සතුන්ට උපකාර කරන ආකාරයෙන් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණු සමහර වීඩියෝ ගැන කරුණු පැහැදිලි කිරීමක් 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

තාක්ෂණයේ දියුණුවත් සමඟ මේ ගෙවෙන ඩිජිටල් ලෝකය තුළ කෘතිම බුද්ධිය බොහෝ ක්ෂේත්‍රයන් තුළ භාවිතා කිරීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. මිනිසාගේ කාර්යයන් සඳහා එක් අතකින් කෘතිම බුද්ධිය භාවිතය සාධනීය තත්වයක් වුව ද කෘතිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කරන විවිධ අසත්‍ය, නොමඟ යවනසුලු තොරතුරු නිශේධනීය තත්වයකි. 

මෙම තත්වය වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ දැකිය හැකි බහුල තත්වයකි.  ඒ අනුව මේ අප එවැනි කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද එහෙත් බොහෝ දෙනා සත්‍ය යැයි විශ්වාස කර තිබූ වීඩියෝ නිර්මාණ කිහිපයක් පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

Claim 01 :

තුවාල ලබා අසරණව සිටින සුදු හිම වලසෙක්ට පුද්ගලයෙක් ප්‍රතිකාර කරන අතර පසුව එම වලසා තමාට ප්‍රතිකාර කළ පුද්ගලයාට කෘතගුණ සලකන ආකාරයේ වීඩියෝවක් සංසරණය වී තිබුණේ මේ අයුරින්. එම වීඩියෝව පළ කර තිබුණේ, “අනේ තුවාල වෙලා හිටපු සුදු වලහට එයා පිහිට වෙන හැටි – සත්තුන්ගේ තමා කෙලෙහිගුණය හරියට ම තියෙන්නේ” යන සටහන ද සමඟිනි.

https://www.awesomescreenshot.com/video/36254776?key=cbb8d1bf853045e989217272a05d646a

Fb

Claim 02 :

ගල් වැනි යම් යම් අපද්‍රව්‍ය ශරීරයේ ඇලී තිබෙන තල්මසෙක්ගේ එම අපද්‍රව්‍ය පුද්ගලයින් කණ්ඩායමක් එක්ව පිරිසිදු කරන අතර පසුව එම තල්මසා නැවත මුහුදට මුදා හැරි පසු එම සත්ත්වයා තමාට උපකාර කළ පුද්ගලයින්ට කෘතගුණ දක්වන ආකාරයේ වීඩියෝවක් සංසරණය වී තිබුනේ මේ අයුරින්. එම වීඩියෝව පළ කිරීමේදී, “දැක්කද එයා කරපු උදව්වට අන්තිමට උදව් කරපු විදිහ” යන අයුරින් සටහනක් ද පළකර තිබුණේ මේ අයුරින්.

https://www.awesomescreenshot.com/video/36255365?key=999c303ffdbdc3690ac04d3e4d991ea6

Fb

මෙම වීඩියෝ සඳහා දක්වා ඇති අදහස් දෙස අවධානය යොමු කිරීමේදී මෙම වීඩියෝවල ඇත්තේ සත්‍ය සිදුවීම් බව ද බොහෝදෙනා විශ්වාස කර තිබූ ආකාරය අපට දැකගත හැකිවිය.

ඒ අනුව ඇතුමුන් මෙලෙස මෙම සිදුවීම් සත්‍ය සිදුවීම් බවට විශ්වාස කර තිබූ අතර මෙම වීඩියෝ සඳහා ලැබී තිබූ ප්‍රතිචාර ද ඉහළ ය. එමෙන් ම බොහෝදෙනා මෙම වීඩියෝ නරඹා තිබූ අතර මෙම වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් හුවමාරු කරගෙන ද තිබුණා. එබැවින් මෙලෙස බොහෝදෙනාගේ අවදානය යොමුව ඇති මෙම වීඩියෝ සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරිමක් සිදුකිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Claim 01 :

හිම වලසෙකුට ප්‍රතිකාර කරනු ලබන ආකාරයේ මෙවැනි සිදුවීමක් පිළිබඳ යම් වාර්තා කිරීමක් තිබේ ද යන්න පිළිබඳව අප සොයා බැලූ නමුත් එවැනි සිදුවීමක වාර්තා කිරීමක් අපට දැකගත නොහැකි විය.

එබැවින් මෙම වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ එකක් ද යන්න පිළිබඳව අප පරීක්ෂා කළ අතර එහිදී තහවුරු වුණේ මෙය සම්පූර්ණයෙන් ම AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් වන බවයි.

මීට අමතර මෙම වීඩියෝවේ අවසානය තෙක් නැරඹීමේදී පෙනී යන්නේ වීඩියෝවේ යම් යම් ස්ථානයන්හි පවතින අස්වාභාවික බාවයයි. එනම් මෙහි තුවාල ලබාසිටින හිම වලසා පුද්ගලයෙක් දැක අත ඔසවන අතර එහිදී එම හිම වලසාගෙන් අත පිහිටා ඇත්තේ නිවැරදි දිශාවට නොවන බව අපට පෙනී යනවා.

එමෙන් ම වීඩියෝවේ අඛණ්ඩතාවයක් නොමැති අතර රූප රාමුවල වෙනස්කම් නිරන්තරයෙන් දැකිය හැකි වනවා. එවැනි අවස්ථා කිහිපයක් මෙසේ පෙන්වාදිය හැකි ය.

