සියදිවි නසාගත් ඉංජිනේරුවාගේ මරණය සම්බන්ධයෙන් පාර්ශවයන් කිහිපයකගේ අදහස් දැක්වීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
Arimac ආයතනයේ සේවය කළ මිහිරාන් චතුරංග නමැති තරුණයෙකු සියදිවි තොර කර ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබුණා. තමන් සියදිවි නසා ගැනීමට හේතුව වශයෙන් එම තරුණයා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවයේ යෙදුණු Arimac ආයතනය වගකිව යුතු බවට හැඟවෙන පරිදි ලිපියක් ලියා සිය ජීවිතයෙන් සමුගත් බවට එම ලිපිය ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
මේ සිදුවීම පිළිබඳ අදාළ පාර්ශවයන් කිහිපයක දැක්වූ අදහස් පහතින්.
මිහිරාන් ලියූ ලිපිය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සහිත සටහනක් පහතින්.
තණමල්විල ප්‍රදේශයේ විසු 29 හැවිරිදි මෙම තරුණයා සියදිවි නසා ගැනීමට පෙර ලියූ ලිපිය බවට පළ වූ සටහන පහතින්.
ඔහු විසින් මෙම ලිපිය මාර්ගයෙන් පෙන්වා ඇති කරුණු නම්,
- රාජකාරී ස්ථානයේ වැඩ අධික බව
- සිව් වතාවක් රාජකාරී ස්ථානයෙන් ඉල්ලා අස් වීමට උත්සහ කළ බව
- ඔහුගේ වෘත්තීය ගැටලු වලට ඇහුම්කම් දීමට කිසිදු අයෙක් රාජකාරී ස්ථානයෙන් ඉදිරිපත් නොවීම.
එමෙන්ම තවත් ෆේස්බුක් සටහන් වලින් පෙන්වා දී තිබුණේ, ඔහුට තිබූ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් තමන් ට ඉහළ නිලධාරියාව දැනුවත් කරමින් යැවූ විද්‍යුත් ලිපි සහ එම ගැටලු වලට ඉහත ආයතනය සැලකිල්ලට නොගත් බවයි. එවැනි සටහනක් මෙතනින්. Archived Link
එම විද්‍යුත් ලිපි පහතින්.
එමෙන්ම මිහිරාන් ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ ආයතනයට විද්‍යුත් ලිපියක් හරහා යොමු කොට සේවය නිමාවන තෙක් සිටින මාස 3ක කාල පරිච්ඡේදය තුළ රැකියාවෙන් එල්ල වූ පීඩනය සම්බන්ධයෙන් එම ආයතනයේම සේවය කළ පසුව ඉවත් වූ මිතුරෙකු සමගින් WhatsApp ඔස්සේ සිදු කළ කතා බහක යෙදුණු ඡායාරූපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එම සටහන මෙතනින්. | Archived Link
මිහිරාන්ගේ සහෝදරයා
කේ.එම්. ක්‍රිෂාන්ත නමැති මිහිරාන්ගේ සහෝදරයා සඳහන් කළේ, මිහිරාන් පවුලේ බාලයා බවත්, මිහිරාන්ට තමන් ඇතුළු තවත් සහෝදරයෙකු සිටින බවයි. මිහිරාන්ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් තමන් ඇතුළු පවුලේ සැම විශාල කම්පනයකින් සිටින බවයි ඔහු සඳහන් කළේ.
රැකියා තත්ත්වය නිසා හෝ මානසික පීඩාවකින් සිටින බවට නිවැසියන්ට කිසිවක් හෝ මිහිරාන් පැවසූවේ නැත්ද යන්න පිළිබඳ අප මිහිරාන්ගේ සහෝදරයාගෙන් විමසා සිටියා. ඔහු සඳහන් කළේ, නිවසේ සිටියේ තම මවත්, මිහිරානුත් පමණක් බවයි. තමන් විවාහ වී වෙනම නිවසක සිටින බවත්, අනෙක් සහෝදරයා භික්ෂුවක් බවත් ඔහු සඳහන් කළා. මිහිරාන් රැකියා ස්ථානයේ ගැටළු සම්බන්ධයෙන් කිසිදු දෙයක් පැවසූවේ නැති බැවත්, සෑම විටම වෘත්තියේ නියලෙන ආකාරය නිවසට පැමිණි අවස්ථා වලදී තමා ද දැක ගන්නට ලැබෙන බවත්, ඔහු සඳහන් කළා.
කිසිදු ආකාරයේ ජීවිතය එපා වී ඇති බවට ප්‍රකාශයන් මීට පෙර සිදු නොකළ බව ත, ඇති වූ ක්ෂණික සිතුවිල්ලක් හේතුවෙන් මෙලෙස සිය දිවි තොරකර ගන්නට ඇති බවට විශ්වාස කරන බවයි මිහිරාන්ගේ සහෝදරයා සඳහන් කළේ.
මිහිරාන් අවසන් දින කිහිපයේ වෛරස් උණක් වැළඳීමෙන් අසනීප තත්ත්වයෙන් පසු වූ බවත්, නමුත් ඔහු විවේක නොගෙන එක දිගට රාජකාරියේ යෙදී ඇති බවට තම මව පැවසූ බවත්, ඇතැම් දිනවල අළුයම 03.00 - 04.00 වන තෙක් පවා රාජකාරියේ නියැලුණු බව ද, ඔහු සඳහන් කළා.
මිහිරාන් මියගිය දිනට පෙර රාත්‍රියේ විදුලිය ඇණහිටින වේලාවේදී මුළුතැන්ගෙට පැමිණි තම මව සමග කතාබස් කරමින් සිටි බවත්, කිසිදු ආකාරයේ පීඩාවක් විඳි බවට දැක ගන්නට නොලැබුණු බවත්, පහුවදා අළුයම සිය මව විසින් තේ පානය සාදා ඔහුට ලබා දීමට ගොස් ඇති අතර එහිදී ඔහු සිය කාමරයේ නොසිටි හෙයින් ඒ පිළිබඳ විපරම් කිරීමට මිදුලට ගොස් බැලුවේ ඔහු සාමාන්‍යයෙන් පරිසර හිතකාමී පුද්ගලයෙකු නිසා සෑම දිනම උදෑසන පැළ වගාවන්ට සාත්තු කරන බැවින් එහි ඇති බවට උපකල්පනය කරමිනි.
අවාසනාවට සිය මවට මිහිරාන්ගේ සෙරප්පු යුගළ ළිඳ ලග තිබී විපරම් කිරීමේදී ඔහු එහි ගෙල වැලලාගෙන මිය ගිය බවට සිය මවට දැක ගන්නට ලැබී ඇති බවත්, මේ හේතුවෙන් තම මව නැවතත් රෝගා තුර වී ඇති බවත් මිහිරාන්ගේ වැඩිමහල් සහෝදරයා සඳහන් කරනු ලැබුවා.
තමා ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි බවත්, පසුව මේ පිළිබඳ දැනගත් සියලු දෙනා නිවස වටා එක් රොක් වූ බවත්, මිහිරාන් විසින් ලියූ ලිපිය පසුව නෙතු ගැටුණු බවත්, කලින් සැලසුම් කළ දිවිනසා ගැනීමක් නොවන බවට එමගින් හැඟෙන බවත්, කිසිදු වෙනත් කරුණක් සඳහන් නොකරම මිහිරාන් රාජකාරිය නියැලුණු ආයතනය විසින් ඔහුට ලැබුණු පීඩාව පිළිබඳ පමණක් ලිපියේ දක්වා තිබීම නිසා තම බාල සහෝදර මිහිරාන්ගේ දිවි නසා ගැනීමට හේතුව වන්නේ රාජකාරියේ ඇති වූ පීඩාව බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් මිහිරාන් විසින් ගත් මෙම ක්‍රියාමාර්ගය අනුමත කිරීමට නොහැකි බවත්, එවැනි පීඩාවක් ගෙන දෙන තැනකින් ඉන් ඉවත් වනවා මිස ජීවිතය නැති කර ගත යුතු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මිහිරාන්ගේ යහළුවන්ට හෝ මොහු මෙවැනි පීඩාවකින් සිටින බවට හඟවා නොමැති බවත් අප කළ විමසීමේදී ඔහු තවදුරටත් පවසා සිටියා.
Arimac ආයතනය
මේ පිළිබඳ අදාළ ආයතනයේ අදහස් දැන ගැනීමට අප Arimac ආයතනයේ කළමනාකාරිත්වයෙන් විමසීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
Arimac ආයතනයේ කළමණාකාරීත්වය සඳහන් කරන්නේ, මිහිරාන් චතුරංග යනු තම ආයතනයේ සේවය කළ දක්ෂ සේවකයෙකු බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් ද බලවත් ලෙස ශෝකයට පත්වන බවයි. මිහිරාන් සියදිවි නසා ගත් බවට දැනගත් පසූ, තම ආයතනයේ සේවකයෙකු බැවින් ඒ සඳහා නිවැසියන්ට උදව් උපකාර කළ බවත්, පසුව සමාජ මාධ්‍ය ඔස්සේ මිහිරාන් විසින් ලියූ ලිපියක් බවට පළ කරමින් ඔහු සියදිවි නසා ගැනීමට හේතුව වශයෙන් ආයතනය වගකිවයුතු බවට දක්වමින් ලිපියක් සංසරණය වූ බවත්, මේ හේතුවෙන් ඉහළ කළමණාකාරීත්වය මෙන්ම සේවක මණ්ඩලය ද, දැඩි ලෙස පුදුමයට පත් වූ බවත්, එම චෝදනා පිළිගත නොහැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මිහිරාන් නිවසේ සිට වෘත්තීයේ නියැලුණු අතර, ඔහු වෘත්තීය වශයෙන් පැන නැගුණු ගැටලු විසඳාගැනීමට සහය පළ කර ඇති බවත්, ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනාට පැවරී ඇති ව්‍යාපෘතිය මඟින් මිහිරාන් මත පමණක් බර පැටවීමක් සිදු නොවූ බවත් ආයතනයේ කළමනාකාරීත්වය පවසනවා.
එසේම මෙවැනි චෝදනා එල්ල කිරීම හේතුවෙන් මිහිරාන්ගේ අවමංගල්‍ය කටයුතු වලට සහය වීමෙන් නිවැසියන්ට වඩාත් උපකාර කිරීමට නොහැකි වූ බවත්, ඒ පිළිබඳ ආයතනය කණගාටුව පළ කරන බවත්, ආයතනයේ සේවකයෙකු ලෙස මිහිරාන් වෙනුවෙන් කිරීමට ඇති සියල්ල කර දීමට ඔවුන් සූදානම් බවත්, ඊට හේතුව මෙවැනි චෝදනා වලින් ගැලවීමට නොවන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසූවා.
Arimac ආයතනය තුළ මිහිරාන්ගේ ගමන්මග
2021 අප්‍රේල් 27 වන දා මිහිරාන් චතුරංග මෙම ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවෙකු වශයෙන් මාස 06ක් සඳහා සීමාවාසික පුහුණුව (Internship) සඳහා තේරීපත් වී තිබුණා.
ඉන් අනතුරුව එම සීමා මාසික පුහුණුව අවසානයේ දී ඔහුට එම රැකියා ස්ථානයේ ස්ථිර පත්වීමක් පිරිනමන අතර ඊට පිළිතුරු දෙමින් මිහිරාන් සඳහන් කරන්නේ, තමන් සීමා මාසික පුහුණුවින් අනතුරුව ඉන් ඉවත් වීමට පියවර ගන්නා බවත්, තමන්ගේ අරමුණ වන්නේ මෘදුකාංශ ඉංජිනේරුවරයෙක් වීමට නොව සංවර්ධන හා මෙහෙයුම් ඉන්ජිනේරු (DevOps) ලෙස රැකියාවේ නියැලීමට බවයි. ඉන් අනතුරුව ඔහුට එම ආයතනය විසින් DevOps ඉංජිනේරුවරයෙකු ලෙස සේවයේ යෙදීමට ද අවස්ථාව ලබා දෙන අතර ඒ පිළිබඳව මිහිරාන් විසින් සිය ස්තූතිය පළ කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
එම ආයතනයේ කළමණාකාරීත්වය පවසන්නේ, මිහිරාන් විසින් ප්‍රථම වතාවට ඉල්ලා අස්වීම පිළිබඳ සඳහන් කළ ලිපිය මෙය බවත්, ඊට ඔහුගේ කැමැත්ත පරිදි ඔහුගේ අවශ්‍යතාව ඉටු කර දීමෙන් අනතුරුව Arimac ආයතනයේ ස්ථීර සේවකයෙකු ලෙස බඳවා ගත් බවයි.
එමෙන්ම ඔහුගේ මාසික වැටුප් වේතනය ඉහළ දැමීමත් සමග ඉහත සඳහන් කළ උසස් වීම පිළිබඳ ඔහු වෙත දන්වා යැවූ විද්‍යුත් ලිපිය සහ ඔහු ඒ පිළිබඳ සිය ස්තූතිය පළ කර තිබුණේ මේ අයුරින්.
එසේම මිහිරාන් තම මවගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇයට උපකාර කිරීමට සිදු වන බවත්, ඒ හේතුවෙන් උදෑසන 08 සිට සවස 06.30 කාලය තුළ සිය රාජකාරිය අවසන් කිරීමට වගබලා ගන්නා බවත්, තමන්ට පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් පවසා ඔහු සිය සේවා ස්ථානයට යැවූ ඉහත ලිපියේ දක්වා තිබූ කරුණු වූයේ,
රාත්‍රී 10.00න් පසු ලැබෙන දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ සම්බන්ධයෙන්, සති අන්තයේ ලැබෙන රාජකාරී දුරකතන ඇමතුම් සම්බන්ධයෙන්, අනෙක් අය විසින් සිදු කරන ලද සම්පූර්ණ ව්‍යාපෘති, අඩක් නිමා කර ව්‍යාපෘති තමන්ට යොමු නොකරන ලෙසත්, තමාගේ මාසික වැටුප් වේතන ඉහළ දමන බවට පැවසූ වද, එය සිදු නොකිරීම සම්බන්ධයෙන් විමසමින් සහ තමන්ට තවදුරටත් උසස් අධ්‍යාපනය හැදිරීමේ අවශ්‍යතාව ඇති බැවින් ඒ සඳහා වේලාව අවශ්‍ය බවත්, පවසමින් මෙම ගැටලු වලට විසඳුම් ලබා නොදුන්නොත් තමන් මෙම ආයතනයෙන් ඉවත් වන බවට ද, සඳහන් කරමින් ඔහු එම විද්‍යුත් ලිපිනය පසුගිය අගෝස්තු 06 වන දා තමන්ගේ ඉහළ නිලධාරියාට යොමු කොට තිබුණා. Archived Link
මේ පිළිබඳ අප ඉහත ආයතනයෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, මිහිරාන්ගේ ගැටුලු සම්බන්ධයෙන් ඔවුන් සැලකිලිමත් වූ බවත්, ඒ සඳහා ඔහුගේ ව්‍යාපෘතියට අදාළ අධීක්ෂකගේ අවධානය යොමු කෙරූ බවත්, ඒ පිළිබඳ එම කණ්ඩායම අතර රැස්වීමක් පවත්වා කණ්ඩායමේ සාමාජිකයන්ගේ ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමට පියවර ගත් බවයි. එම රැස්වීම පිළිබඳ කණ්ඩායම් අධීක්ෂක විසින් පසුගිය සැප්තැම්බර් 2 වන දා ව්‍යාපෘති නායකයාට යැවූ විද්‍යුත් ලිපිය මෙතනින්.
ඔහුගේ මාසික වැටුප් වේතනයට, දීමනාවක් එක් කරන බවට පසුගිය ඔක්තෝම්බර් 25 වන දා ඔහු වෙත ආයතනයේ මානව සම්පත් කළමනාකරු යැවූ ලිපිය මෙතනින්.
එමෙන්ම මිහිරාන් පසුගිය නොවැම්බර් 08 වන දා සිට Arimac ආයතනයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දෙමින් විද්‍යුත් ලිපිනයක් එදින(නොවැම්බර් 08) යොමු කරමින් සිය ව්‍යාපෘතියේ අධීක්ෂකට දැනුම් දෙන අතර ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී මාස 3කට පසු ඉවත් වීම සාමාන්‍ය ක්‍රමය බැවින්, එම ලිපියේ එම ආයතනයේ අවසන් දිනය ලෙස 2023 වසරේ පෙබරවාරි 08 වන දා සඳහන් කර තිබේ.
ඉන් අනතුරුව ඔහුගේ ඉල්ලා අස්වීම භාරගත් බවට ඔහුගේ අධීක්ෂක සහ මානව සම්පත් කළමනාකරු විසින් ද, විද්‍යුත් ලිපියක් යවා තිබුණේ මේ අයුරින්.
කෙසේනමුත් මිහිරාන් සඳහන් කර තිබු පරිදි සිව් වතාවක් තම ආයතනයෙන් ඉල්ලා අස්වීමට කටයුතු නොකළ බවත්, සීමා මාසික පුහුණුව සමයේදී ප්‍රථම වතාවට ඔහු ඉල්ලා අස්වීමට ඇසූ බවත්, දෙවන අවස්ථාවේ මෑතකදී ඉල්ලා අස්වීම සිදු කළ අතර එය පිළිගත් බවත් එම ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය සඳහන් කළා.
IT ක්ෂේත්රයට සම්බන්ධ පිරිස්
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ කිහිප දෙනෙකුගෙන් ද වර්තමාන සහ පසුගිය සමයේ IT ක්ෂේත්රයේ කටයුතු පිලිබඳ විමසු අතර ඔවුන් පවසන්නේ, කොරෝනා සමයේදී නිවසේ සිට රාජකාරියේ යෙදීමට හැකියාව ලැබුණු අතර එය පහසුවක් මෙන්ම, ඇතැම් අවස්ථාවන් වලදී අවාසිදායක ද වූ බවයි. එවැනි එක් තත්වයක් වනුයේ අවශ්‍යතා පැන නැගුණ හොත් ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රතිචාර දක්වමින් කටයුතු කිරීමට නිරන්තරයෙන්ම වාගේ සිදුවන බැවිනි. එවිට වේලාව සම්බන්ධයෙන් තැකීමට නොහැක්කේ ඇතැම් අවස්ථාවන් වලදී තමන් යෙදී ඇති ව්‍යාපෘතිවල යම් දෝෂ සහගත තත්වයක් (ඇතිවී තිබේනම් ඒ සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය බැවිනි. කෙසේනමුත් හදිසි අවස්ථාවන් හැර වේලාවක් පිළිබඳ තැකීමක් නොකොට දීර්ඝ කාලීනව එක් පුද්ගලයෙක් වෙත පීඩනයක් ලබා දෙමින් යම්කිසි හෝ ආයතනයක් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ අදාළ ආයතනයට දැනුම් දෙමින් ඊට විසඳුම් ලබා ගැනීමට කටයුතු සිදු කරන බවත්, ඔවුන් සඳහන් කරනවා. තමන්ගේ ගැටලු වලට පිළිතුරු නොලැබුණහොත් එම ආයතනයෙන් ඉවත් වීමට හැකියාවක් තිබෙන අතර, මේ සමයේ රැකියා සුරක්ෂිතතාව වැදගත් වුවත්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දක්ෂතා දක්වන්නේ නම් ඕනෑ තරම් රැකියා අවස්ථා මෙරට මෙන්ම විදෙස් රටවල මෙන්ම මාර්ගගත ක්‍රම ඔස්සේ සහ freelance ලෙස සේවා සැපයීමේ අවස්ථා ද පවතින බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මේ පිළිබඳ ඉදිරියේ දී ලැබෙන තහවුරු කරගත් තොරතුරු සමඟ අප මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.
සැ.යු : මෙවැනි සිද්ධියක් පිළිබඳ ස්වාධීන කරුණු සත්‍යාපනය කිරීමක් සිදු කිරීම ඉතා අපහසු බැවින් අපගේ මෙම පැහැදිලි කිරීම කරුණු විමර්ශනයක් නොවන බවත්, බොහෝ දෙනා අප වෙත මෙම සිදුවීම පිළිබඳ විස්තර ඉල්ලා සිටි බැවින් අදාළ පාර්ශව කිහිපයක් සම්බන්ධ කරගනිමින් සිදුකළ කරුණු දැක්වීමක් පමණක් බව ද සලකන්න.
සියදිවි නසාගැනීමට සිතුණු මොහොතක වෛද්‍යවරයෙකු වෙත එය පවසා උදවු ලබාගැනීම ඉතාම වැදගත් වෙයි.
මානසිකව පීඩනයට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් උපකාරක සේවය (Help Line) 1926 අංකය පැය 24ම සක්‍රීයව පවතී. මෙමගින් සිංහල දමිළ සහ ඉංග්‍රීසි යන ඕනෑම මාධ්‍යයකින් දුරකතන ඇමතුම් ලබාගත හැකි අතර වෛද්‍යවරුන්ද සම්බන්ධ කරගත තම ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත. මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ඇමතිය හැකි සේවාවකි. මෙලෙසම 1333 අංකය මනෝ උපදේශන සේවාව ලබාගත හැකි අංකයකි. ලංකා සුමිත්‍රයෝ පදනම ඔස්සේද මෙවැනිම වූ උපදේශන සේවාවන් 0112696666 අංකය හා 0112683555 අංක ඇමතීම මගින් ලබාගැනීමේ හැකියාව පවතී.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
.hocal-container {
border: 2px solid #000;
background-color: #eee;
border-radius: 5px;
padding: 16px;
margin: 16px 0
}
.hocal-container::after {
content: "";
clear: both;
display: table;
}
.hocal-container img {
float: left;
margin-right: 20px;
border-radius: 50%;
}
.hocal-container span {
font-size: 20px;
margin-right: 15px;
}
@media (max-width: 500px) {
.hocal-container {
text-align: center;
}
.hocal-container img {
margin: auto;
float: none;
display: block;
}
}
Title:සියදිවි නසාගත් ඉංජිනේරුවාගේ මරණය සම්බන්ධයෙන් පාර්ශවයන් කිහිපයකගේ අදහස් දැක්වීමක්!
Fact Check By: Pavithra Sandamali
Result: Explainer