
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
විවිධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යවමින් නිරන්තරයෙන් ම සංසරණය වන අතර මේ දිනවලත් එවැනි ව්‍යාජ පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වෙමින් පැවති නිසා ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමට අප තීරණය කරනු ලැබුවා.සමාජ මාධ්‍ය සටහන් (Social Media)
මුම්බායි හි පරෙල් හි KEM රෝහලේ අංශභාගය ඇති රෝගීන් පැය 24ක් ඇතුළත ස්වයංක්‍රීය යන්ත්‍රයක් හරහා මෙම රෝගයෙන් සුව කළ හැකි බවත්, මෙම ඇන්ජියෝප්ලාස්ටි වැනි යන්ත්‍රය ආධාරයෙන් රෝගියාගේ මොළයේ ගෙඩි ඉවත් කරන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනකින් පළ කර තිබුණා.
මෙම පහසුකම ඉන්දියාවේ ප්‍රථම වරට මෙම රෝහලේ ඇති බවත්, එවැනි යන්ත්‍ර ඇත්තේ ලෝකයේ නිශ්චිත ස්ථාන කිහිපයක පමණක් බවත් මෙම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මීට අමතරව උපතින්ම බිහිරි සහ ගොළු දරුවන්ට කර්ණශේරුකා බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් එම ආබාධිත දරුවා සුවපත් කිරීමට හැකියාව පවතින බවත්, එම සැත්කම සඳහා ලක්ෂ 10 සිට 12 දක්වා වැය වන බවත්, නමුත් Rotary Club of Bombay Worli, District 3141 සහාය ඇතිව මෙම සැත්කම මුම්බායි හි SRCC රෝහලේදී නොමිලේ සිදු කෙරෙන බවත් එම සටහනේ සඳහන්ව තිබුණේ මේ අයුරින්.
මෙම සටහන ම වට්ස් ඇප් හරහා ද සංසරණය වී තිබුණේ මේ අයුරින්,
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
යම් රෝගයක් වැළඳුනු විට එම රෝගියා සහ රෝගියාගේ පවුලේ සාමාජිකයින් නිරන්තරයෙන් උත්සහ ගනු ලබන්නේ එම රෝගියා සුව කර ගැනීමටයි. එබැවින් කුමන රටක හෝ යම් රෝගයක් සම්පූර්ණයෙන් ම සුව කිරීමක් සිදුකරන බවට සඳහන් තොරතුරක් ලදහොත් මුදල් වැය වුණ ද උත්සහ කරන්නේ රෝගය සුව කර ගැනීමටයි.
අංශභාග රෝගය පැය කිහිපයකින් සුව කළ හැකි ද?
අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණු තොරතුරු අනුව අංශභාගය රෝගී තත්වය සුව කිරීමේ හැකියාව පවතින රෝහල ඉන්දියාවේ එකකි.
එබැවින් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ඉන්දියාවේ මුම්බායිහි පරෙල්හි KEM රෝහලේ අංශභාගය සහිත රෝගීන් සුව කළ හැකි යන්ත්‍රයක් පවතින්නේ ද යන්න පිළිබඳවත්, ඉන් අංශභාග රෝගීන් සුව කිරීමේ හැකියාව පතින්නේ ද යන්න පිළිබඳවත් අප සොයා බැලීමක් සිදුකළා.
ඒ අනුව මෙම තොරතුරට හේතු වී ඇති සිදුවීම සම්බන්ධ පුවතක් 2018 වසරේ ඔක්තෝබර් 11 වන දින The Hindu වෙබ් අඩවිය පළ කර තිබුණා.
එම පුවතේ සිරස්තලය ලෙස සඳහන්ව තිබුණේ, “ KEM රෝහලට උසස් ආඝාත මධ්‍යස්ථානයක් ලැබේ ” යනුවෙන්.
සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කර තිබෙන ‘KEM’ රෝහලේ ප්‍රධාන ස්නායු ශල්‍ය වෛද්‍යවරයා වන වෛද්‍ය නිතින් ඩැන්ගේ මේ පිළිබඳව සිදුකළ පැහැදිලි කිරීමක් ප්‍රවෘත්ති වාර්තාවේ අඩංගු වී තිබුණා.
ඒ අනුව වෛද්‍යවරයා පවසන්නේ, ආඝාතයෙන් පෙළෙන රෝගීන්ගෙන් බහුතරයක් ප්‍රමාද වී රෝහලට ළඟා වන අතර, ප්‍රතිකාර සඳහා සුළු අවස්ථාවක් ඉතිරි වන බවයි. එබැවින් ආඝාතයකින් පසු පළමු පැය 24 තුළ පැමිණෙන රෝගීන්ට පමණක් මෙම ආඝාත මධ්‍යස්ථානයෙන් උපකාර කළ හැකි බව වෛද්‍යවරයා පවසා තිබෙනවා.
එමෙන් ම 2018 වසරේ නොවැම්බර් 3 වන දින මුම්බායි මිරර් වෙබ් අඩවියේ හි ද මෙම ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් සවිස්තරාත්මක කරුණු පරීක්ෂා කිරීමක් සිදුකර තිබුණු ආකාරය අපට දැකගත හැකි විය.
එම වාර්තා කිරීමේ ද පැහැදිලිවම සඳහන්ව ඇත්තේ, ආඝාතයකින් පසු පළමු පැය 24 තුළ රෝගීන්ට පමණක් උපකාර කළ හැකි බවත් පැරණි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කළ නොහැකි බවත් KEM රෝහලේ ප්‍රධාන ස්නායු ශල්‍ය වෛද්‍යවරයා වන වෛද්‍ය නිතින් ඩැන්ග් පැහැදිලි කළ බවයි.
මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඇන්ජියෝග්‍රැෆි නව යන්ත්‍රය රුපියල් කෝටි 8.5 කට KEM රෝහල මිලදීගෙන ඇති අතර එම යන්ත්‍රයෙන්, ආඝාතය ඇති වී පළමු පැය 24ක් තුළ ධමනි හෝ නහරයකින් රුධිර කැටියක් ඉවත් කිරීමෙන් රෝගියෙක්ට සුවය ලබාදිය හැකි බවයි.
මෙම පණිවිඩය හුවමාරු වීමෙන් පසු, වසර ගණනාවක් අංශභාගය රෝගයෙන් පෙළෙන රෝගීන් බොහෝමයක් තම තත්වය සුව කරගත හැකි බවට වැරදි වැටහීමක් ඇති කරගෙන තිබෙන අතර අංශභාගයෙන් වසර ගණනාවක් පීඩා විඳින රෝගීන් විශාල සංඛ්‍යාවක් මෙම රෝහලට ප්‍රතිකාර සඳහා ද පැමිණ තිබෙනවා.
2018 වසරේ සිට මේ දක්වා ම වරින් වර ඉදියාව පුරා මෙන් ම වෙනත් රටවල ද මේ සම්බන්ධව නොමඟ යවන සුළු පුවත් හුවමාරු වී ඇති අතර මේ සම්බන්ධව 2020 වසරේ ද ඉන්දියාවේ සිදුකළ කරුණු පරීක්ෂා කිරීමක් අපට හමු විය. එම කරුණු පරීක්ෂණය තුළ වෛද්‍ය නිතින් ඩැන්ගේ ලේකම් හීනා ෂෙයික් මහත්මිය සම්බන්ධ කර ගනිමින් ද කරුණු විමසා තිබෙනවා.
ඒ අනුව ඇය පවසා ඇත්තේ පසුගිය වසර දෙකේ සිට මෙම පණිවිඩය පුළුල් ලෙස හුවමාරු වී ඇති බවයි. නමුත්, ඕනෑම රෝගියෙකු අංශභාගයෙන් සුව කළ නොහැකි බවත්, ආඝාතය ආරම්භයේ සිට පැය 24 ක් ඇතුළත රෝගියෙකු සුව කිරීමට උත්සාහ කළ හැකි බවත් එම මහත්මිය පවසා තිබෙනවා. එමෙන් ම ඒ සඳහා පැය 6ක කාලයක් ගතවන බවත් එම මහත්මිය පවසා තිබෙනවා.
2024 වසරේ ද මෙම නොමඟ යවන සුළු පණිවිඩය හුවමාරු වී ඇති අතර ඒ පිළිබඳව සිදුකළ කරුණු පරීක්ෂා කිරීමක් මෙතනින්.
අංශභාගය ඇතිවන්නේ ඇයි?
අංශභාගය ඇතිවන්නේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව හටගන්නා ගැටලුකාරී තත්ත්වයක් නිසායි.සාමාන්‍යයෙන් මොලය මගින් ඇතිකරන සංනිවේදනයන් සිරුර හරහා මාංශපේශි වෙත ගමන්කර විවිධ කායික ක්‍රියාකාරකම් සහ ප්‍රතිචාර ජනනය කරන්නේ ස්නායු පද්ධතිය හරහායි.මොලය/ස්නායු පද්ධතියේ හෝ මාංශ පේශි වල අඩපණ වීමක් මගින් අංශභාග තත්ත්වයන් ඇතිවිය හැකියි. මුලිකවම මොලයට රුධිරය සපයන රුධිරවාහිනී තුල ලේ /මේද කැටි සිරවීමෙන් මොලයට අවශ්‍ය රුධිරය නොලැබී අඩු ඔක්සිජන් සහ පෝෂක ප්‍රමාණයක් මොලයට ලැබීම නිසා මොලය අඩපණ වීමෙන් ඇතිවන Stroke තත්ත්වයක් මෙන්ම සුසුම්නාවට ඇතිවන එවැනි තත්ත්වයන් ඔස්සේ අංශභාග තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්
අංශභාග තත්ත්වයන් ඇතිවන්නේ ඇයි ?එයට හේතු මොනවාද ? ඒ සම්බන්ධ විස්තරාත්මක වීඩියෝවක් පහතින්.
අංශභාගය – සුව කිරීම
අංශභාගය සෑම අවස්ථාවකම සුව කළ නොහැක. කෙසේ වෙතත්, රෝගයේ හේතුව සහ වර්ගය අනුව, සමහර පුද්ගලයින්ට අර්ධ හෝ සම්පූර්ණ සුවයක් අත්විඳිය හැකිය. තාවකාලික අංශභාගය ඇති අවස්ථාවන්හිදී, වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව රෝග ලක්ෂණ තනිවම පහව යා හැකිය. නමුත් දරුණු තත්වයන් සඳහා මෙය එසේ නොවිය හැකිය.
අංශභාගය සඳහා දියුණු ප්‍රතිකාර විකල්ප ගවේෂණය කිරීම වෛද්‍යවිද්‍යාව තුළ සිදුවනු ලැබේ. සුෂුම්නා බද්ධ කිරීම් සහ විද්‍යුත් උත්තේජනය, Stem Cells චිකිත්සාව, BCIs, වැනි අංශභාග පර්යේෂණවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇතත්, සම්පූර්ණ සහ විශ්වීය ප්‍රතිකාරයක් තවමත් නොපැහැදිලි ය. අඛණ්ඩ අධ්‍යයනයන් සහ සායනික අත්හදා බැලීම් අංශභාගයෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට හැකි අනාගත ප්‍රතිකාර සඳහා බලාපොරොත්තුවක් ලබා දෙයි. (මූලාශ්‍ර – මෙතනින්, මෙතනින්, මෙතනින්)
උපතින් ම ගොළු සහ බිහිරි ළමුන්ට කර්ණශේරුකා බද්ධ කිරීමේ සැත්කමක් හරහා සුවය ලබාගත හැකි ද?
සම්පුර්ණ සුවයක් ලැබීම කෙසේ වෙතත් එක්තරා ප්‍රමාණයකට හෝ හඩ ශ්‍රවනය කිරීමට කර්ණ ශංඛ බද්දයක් හරහා අවස්ථාව ලබාගත හැක. උපතේ සිට ශබ්ද ශ්‍රවණය කිරීමට නොහැකි බිහිරි අයෙක්ට වුවත් කර්ණ ශංඛ බද්ධය හරහා ශබ්ද ශ්‍රවණය කිරීමට හැකියාවක් ලැබේ .එය මුලින් යම් අපහසුතාවයක් ඇති කරත් කාලයක් සමග වඩාත් සුවපහසු අත්දැකීමක් ලැබේ .ඒ සම්බන්ධ වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්
බොම්බේ රොටරි සමාජය හරහා උපතින් ම ගොළු සහ බිහිරි ළමුන්ට කර්ණශේරුකා බද්ධ කිරීමේ සැත්කම් සඳහා සහය වනවා ද?
බොම්බේ රොටරි සමාජය යනු ප්‍රජා සත්කාරක සමාජයක් වන අතර අප මුලින් ම බොම්බේ රොටරි සමාජයේ නිල වෙබ් අඩවිය සහ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කර බැලුවේ, බොම්බේ රොටරි සමාජය හරහා උපතින් ම ගොළු සහ බිහිරි ළමුන්ට කර්ණශේරුකා බද්ධ කිරීමේ සැත්කම් සඳහා සහය දක්වන බවට දැනුවත් කිරීමක් සිදුකර තිබේද යන්න පිළිබඳවයි. නමුත් එවැනි නිල තොරතුරක් ඒවායෙහි සඳහන්ව තිබුණේ නෑ.
එබැවින් බොම්බේ රොටරි සමාජය සහය දක්වන සැත්කම් සම්බන්ධ තොරතුරු පිළිබඳව අප සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.
එහිදී එම සමාජය ඔස්සේ බොහෝදුරට සහය දක්වා ඇත්තේ ළමා හෘද සැත්කම් සඳහා වන බව එම තොරතුරු ඔස්සේ පැහැදිලි වනවා. එම තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
එමෙන් ම බොම්බේ රොටරි සමාජයේ සහය ඇතිව SRCC ළමා රෝහලේ කර්ණශේරුකා බද්ධ කිරීමේ සැත්කම් නොමිලේ සිදුකරන බව ද සඳහන්ව තිබූ බැවින් අප ඒ පිළිබඳව ද සොයා බැලීමක් සිදුකරනු ලැබුවා. ඒ අනුව බොම්බේ රොටරි සමාජය, කොකිලබෙන් ධිරුබායි අම්බානි රෝහල, SRCC ළමා රෝහල සහ වාපි හි හාරියා රොටරි රෝහල ඇතුළු එහි හවුල්කාර රෝහල් තුන පුරා හෘද සැත්කම් 237 ක් සඳහා අනුග්‍රහය දක්වා තිබෙන බව රොටරි සමාජයේ නිල වෙබ් අඩවියේ සඳහන්ව තිබුණේ මේ අයුරින්.
නමුත් SRCC ළමා රෝහලේ කර්ණශේරුකා බද්ධ කිරීමේ සැත්කම් නොමිලේ සිදුකිරීමට ඔවුන් අනුග්‍රහාය දැක්වීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමක් SRCC ළමා රෝහලේ නිල වෙබ් අඩවියේ හෝ සිදුව නොතිබුණි.
ඒ අනුව මෙම උපතින් ම ගොළු සහ බිහිරි ළමුන්ට කර්ණශේරුකා බද්ධ කිරීමේ සැත්කම් නොමිලේ සිදුකිරීම සඳහා බොම්බේ රොටරි සමාජය සහය දක්වන බවට පළවන තොරතුරු අසත්‍ය බව පැහැදිලිවනවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෙම සමාජ මාධ්‍ය සටහන් පැරණි සහ නොමඟ යවන සුළු ඒවා වන බවයි.
KEM රෝහලේ ඕනෑම අංශභාග රෝගියෙකු සුව කළ නොහැකි අතර අංශභාගය ආරම්භයේ සිට පැය 24 ක් ඇතුළත රෝගියෙකු සුව කිරීමට උත්සාහ කිරීමේ හැකියාව පවතිනවා.
එමෙන් ම උපතින් ම ගොළු සහ බිහිරි ළමුන්ට කර්ණශේරුකා බද්ධ කිරීමේ සැත්කමක් සදහා බොම්බේ රොටරි සමාජය හරහා සදහා සහාය පළකිරීමක් සිදු නොවේ .

Title:අංශභාගය රෝගී තත්වය සුව කිරීම සම්බන්ධ සමාජ ජාලා සටහන් පිළිබද පැහැදිලි කිරීමක්
Fact Check By: Piumika LakshaniResult: Misleading