වීඩියෝව ආරම්භයේ හිම වලසාගේ ශරීරයේ තුවාල වී ඇති ස්ථානයේ වල ගැසුණු ස්වභාවයක් දැකිය නොහැකි නමුත් ඊළඟ රූප රාමුව වෙත යාමේදී හිම වලසාගේ තුවාලය දැක්ගත හැකි වන්නේ වල ගැසුණු ස්වභාවයකිනි.

මීළඟ රූප රාමුවේදී වලසාගේ ශරීරයේ ඇති සතුන් ඉවත් කිරීම සඳහා උදව්වට පැමිණෙන පුද්ගලයා පවුඩරයක් වැනි ද්‍රව්‍යයක් යොදන අතර එහිදී සතුන් ඉවත් වී යන ආකාරයක් දැකගත හැකි නමුත් ඊළඟට යොමුවන රූප රාමුවේදී නැවතත් වලසාගේ ශරීරයේ තුවාල වූ ස්ථානයේ වල ගැසුණු ස්වභාවයක් ඇති අතර එම අවස්ථාවේ උපකාරය සඳහා පැමිණි පුද්ගලයා සුදු පැහැති කෑන් එකක් හරහා යම් ආලේපනයක් වලසාගේ ශරීරය මත ගල්වනු ලැබෙනවා. 

එබැවින් මෙම එකිනෙකට සම්පූර්ණයෙන් ම වෙනස් රූප රාමු මෙම වීඩියෝව පුරාවට ම දැකගත හැකිවනවා. 

එමෙන් ම උපකාරය සඳහා පැමිණෙන පුද්ගලයාගේ වාහනය, එම පුද්ගලයා ගේ ඇඳුම් පැළඳුම් ද එකිනෙක රූප රාමුවලින් වෙනස් වී තිබෙනවා.

ප්‍රතිකාර අවසානයේ වලසාගේ රූප රාමු ද එකිනෙක වෙනස් ආකාරයට පවතින බව පෙනී යනවා.

මේ අනුව සම්පූර්ණයෙන් ම කෘතිම බුද්ධිය භාවිතයෙන් මෙම වීඩියෝව නිර්මාණය කර ඇති අතර වීඩියෝවේ ආරම්භයේ සිට අවසානය දක්වා එකිනෙක වෙනස් රූප රාමු දැකගත හැකිවීම තුළ මෙම වීඩියෝව සම්පූර්ණයෙන් ම ව්‍යාජ නිර්මාණය කරන ලද එකක් බව පෙන්වාදිය හැකි ය.

Claim 2 :

අස්වාභාවික ස්වභාවයෙන් අපද්‍රව්‍යවලින් වැසී ඇති තල්මසෙක් සඳහා මිනිස් කණ්ඩායමක් සිය නෞව්කාව තුළ ම එම සත්ත්වයාට ප්‍රතිකාර කරන ආකාරයේ වාර්තා කිරීමක් තිබේ ද යන්න අප පළමුව පරීක්ෂා කළ නමුත් විදෙස් මාධ්‍ය තුළ එවැනි වාර්තා කිරීමක් දැකගත නොහැකි විය.

නමුත් AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝ පළ කරනු ලබන ෆේස්බුක් ගිණුමක මෙම වීඩියෝව ද අන්තර්ගතව ඇති ආකාරය අපට දැක්ගත හැකි විය.

එමෙන් ම මෙම වීඩියෝවේ පසුබිමේ ORCA ලෙස නමක් වීඩියෝව පුරාවටම සඳහන්වන බැවින් එම නමින් පරීක්ෂා කර බැලීම් සිදුකළ අතර එහිදී එම නම සහිත ටික් ටොක් ගිණුමක මෙම වීඩියෝව සහ මෙවැනි ආකාරයේ ම තවත් AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝ රැසක් දැකගත හැකි විය.

වැඩිදුරටත් මෙම වීඩියෝව AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ එකක් ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂා කර බැලූ අතර මෙම වීඩියෝව AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද එකක් බව ඒ අනුව අපට තහවුරු වුණා.

මෙම වීඩියෝව දෙස ද අවධානය යොමු කිරීමේදී මෙවැනි මත්ස්‍යයෙක්ව මෙලෙස ගොඩබිමේ තබාගෙන් ප්‍රතිකාර කිරීම සහ එවැනි සතෙකු පිට නැගී මිනිසුන්ට ගමන් කිරීමට අවස්ථාවක් පැවතීම මෙන් ම එම මත්ස්‍යයාගේ පිට මත නැඟී සිටින පුද්ගලයින් ආරක්ෂිත ඇඳුම් නොපැලඳ සිටීම වැනි කරුණු ප්‍රායෝගික නොවන බව අතිශය පැහැදිලි කරුණකි.

ඒ අනුව මෙම වීඩියෝව කෘතිම බුද්ධිය තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන ලද වීඩියෝවක් බව තහවුරු වනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, හිම වලසෙකු තුවාල ලබාසිටින ආකාරය සහ එම හිම වලසාට පුද්ගලයෙක් උපකාර කිරීමේ සිදුවීම කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝවක් වන බවයි.

එමෙන් ම තල්මසෙකුගේ ශරීරය වසාගෙන ඇති අපද්‍රව්‍ය වැනි කොටස් ඉවත් කිරීමේ වීඩියෝව ද කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාජ ඒවා වේ.

Avatar

Title:සතුන්ට උපකාර කරන ආකාරයෙන් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණු සමහර වීඩියෝ ගැන කරුණු පැහැදිලි කිරීමක්

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *