මේ දිනවල මාර්ගගත රැකියා වංචා රැසක් – මේවා පිළිබඳ ඔබ දැනුවත් ද? 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල මාර්ගගත රැකියා ඔස්සේ දෛනිකව සැලකිය යුතු මුදලක් උපයාගත හැකි බව දක්වමින් එම රැකියා සඳහා ලියාපදිංචිවන ලෙස සඳහන් කරමින් විවිධ සබැඳි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතිනවා. විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යංශ මඟින් ද මෙවැනි මාර්ගගත රැකියා ලබාදෙන බවට තොරතුරු හුවමාරු වෙමින් පවතින බැවින් රජයේ රැකියා අවස්ථා යැයි ව්‍යාජ රැකියාවලට හසුවීමේ ප්‍රවණතාවක් පවතින නිසා අප මේ පිළිබඳව කරුණු විමර්ශණයක් සිදුකිරීමට තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

Claim 01 :

“විරැකියාව අවම කිරීම සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා, අපි මාර්ගගත රැකියා 250ක් ලබාදෙන්නෙමු” ලෙස සඳහන් කරමින් දුරකතනයෙන් සම්බන්ධවී ඕනෑම අයෙක්ට රැකියාව සිදුකළ හැකි බවත්, දෛනිකව රු.17,500 – 46, 000ක මුදලක් ලබාගත හැකි බවටත් සඳහන් කරමින් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සටහනක් පළ කර තිබුණා.

විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශය මඟින් මෙම රැකියා ලබාදෙන බව අඟවමින් තවත් බංකු කිහිපයක නිල ලාංඡන මෙන් ම කප්රුක ආයතනයේ නිල ලාංඡයනය ද මෙහි සඳහන්ව තිබෙනවා. මෙම රැකියාව පිළිබඳ “වැඩිදුර ඉගෙන ගැනීමට අප අමතන්න” ලෙස සඳහන් කරමින් සබැඳියකට පිවිසීමට අවස්ථාවක් ද සලසා තිබුණේ මේ අයුරින්.

එමෙන්ම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයෙන් ලබාදෙන රැකියා අවස්ථාවක් ලෙස දක්වමින් නිවසේ සිට වැඩ කර පැයකට රු. 7000ක් පැය 3කට රු.24,000ක් වැඩ කරන දිනයේදීම ලබාගත හැකි බව සඳහන් කරමින් වැඩි විස්තර ලබා ගැනීමට සබැඳියක් ද එක් කරමින් ද සටහනක් පළ කර තිබුනේ මේ අයුරින්.

Claim 02 :

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය ද සහිතව නිවසේ සිට වැඩ කිරීමට අවස්ථා ඇති බවත් පැයකට රු.10,000ක් සහ පැය හතරකට 20,000ක මුදලක් උපයා ගත හැකි බවට සඳහන් කරමින් සටහන් කිහිපයක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Fb|Archive

ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ ද එවැනිම සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Claim 03 :

දිනකට පැයක් සහ පැය දෙකක් පමණක් වැඩ කර දෛනිකව රු.9000ක් උපයාගැනීමේ මාර්ගගත රැකියා අවස්ථා කප්රුක ආයතනය මඟින් ලබාදෙන බවටත් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මේ අයුරින්. පළ පුරුද්දක් හෝ මෙම රැකියා සඳහා අවශ්‍ය නොවන බව ද එහි සඳහන්ව තිබෙන අතර අයදුම් කිරීම සඳහා සබැඳියක් ද අන්තර්ගතව ඇත.

ඉන්ස්ටර්ග්‍රෑම්හි පළ කර තිබුණු මෙම රැකියා අවස්ථා සහිත තොරතුරු සඳහා බොහෝදෙනෙක් දක්වා තිබුණු අදහස් ඔස්සෙ අපට පෙනී යන්නේ, මෙවැනි මාර්ගගත රැකියා අවස්ථා සඳහා සාමාන්‍ය ජනතාවගේ උනන්දුවක් ඇති බවයි.

Claim 4 :

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Claim 01:

මෙම රැකියා අවස්ථා සම්බන්ධව පළ කර ඇති සටහන් සියල්ලේ ම  සමාන ආකෘතියක් දැකගත හැකි අතර නිල, විශ්වාසදායී නොවන ලෙස පළ කරන ලද සටහන් බව බැලූ බැල්මට පෙනී යනවා.

එමෙන්ම රැකියා අවස්ථාවල වැඩිදුර තොරතුරු විමසීම සඳහා දක්වා ඇති සබැඳි Click කිරීම මඟින් යොමුවන්නේ, ෆේස්බුක් පරිශීලකයින්ගේ තොරතුරු ලබා ගන්නා  Phishing Scam වෙත බව දක්නට ලැබේ.

විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශය ලෙස අමාත්‍යංශයක් වර්තමානයේ කිසිසේත් ක්‍රියාත්මක නොවන අතර කම්කරු සහ විදේශ රැකියා ලෙස අමාත්‍යංශයක් වර්තමානයේ ක්‍රියාත්මක නොවන බව ද අප කළ නිරීක්ෂණයේදී පැහැදිලි විය.

ඒ අනුව වර්තමානයේ පවතින්නේ කම්කරු අමාත්‍යංශය වෙන ම අමාත්‍යංශයක් ලෙසත්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය වෙන ම අමාත්‍යංශයක් ලෙසත් ය.

එබැවින් රාජ්‍ය අමාත්‍යංශවලින් සපයන මාර්ගගත රැකියා අවස්ථා බවට අඟවමින් හුවමාරුවන එම රැකියා අවස්ථා ව්‍යාජ ඒවා බව තහවුරු වනවා.

කෙසේ වෙතත් අප මෙම කම්කරු අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වෙබ්අඩවි වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කළ නමුත් මෙවැනි දෛනික වැටුප් ලබාගත හැකි නිවසේ සිට සිදුකළ හැකි රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු එම නිල වෙබ් අඩවි තුළ සඳහන්ව තිබුණේ නෑ.

අප මෙම අමාත්‍යංශ ද්විත්වයෙන් ම විමසීම් සිදුකළ අතර එම අමාත්‍යංශ වෙතින් පැවසුවේ එලෙස නිවසේ සිට සිදුකළ හැකි මාර්ගගත රැකියා අවස්ථා එම අමාත්‍යංශවල නොමැති බවයි. යම් බඳවා ගැනීමක් සිදුකරන්නේ නම් නිල වෙබ් අඩවිය මඟින් හෝ ගැසට් නිවේදන මඟින් දැනුවත් කිරීම් සිදුවන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙනවා.

කම්කරු අමාත්‍යංශය පවසා සිටියේ මීට පෙර ද සමාජ මාධ්‍ය ඔස්සේ කම්කරු අමාත්‍යංශය නමින් මෙවැනි ම රැකියා අවස්ථා ලබාදෙන බවට තොරතුරු හුවමාරු වී තිබුණ බවයි. නමුත් එවැනි රැකියා අවස්ථා ව්‍යාජ ඒව බව කම්කරු අමාත්‍යංශය තහවුරු කරනු ලැබුවා.

Claim 02:

මෙම ආකෘතියෙන් ම ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල ලාංඡනය සහිතව සමාජ මාධ්‍ය සටහනක් පළ කරමින් දක්වා තිබුණේ නිවසේ සිට වැඩ කිරීමට අවස්ථා ඇති අතර දෛනිකව රු.10,000ත් 20,000ත් අතර මුදල් ඉපැයිය හැකි බවයි. ඒ සඳහා ලියාපදිංචි වීමට සබැඳියක් ද ඒ සමඟ දක්වා තිබුණා.

නමුත් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල වෙබ් අඩවියේ හෝ නිල ෆේස්බුක් ගිණුමේ එවැනි රැකියා අවස්ථා පිළිබඳව නිල තොරතුරක් සඳහන්ව තිබුණේ නෑ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහා බැංකුව සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල ලාංඡනය උපුටා දක්වමින් පළ කර ඇති මෙම සටහන් ව්‍යාජ ඒවා බව සඳහන් කරමින් නිල ෆේස්බුක් ගිණුමේ මහජනතාව දැනුවත් කර තිබුණේ මේ අයුරින්.

තවත් එවැනිම ආකාරයේ වංචනික ලෙස රැකියා ලබාදෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති තවත් සමාජ මාධ්‍ය සටහනක් පිළීබඳවත් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල ෆේස්බුක් ගිණුමේ දැනුවත් කිරීමක් සිදුකර තිබුණේ මේ අයුරින්.

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන පළ කර තිබූ ගිණුම පරීක්ෂා කළ අතර එම ගිණුම කිසිඳු විශ්වාසදායී නිල ගිණුමක් නොවූ බව පෙනී යනවා. එමෙන් ම එම ගිණුමේ වෙනත් භාෂාවකින් සටහන් පළ වී ඇති ආකාරයත් එම ගිණුම පරීක්ෂා කිරීමේ දී අපට දැකගත හැකි විය.

Claim 03:

Kapruka Holdings PLC  ආයතනය මඟින් ද ඉහත සඳහන් ආකෘතියන්ට සමාන අයුරින් රැකියා ලබාදෙන බව සඳහන් කරමින් ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ කර තිබුණා.

Kapruka ආයතනය Rebranding කර ඇති අතර එහි නිල සන්නාමය වෙනස් කර තිබේ. නමුත් මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන්නේ. ඔවුන්ගේ පැරණි ලාංඡනය වේ.

Kapruka Holdings PLC වෙබ් අඩවියේ හෝ ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ මෙවැනි රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන් කිසිඳු නිල තොරතුරක් සඳහන්ව නොතිබූ බැවින් අප කප්රුක ආයතනයෙන් මේ පිළිබඳව විමසීමක් කළා.

එහිදී ඔවුන් පැවසුවේ එම තොරතුරු ව්‍යාජ ඒවා බවයි. ඒ පිළිබඳව මීට පෙර ද ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ම විමසීම් සිදුකළ බවත්, එලෙස පැයක් හෝ දෙකක් වැනි කාලයකට රැකියා ලබාදීමක් සිදුනොකරන බවත් ඔවුන් තහවුරු කරනු ලැබුවා. කප්රුක ආයතනය Xpress Jobs වැනි ආයතන හරහා ඔවුන්ගේ රැකියා අවස්ථා යොමු කරන බවත්, එබැවින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ ආයතනය සම්බන්ධ කරගනිමින් පළවන මාර්ගගත රැකියා අවස්ථා ව්‍යාජ ඒවා බවත් අප වෙත පැවසනු ලැබුවා.

Claim 4:

2025 වසරේ ආදරවන්තයින්ගේ දිනය (Valentine Special) වෙනුවෙන් ආදරණීයන්ට දීමනාවල් ලෙස Anytime Data 30GB ලබාදෙන බවත්, එය ලබාගැනීම සඳහා සබැඳියක් දක්වා ඇති අතර ඊට පිවිසෙන ලෙසත් සඳහන් කරමින් වට්ස් ඇප් ඔස්සේ පණිවිඩයක් මේ දිනවල හුවමාරුවනවා. Dialog, Mobitel, Hutch සහ Airtel යන ආයතන මඟින් මෙම දීමනාව ලබාදෙන බව සඳහන්.

අපි මුලින් ම Dialog, Mobitel, Hutch සහ Airtel යන ආයතනවල නිල වෙබ් අඩවි පරීක්ෂා කළ අතර අනතුරුව ඒවායෙහි එක් එක් නිල ෆේස්බුක් පිටු පරීක්ෂා කර බැලුවේ, ඒවායෙහි මෙවැනි ඩේටා ලබාදීමේ තොරතුරක් පිළීබඳව පාරිභෝගිකයා දැනුවත් කර තිබේද යන්න පරීක්ෂා කර බැලීමටයි. නමුත් ඒ කිසිඳු නිල වෙබ් අඩවියක හෝ ෆේස්බුක් පිටුවක එවැනි දීමනාවක් ලබාදෙන බවට තොරතුරු සඳහන්වන්නේ නෑ.

Hutch ආයතනයේ පමණක්, ෆේස්බුක් ගිණුමේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තෝරාගත් ‍යුවල 3කට හෝටලයක රාත්‍රී ආහාර ගැනීමේ අවස්ථාවක් ලබාදීමේ යම් වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා. නමුත් එහි ඩේටා ලබදීමක් පිළීබඳව කිසිඳු තොරතුරක් සඳහන්වන්නේ නෑ.

අප මේ බව තහවුරු කරගැනීම සඳහා මෙම එක් එක් ආයතනයන්හි පාරිභෝගික සේවාවන් වෙත ඇමතුමක් ලබාදී මේ බව විමසූ අතර ඒ සෑම ආයතනයකින් ම තහවුරු කළේ එවැනි දීමනාවක් ලබා නොදෙන බවයි.

මෙම දීමනා ලබාදීම සත්‍ය බව තහවුරු කිරීමට මෙරට ප්‍රඩිද්ධ චරිත ද මෙම සබැදි වෙතට පිවිස ඩේටා ලබාගත් බවට ඔවුන්ගේ ප්‍රතිචාර ද එක් කර ඇති අයුරු සඳහන් කර තිබුණේ මෙලෙසින්. 

Free Data, Free Gifts ලබාදෙන බවට පවසමින් මෙලෙස කලින් කලට කරළියට පැමිණෙන, අදාළ නිල සමාගම් මඟින් ප්‍රචාරය නොකෙරෙන, මෙවැනි පණිවිඩ සියල්ලක්ම ව්‍යාජ පණිවිඩ වේ. මෙම පණිවිඩ සමග ලබා දෙන බවට කියන ත්‍යාග පිළිබඳ හෝ විස්තර පිළිබඳ තොරතුරු ඇතුළත් බවට පවසමින් දක්වන සබැඳි(Web links)ඔස්සේ ඒවා ක්ලික් කිරීමෙන් ඇතැම් විට ඔබ නොදැනුවත්වම ඇතැම් සේවාවන් සක්‍රීය වී ඔබගේ ජංගම දුරකතනයේ ඇති ක්‍රෙඩිට් කපා ගැනීම පවා සිදු විය හැක.

