන බවයි.
අප මේ පිළිබඳ තව දුරටත් විමසීම සඳහා ඔරුවන් දමිළ පුවත්පෙත් කර්තෘව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, පුවත්පතේ කටයුතු අඛණ්ඩව කෙරීගෙන යන බව ත්, එහි මෙහෙයුම් කටයුතු නැවතී ඇති බව ට පළ වන වාර්තා අසත්‍ය බවත්, එවැනි තීරණයක් ද, ඉහළ කළමණකාරීත්වය විසින් හෝ ගෙන ඇති බව ට තොරතුරක් වාර්තා වී නොමැති බවයි.
එමෙන් ම අල්ලීරාජා මහතා ට අයත් Lyca Media ආයතනයේ ම තවත් මාධ්‍ය ආයතනයක් වන AthavanTV හි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු වන බවට ත් අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.
අප මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ ඉහළ කළමණාකාරිත්වයෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර, ඔවුන් පෙන්වා දෙන්නේ, ස්වරණවාහිනි මාධ්‍ය ආයතනය වසා දැමීමේ හෝ විකිණීමේ තීරණයක් නොමැති බව ත්, පවතින කටකතා අසත්‍ය බව ත්ය. ස්වරණවාහිනි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු වන බව ත්, ඔවුන් පවසා සිටියා.
ස්වර්ණවාහිනි නිල ෆේස්බුක් පිටුව මගින් ද, මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවට සටහනක් එක් කර තිබුණේ මේ අයුරින්.
අප මේ පිළිබඳ හිරු මාධ්‍ය ජාලයේ ඉහළ කළමණාකිරිත්වයෙන් විමසීමක් කළ අතර, එවැනි තීරණයක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් නොමැති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ හිරු නාලිකාවේ හිමිකරු වන රේනෝ සිල්වා මහතාගෙන් විමසීමක් කළ දැනුම් දෙන බව ට ඔවුන් පවසා සිටියා.
මේ අතර මෙවැනි සටහන් 2020 වසරේ සිටම විවිධ අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව දැක ගන්නට ලැබෙනවා.
සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසුව EAP සමාගම පරිහානියට පත් වූ අතර එම ජාලය විසින් ස්වර්ණවාහිනී නාලිකාව විකුණා දැමීමට කටයුතු කළ අතර එහිදී අල්ලිරාජා සුබාෂ්කරන් මහතා EAP නෙට්වර්ක්ස් ආයතනයට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා මිලදී ගනු ලැබුවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
පවතින සහ තහවුරු වූ තොරතුරු අනුව ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතය විකිණීමේ කටයුතු සිදු නොවන අතර එම මාධ්‍ය ආයතනයේ හිමිකරුවන් අල්ලිරාජා සුබාෂ්කරන් මහතා බංකොළොත්වයට පත් ව ඇති බව ත්, ඔහුට අයත් අනෙකුත් මාධ්‍ය ආයතන වල ද, මෙහෙයුම් කටයුතු දැනටමත් නවතා ඇති බවට පළ වන පුවත් අසත්‍ය බවට පෙන්වාදිය හැක. එමෙන් ම සමාජ මාධ්‍ය වල පළවන තොරතුරු අසත්‍ය බවට ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයේ ඉහළ කළමණාකාරීත්වය සඳහන් කරයි.

Title:අල්ලිරාජාගේ ස්වර්ණවාහිනිය, රෙනෝ ද සිල්වා මිලදී ගැනීමේ සූදානමක්?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