එමෙන්ම එම ත්‍යාග ලබා ගැනීම සඳහා ඔබගේ වටිනා දත්ත ඉල්ලා සිටින අතර, එම සබැඳිවලිට පිවිස අයදුම්පත් පිරිවීම මඟින්, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපින (Email Addresses) , දුරකතන අංක, ඔබගේ රුචි අරුචිකම් ඇතුළු විවිධ තොරතුරු ලබාගෙන ඒවා Digital Marketing වැනි දත්ත ප්‍රවර්ධන සිදුකරන ආයතන ආදියට විකිණීම සිදුවිය හැකි අතර ඊටත් වඩා භයානක දේ පවා සිදුවිය හැකියි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල

රාජ්‍ය ආයතනවල ලාංඡන භාවිතා කරමින් රැකියා සොයන්නන් රවටා ඔවුන්ගේ පුද්ගලික දත්ත සොරකම් කිරීම සඳහා ව්‍යාජ රැකියා දැන්වීම් ඇතුළත් නව වංචාවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ  (SLCERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පෙන්වාදෙනවා.

මෙවැනි වංචනික ක්‍රියාකාරකම්වල වැඩිවීමක් වාර්තා වන බවත් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස මහජනතාවගෙන් එම මහතා පවසනවා.

මෑතකදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් ව්‍යාජ රැකියා හුවමාරු වෙමින් පැවති අතර ඒ පිළිබඳව අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවා ලාංඡනය ඇතුළත් ඒ හා සමාන වංචනික පළ කිරීම් ද වාර්තා වී තිබෙන බවත් එම චාරුක දමුණුපොල මහතා පෙන්වාදෙනවා.

මෙම ව්‍යාජ වෙබ් අඩවි බොහෝ විට ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර සහ උප්පැන්න සහතිකවල පිටපත් ඇතුළු සංවේදී පුද්ගලික තොරතුරු රැස් කරන බවට ඔහු අනතුරු ඇඟවීය. සිදුවිය හැකි වංචාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිල වෙබ් අඩවි හරහා රැකියා පළ කිරීම් තහවුරු කරන ලෙසත් සැක සහිත වෙළඳ දැන්වීම් සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් වළකින ලෙසත් චාරුක දමුණුපොල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම මහතා පසුගිය 5 වන දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස මේ දිනවල සංසරණය වන මෙවැනි ව්‍යාජ රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

Phishing Attack යනු කුමක්ද?

 2තතුබෑම් ප්‍රහාර යනු (Phishing Attack) අනිෂ්ට මෘදුකාංග බාගත කිරීම, සංවේදී තොරතුරු හෝ පුද්ගලික දත්ත (උදා., සමාජ ආරක්ෂණ සහ ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පිවිසුම් අක්තපත්‍ර) හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරිශීලකයන් රැවටීමට සැලසුම් කර ඇති වංචනික ඊමේල්, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් හෝ වෙබ් අඩවි වන අතර එය එක්තරා ආකාරයක සයිබර් ප්‍රහාරයකි.

බොහෝ දුරට මෙවැනි පණිවිඩ බෙදා ගැනීමට සහ ආකර්ෂණය කර ගැනීමට වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් විසින් නිර්මාණය කරනු ලබන්නේ නව නව අනුගාමිකයින්(Followers) වැඩි කර ගැනීමටයි.

Also Readකම්කරු අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ රැකියා අවස්ථා බවට ව්‍යාජ සටහන් පෙළක්

Also Read : සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

Also ReadSCAM Alert! තහවුරු නොකළ, නොදන්නා සබැඳි වෙත පිවිසීමෙන් වැළකී සිටින්න!

Also Read : Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, මාර්ගගත රැකියා ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ලාංඡන භාවිතා කරමින් පළ වන තොරතුරු ව්‍යාජ ඒවා බවයි.

මෙලෙස වංචනික ලෙස පළවන රැකියා සම්බන්ධ තොරතුරු දක්වා ඇති සබැඳි වෙත ඔබේ පෞද්ගලික තොරතුරු, බැංකු තොරතුරු ඇතුළත් කිරීමෙන් එම වංචාවන්ට හසුවීමෙන් වළකින ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ ඔස්සේ ඔබේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ වංචාවන් සිදුවන බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විසින් ද පෙන්වා දී ඇත.

Avatar

Title:මේ දිනවල මාර්ගගත රැකියා වංචා රැසක් – මේවා පිළිබඳ ඔබ දැනුවත් ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *